කෑම මිලේ වැඩිවීම හෙවත්, ආහාර උද්ධමනය සීයට 24.7ක්! වාර්තා පිට වාර්තා

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය හෙවත් තෝරාගත් අත්‍යවශ්‍ය භාණ්ඩ තොගේකට කලින් අවුරුද්දේ අදාල මාසයේ (මෙතැන පෙබරවාරි) එක්ක බැලුවාම මේ අවුරුද්දේ අදාලා මාසේ ඒ භාණ්ඩවලට යන වියදම අතර වෙනස සීයට 17.5 දක්වා ඉහළ ගිහිල්ලා.

ඒ අනුව මාසෙකට කලින් තැබූ වාර්තාව මේ මාසේ අලුත් වෙලා. වාර්තා පිට වාර්තා මාසෙන් මාසේ තබන්නේ එහෙමයි.

මේ මිල දර්ශකය ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව තමයි එළියට දාන්නේ.

ඉස්සර නං මේක සීයට 8ට වැඩිවුණත් කට්ටිය කෑගැහුවා. දැන් මේ වැඩි වීම අසාමාන්‍යයි කියන එකේ හොඳම එක.

ආහාර උද්ධමනය සීයට 24.7ක්. මේක මෑත ඉතිහාසයේ වැඩිම අගය කියලා අමුතුවෙන් ඉස්මතු කරලා කියන්න ඕනෑ නැහැනේ.

මෙතැනදී ආහාර නොවන උද්ධමනය සීයට 11 විතර මට්ටමේ තිබීමත් බලන්න වැදගත් දෙයක්. ඒ අනුව වැඩිපුර ආහාර වියදම් තමයි ඉහළ යන්නේ. ඒ අනුව මනුස්සයෙක් පඩිය අතට ගත්තාම ඒකෙන් වැඩි ප්‍රතිශතයක් කෑමවලට වියදම් කරන්නත් වෙනවා. මනුස්සයෙක් ජීවත්වෙනවා කියන්නේ තුන්වේල කාලා ඉතිරි වෙලාවේ ඔහේ කට ඇරං බලං ඉන්න එක නෙවෙයි. එතැනින් එහාට ‘ජීවත් වෙනවා’ කියලා බොහෝ දේවල් කරන්න තියෙනවා. එත්, මේ උද්ධමනය එක්ක ඒවාට මුදලක් ඉතිරි වෙන්නේ නෑ. ලාංකිකයන් ඇවිදින මළමිනී වගේ වෙනවා.

ආහාර කාණ්ඩය තුළ ඇති සහල්, පරිප්පු, කිරිපිටි, පළතුරු, පොල්, මිරිස් කුඩු, තිරිඟු පිටි, රතු ලූනු, පොල්තෙල්, මාළු, කරවල, වියළි මිරිස්, කුකුල් මස්, තුනපහ කුඩු, පාන්, සීනි සහ ළදරු කිරිපිටි යන ආහාර ද්‍රව්‍යවල මිල ගණන් වැඩිවීම පෙබරවාරි මස ආහාර උද්ධමනය සියයට 24.7 දක්වා වැඩිවීමට හේතු වෙලා.