සියලු දෝෂ නිවාරණයි! ජීඑල් ඇමතිකමෙන් අස්වෙලා, affairs කෑල්ල එක්ක පත්වෙයි

මාර්තු 22 වැනිදා උදේ විදේශ අමාත්‍ය ජීඑල් පීිරිස් තනතුරෙන් ඉවත් වූ බව සඳහන් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.

හේතුව ලෙස සඳහන් කර තිබුණේ තවත් ඇමතිකමක් බාරගැනීමට ඉල්ලා අස් වූ බව.

ඊට පස්සේ ජීඑල් නිකම්ම පාර්ලමේන්තු මන්ත්‍රී. ඊට පස්සේ තවත් ගැසට් නිවේදනයකින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීඑල් පීරිස් විදේශ කටයුතු අමාත්‍ය ලෙස නැවත පත් කරලා තිබුණා.

මෙච්චර ගැසට් නිවේදන දෙකක් ගහලා තිබුණේ විදේශ ඇමති වෙනුවට විදේශ ‘කටයුතු’ ඇමති කියන වචනය එකතු කරන්න. ඉංග්‍රීසියෙන් ෆොරින් මිනිස්ටර් වෙනුවට ෆොරින් අෆෙයාර්ස් මිනිස්ටර් වෙන්න.

හැබැයි ලංකාවේ මේ වෙලාවේ තියෙන කිසිම ප්‍රශ්නයකට විසඳුමක් ඔය නම මාරුවෙන් ලැබෙන්නේ නැහැ. ඇමති කෙනෙක් පත් කරන වෙලාවේ හරි තනතුරු නාමයක් ලබා දෙන්නටවත් නොහැකිකම ඉස්මතු වෙනවා මිසක්.

ඇත්තටම මේක ආපහු ගැසට් ගහලා අලුතින් කරන්න ඕනෑ දෙයක් නෙවෙයි. සාමාන්‍ය රාජ්‍ය සම්ප්‍රදාය අනුව ‘විදේශ කටයුතු අමාත්‍ය’ කියන නම තමයි මුලින්ම දාන්න තිබුණේ. මොකෝ විදේශ අමාත්‍ය කියන්නේ අපේ රටේ ඉන්න, පිටරටින් ආපු ඇමති කෙනෙක් වගේනේ. ඒ නම දානවනං දාන්න ඕනෑ බැසිල් රාජපක්ෂටනෙ. මොකෝ එයානෙ ඇමෙරිකාවෙන් ආපු විදේශ අමාත්‍ය.

අනෙක් අතට අපේ රටේ විදේශ කටයුතු අමාත්‍යාංශය කියලයි අමාත්‍යාංශයේ සඳහන් වෙන්නේ. ඒ අනුව ඇමති නිකම්ම විදේශ ඇමති වීමෙන් සෑහෙන තාක්ෂණික ප්‍රශ්න එනවා ඇති.

මුලිංම ඇමතිව ගැසට් කරද්දී හරි නම දැම්මානං ඔය ප්‍රශ්න නෑ. ඒ්ත්, ඒ වැඩේවත් හරියට කරගන්න ආණ්ඩුවට බෑ වගේ.

ලෝකයේ ඉන්දියාව වැනි රටවල ‘ෆොරින්’ වෙනුවට ‘එක්ස්ටර්නල් අෆෙයාර්ස් මිනිස්ට්‍රි’ කියන වචනය පාවිච්චි වෙනවා. ඊට අමතරව ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම්වරයා තමයි අපේ විදේශ ඇමතිට සමාන තනතුර දරන්නේ.