රටට සල්ලි නැති වුණාට, ඩොලර් බිලියන 3ක් විතර ණය වාරික ගෙවලා! කබ්රාල් කියන කතාව

මාර්තු මාසයේදී කල් පිරුණු ඩොලර්වලින් සල්ලි ගෙවන්න තිබුණ විශාල බැඳුම්කරත් ඇතුළුව, ශ්‍රී ලංකා රජය ඩොලර්වලින් කරන්න තිබුණ ණය ගෙවීම්, නිසිපරිදි ගෙවලා, අප්ඩේට් වෙලා තියෙන බව මහ බැංකු අධිපති නිවාඩ් කබ්රාල් මහතා කියා තියෙනවා.

ආණ්ඩුවට මීට අවුරුද්දකට වැඩි කාලෙක ඉඳන් ‘ණය ප්‍රතිව්‍යුහගතකරණය’ කරන්න කියා ඉල්ලීම් ආවා. ඇත්තටම බැඳුම්කර වාරිකවල ඉඳන් තවත් බොහෝ ණය වාරික හරියට කතා කරලා දැන්ම ගෙවන්නේ නැතිව පස්සේ ගෙවන්නට හදා ගන්න තිබුණා. මොකද, මේ වෙලාවේ මිනිස්සුන්ට කන්න බොන්න සහ අනෙකුත් කටයුතුවලටවත් සල්ලි නෑ. ඒත්, අජිත් නිවාඩ් කබ්රාල්ලා මිනිස්සුන්ට අතවශ්‍ය දේවල් කරනවා වෙනුවට ‘වාරික ටික ගෙවන’ එක මාර වැඩේ විදියට මතු කළා. එදිනෙදා භාණ්ඩ ටිකට සල්ලි නැතත්, වාරික ගෙව්වා..

ඉකොනොමි නෙක්ස්ට් වාර්තාවක සඳහන් වෙන්නේ “අද වන විට ගෙවිය යුතු රජයේ හිඟ මුදල් නැහැ.” යනුවෙන් මාර්තු 21 වැනිදා කබ්රාල් මහකා කීව බවක්.

චීනය ඇතුළු ද්විපාර්ශ්වික ණය ගෙවා අවසන් බවත් ඔහු කියලා.

මේ අවුරුද්දේ ගෙවන්න තිබුණ ඩොලර් මිලියන 6900ක (බිලියන 6.9ක) ණය අතරින්, ඩොලර් මිලියන 3001ක් පළවැනි කාර්තුවේ ගෙවන්න තිබුණු බව ඉකොනොමිනෙක්ස්ට් වාර්තාවේ සඳහන්.

මාර්තු 16 වන දින ඇමරිකානු ඩොලර් මිලියන 54.4 ක් සහ මාර්තු 17 වන දින දේශීය ආයෝජකයින් සතු ඩොලර් මිලියන 419.34 ක් කල් පිරිලා.

මේ බැඳුම්කර වෙන්දේසිවලින් ගත්ත ණය. කබ්රාල් කියා තිබුණේ මේ බැඳුම්කර සියල්ලට අදාල මුදල් ගෙවා තියෙන බවත්, බොහෝ් අය ආපහු ආයෝජනය කරපු බවත්. නැවත ආයෝජනය කරනවා කියන්නේ කල් පිරෙන ඒවා එමෙමම ආපහු වෙන්දේසියට දාන එක. එතකොට අපේ පැත්තෙන් සල්ලි ගෙවන්න ඕනෑ නැහැ, එයාලා ප්‍රතිආයෝජනය කරනවා.

ඒ අනුව ඩොලර් මිලියන 3001ක් කල්පිරුණාට, ඒ හැම ඩොලරයක්ම අපේ රජයේ සල්ලිවලින් වියදම් වෙලා නැහැ. නැවත ආයෝජනය කරලා. ඒත්, ඒ අතරින් ඩොලර් මිලියන ගාණක් අපේ රජය ගෙවලා ඇති.

“අපි සියලු දෙනාටම ආපසු ගෙව්වා. බොහෝ දෙනා නැවත ආයෝජනය කළා.” කබ්රාල් කීවාලු. “අලුත් ආයෝජකයෝ කිහිප දෙනෙක් හිටියා. ඒ හැරුණාම සුලු මුදලක් අපට ගෙවන්න සිද්ධ වුණා.” යනුවෙනුත් ඔහු කියලා.

ශ්‍රී ලංකාව මේ වෙද්දී සංවර්ධන බැඳුම්කර සඳහා දේශීය ආයෝජකයින්ට ඉහළ පොලී අනුපාත ගෙවනවා. ඒ කියන්නේ අපි ඩොලර්වලින් ලොකු පොළියක් ගෙවනවා. දේශීය ආයෝජකයින් වැඩිපුර ඇදගන්නට ඩොලර් 1,000 ක් වගේ කුඩා වටිනාකම්වලින් ද සංවර්ධන බැඳුම්කර නිකුත් කරනවා.