අප්‍රේල්වල චිකන්, බිත්තර කර්මාන්තෙ වැටේවිලු! ප්‍රෝටීන් නැතිව ලුණුයි බතුයි කාලා මන්දපෝෂිත ජාතියක් වෙයල්ලා!

කුකුළුමස්/බිත්තර කර්මාන්තයට රජය මැදිහත් නොවුණොත් රුපියල අවප්‍රමාණය වීමෙන් පසු නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් කුකුළු කර්මාන්තය අප්‍රේල් මාසයෙන් පසු කඩා වැටෙනු ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ (AIEPA) භාණ්ඩාගාරික විජය අල්විස් අනතුරු හඟවලා.

කුකුළුමස් සහ බිත්තර කියන්නේ අපේ රටේ ප්‍රධාන ප්‍රෝටීන් සපයන කර්මාන්ත අතරින් එකක්. මිනිස්සුන්ට ලුණුයි බතුයි හෝ බතුයි, පරිප්පුයි කාලා ලොකු බඩවල් එක්ක ඇඟේ හයිය හත්තිය නැති ජාතියක් වෙන්න වේවි හරියට ඒ සැපයුම් නැති වුණොත්.

කුකුළු ආහාර සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සොයා ගැනීම දුෂ්කර වෙලා තියෙන බව තමයි විජය මහතා ඩේලි මිරර් පත්තරේට කියා තිබුණේ. දේශීය වෙළෙඳපොළේ රුපියල් 214ට තිබූ සෝයා කිලෝවක් මේ වනවිට රුපියල් 300 දක්වා ඉහළ ගිහිල්ලාලු. බඩ ඉරිඟු කිලෝවක මිල රුපියල් 95 සිට රුපියල් 150 දක්වා ඉහළ ගිහිල්ලාලු. ආනයනික මාළු ආහාර වෙළෙඳ පොළේ සොයා ගන්නත් නැති තරම්ලු.

සහල්, බඩඉරිඟු සහ සෝයා මික්ස් කරලාලු, ප්‍රෝටීන් සහිත සමබර කුකුළු ආහාරයක් හදා ගනනේ. මස් තියෙන කුකුළෙක් හෝ පෝෂ්‍යදායී බිත්තරයක් හැදෙන්නේ ඒ කෑම එක්ක. මේ වගෙග් කෑම එකක් හදාගන්න රුපියල් 150ක් විතර වැය වෙනවාලු.

ගොවිපලක බ්‍රොලියර් කුකුළන් සහ බිත්තර දමන කිකිළියන්ට කෑම දෙන්න යන පිරිවැය වැඩි වෙද්දී, ඒක දරාගන්න බැරි බව තමයි ඔවුන් කියන්නේ. බිත්තරයක් විකුණන ගාණ රුපියල් 27 වගේ පැන්නොත්, මිනිස්සු බිත්තර ගන්න එක අත්හැරලා දමාවි. කුකුළුමස් කිලෝවක් වුණත් 850-900 ගාණට යවන්න වුණොත්, මිනිස්සු ගන්න එක අඩු වෙනවා.

එතකොට කර්මාන්තයට මරු පහරක් එල්ල වෙනවා. අනෙක් පැත්තෙන් රටේ පෝෂණයට බලපානවා.