මල්වතු- අස්ගිරි පාර්ශ්වවල මහානාහිමිවරුන් දෙපළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මාර්තු 21 වැනිදා යැවූ ලිපියෙන්, ජනාධිපතිවරයාගේ ‘ප්‍රගතිශීලී තීරණ’ ගැන ගුණ වැයීමක් කරලා තියෙනවා.
මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියන්ගේ අත්සනින්මයි ලියුම යවලා තියෙන්නේ.
ලියුමේ අරමුණ ප්‍රශ්න විසඳන්න ‘තිරසර ජාතික ප්‍රතිපත්ති’ හදන්න කියන එක. ඒ සඳහා කරුණු 14ක් ලියුමේ සඳහන්. අප මෙහිදී ඒ කරුණුවලට අවධානය යොමු කරන්නේ නැහැ. කරුණු අතර අප එකඟ වෙන කරුණු වගේම එකඟ නොවන කරුණුත් තියෙනවා.
මේ වෙලාවේ අර්බුදය විසදෙන්න ඕනෑ හාමුදුරුවරුන්ගේ උපදෙස් මත නෙවෙයි. අර්බුදය ගැන දන්න, අධ්‍යනයන් කරපු, අධ්‍යාපන සුදුසුකම් තියෙන විශේෂඥයන්ගේ උපදෙස් මත.
ඒත්, ලියුමේ මුල් වාක්‍ය කිහිපයෙන් කරලා තියෙන්නේ ගුණ වර්ණනාවක් වීම ගැන අපේ අවධානය යොමු වෙනවා. ‘ගත වූ වසර දෙකකට අධික කාලය තතුළ ජනාධිපතිවරයා ලෙස ඔබතුමන් විසින් දේශයේ සෞභාග්‍යය උදෙසා ගන්නා ලද ප්‍රගතිශීලී තීරණ බොහොමයකි. දේශයේ ආරක්ෂාවත්, ස්වෛරීත්වයත්, සෞභාග්‍යයත් උදෙසා ඔබතුමන් විසින් සිදු කරන්නට යෙදුණු දූරදර්ශී සේවය සමස්ත රටවාසීන්ගේ ප්‍රශංසාවට මෙන්ම සතුටට හේතු වූ බව නොරසහකි. දැවැන්ත මහජන ප්‍රසාදයකින් මෙරට රාජ්‍ය නායකා බවට පත් වූ ඔබතුමා ගරුතර මහා සංඝරත්නයේ නිරන්තර ආශිර්වාදයට ලක් වූ ජනහිතකාමී පාලකයෙකු ලෙස ජනතා සම්භාවනාවට පාත්‍ර වී ඇත.’
මොකක්ද අප්පා ගෝඨාභය රාජපක්ෂ ගත්ත අපි නොදන්න ප්‍රගතිශීලී පියවර? කොවිඩ් අනාගත්ත එකද? විසිවැනි සංශෝධනයෙන් ලොකු බලයක් ගත්ත එකකද? ආරක්ෂාව වෙනුවෙන් ගත්ත තීන්දුව පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු නොකර හිටපු එකද? නැගෙනහිර පර්යන්තය විකුණන් හැදීම? නිව් ෆෝට්‍රස් ගිවිසුම හෝ පෝට් සිටි පනත දේශයේ ස්වෛරීත්වය හෝ සෞභාග්‍ය වෙනුවෙන් කරපුවාද?
අපි නොදන්න, මහානායක හිමිවරුන් දන්න ගෝඨාභයගේ ප්‍රගතිශීලී පියවර මොනවද? රටවැසියන්ගෙ ප්‍රශංසාව ලැබුණෙ කවදද? ඒ ප්‍රශංසා කරන්නේ කොහෙ ඉන්න රටවැසියන්ද? බලය ලැබිලා අවුරුද්දක් යද්දීත් 2020 අග හරිය වෙනතුරු යම් ප්‍රශංසාවක් තිබුණ බව ඇත්ත. ඒත්, 2021 මුල ඉඳන් මේ දක්වාම ‘සමස්ත රටවාසීන්’ ඒ කියන්නේ හැම මනුස්සයාම ජනාධිපතිව ප්‍රශංසාවට ලක් කළා කියන එක මහානායක හිමිවරුන් ප්‍රසිද්ධ ලියුමක ලියන එක සුදුසුද?
මෙච්චර දේවල් කරලා ගෙදර පල කියලා ජනාධිපතිට කියද්දී, ‘ජනහිතකාමී රාජ්‍ය පාලකයෙකු ලෙස සම්භාවනාවට පාත්‍ර වුණා’ කියලා මේ කරන්නේ ගෝඨාභය වෙනුවෙන් කඩේ යෑමක් නෙවෙයිද?
මේ ලියුමේ එක තැනක තියෙනවා ‘ආර්ථික හා සමාජීය අර්බුද නිසි කළමණාකරණය තුළින් නිරාකරණය කර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන්’ අද මේ ප්‍රශ්නය ආවා කියලා වාක්‍යයක්. එච්චරයි, මේ අර්බුදයට වගකියන්න ඕනෑ පාලකයාට සුළු හෝ විවේචනයක් විදියට තියෙන්නේ. ඒකේත් තියෙන්නේ ගෝලීය වසංගතයෙන් සහ ආර්ථික අර්බුදයකින් මේ ප්‍රශ්නය ආපු බව. අපේ රටේ ආර්ථිකය අවුරුදු ගාණක් තිස්සේ මෙතැනට පත් කරපු විත්තිය ඒ ලියුමට මිස් වෙනවා.
අනෙක් සියල්ල, හුදෙක් ගෝඨාභය වර්ණනාවක් සහ ගෝඨාභයම ඇති කරපු අර්බුදය ගෝඨාභයටම විසදන්න කියලා ඉල්ලීමක් විතරයි.
මේ වෙලාවේ ජනතා හඬ තියෙන්නේ ඔය වගේ ‘අපැහැදිලි’ තැනක නෙවෙයි. ජනතා හඬ හොඳට ෆෝකස්. කවුද වැරදි, කවුද හරි කියන එක ගැන අදහසක් තියෙනවා. මහානායක හිමිවරුන් ගෝඨාභයට ‘ගෙදර යන්න’ කියා ලියුමක් ලියන්න ඕනෑ නැහැ. ඒක පැහැදිලියි. හාමුදුරුවරුන්ට අදාල යම්කිසි මධ්‍යස්ථ, විනයවත් භාෂාවක් තිබීම කිසි වරදක් නෑ.
ඒත්, ජනහිතකාමී පාලකයා කියල ගෝඨාභය වර්ණනාවක් නොකර ඒ ටික කරන්න හොඳටම පුළුවන්.


