තොරතුරු පනතත් , භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසත් අහිමි කරන “පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත “(2 කොටස) – පෝද්දල ජයන්ත

විධායකය , ව්‍යවස්ථාදායකය , අධිකරණය ජනතාවට “කොකා පෙන්වීම”

ජනමාධ්‍යවේදීනි , සමාජ මාධ්‍ය ක්‍රියාධරයනි..! බලව “දෙනෙත්” හැර මේ “විලංගු” පනත දෙස

රටේ ජනතාවගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂණය සදහා යැයි කියමින් පසුගියදා සම්මත කරගත් “පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත” පිළිබද ඔබ දැනුවත් කිරීම සදහා ලියූ පළමු ලිපිය ඊයේ පළ කළෙමු. මේ ලිපිය එහි දෙවනි කොටසයි. පළමු ලිපිය පහත ඇති “ලින්කුව” මගින් කියවා ගත හැකි ය.

“පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත” හේතුවෙන් 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතට සිදු වන්නේ කුමක්ද ?

පුරා දශකයකටත් වඩා වැඩි කාලයක් රටේ ජනමාධ්‍ය සංවිධාන , සිවිල් සංවිධාන කිහිපයක් මහත් වෙහෙසක් දරා 2015 “යහපාලන” රජය යටතේ සම්මත කරවා ගත්  තොරතුරු දැනගැනීමේ පනත රටේ පොදු මහජනතාව ලැබූ විශාල ජයග්‍රහණයකි. එම පනත මගින් රටේ රාජ්‍ය පාලනයේ සිදුවන බොහෝ කටයුතු නීතියානුකූලව , සවිස්තරාත්මකව දැන ගැනීමට ලැබීම එම ජයග්‍රහණයයි. 

තොරතුරු දැනගැනීමේ පනත මගින් ලැබුණු අයිතිය වැඩිමනක් ජනමාධ්‍යවේදීන් ඇතුළු මහජනතාව විසින් ගෙවුණු හත් වසර තුළ ප්‍රයෝජනයට ගත්තාද යන්න ගැටලුවකි. එහෙත් එක්තරා සීමිත පිරිසක් හෝ මේ පනත උපයෝගී කරගෙන රටේ පාලකයන් , රාජ්‍ය බලධාරීන් මහජනතාව ගෙන් සගවන්නට උත්සාහ කළ තොරතුරු රැසක් එළියට ගෙන තිබුණි. රටේ ජීවත්වන ඕනෑම වැසියකුට තමන්ගේ ගමේ ඉදිවන පාලමේ , බෝක්කුවේ සිට මහාපරිමාණ ව්‍යාපෘති දක්වා සියලු තොරතුරු දැන ගැනීමේ අයිතිය ඉහත “තොරතුරු පනතින්” තහවුරු කර තිබේ. එහෙත් පසුගිය දා සම්මත කරගත් “පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත” හේතුවෙන් “තොරතුරු දැනගැනීමේ පනතේ” මහජන අයිතීන් “නිශේධ” වීමේ ලකුණු පහළ වී තිබේ.

රාජපක්ෂලාට හිස රදයක් වූ “තොරතුරු පනත”

වර්ෂ 2005 – 2015 රාජපක්ෂ රෙජීමයේ පාලන කාලය තුළ තොරතුරු දැන ගැනීමේ පනත සම්මත කරවා ගැනීමට කොතෙක් උත්සාහ කළද එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ එය කුණු කූඩයට විසිකර දැමීම හැර කිසිවක් කළේ නැත. නැවත බලයට පැමිණි රාජපක්ෂලාට “තොරතුරු පනත” හිස රදයක් වී තිබුණි. පසුගිය දා සම්මත කරගත් “පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත” සමග “තොරතුරු පනත” ගැටෙන තත්ත්වයක් මතු වුවහොත් බලාත්මක විය යුත්තේ “දත්ත ආරක්ෂණ පනත” බවට සදහන් කර තිබීමෙන්ම “තොරතුරු පනත” පිළිබදව රාජපක්ෂලාගේ “හිසරදය” වඩා හොදින් පැහැදිලි වේ. 

පාර්ලිමේන්තු විපක්ෂයත් , සිවිල් සංවිධානත් නිදිවැද සිටියදී පෙරට ආවේ “තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය” පමණයි.

“පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත” නොහොත් “භාෂාණයේ , ප්‍රකාශනයේ විලංගු” පනත අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ 2022 ජනවාරී 20 වැනි දිනයි. ඊට අදාළ ගැසට් පත්‍රයේ දිනය 20 ලෙස සදහන් කර තිබුණද , එය ප්‍රසිද්ධියට පත්කර ඇත්තේ ජනවාරි 25 දිනයි. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව යම් පනතක් අභියෝගයට ලක්කර ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරිමට හැකියාව ඇත්තේ අදාළ පනත් කෙටුම්පත ප්‍රසිද්ධියට පත්කර දින හතක් ඇතුළත ය.

 ඉහත “දත්ත ආරක්ෂණ පනත” ගැන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවා දැන ගන්නේ ජනවාරි 25 දිනය. එය අභියෝගයට ලක්කර ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරිමට  ඔවුන්ට තිබුණේ දින 02 ක් පමණි. මන්දයත් ජනවාරි 20 දිනය සදහන් වුවද ගැසට්ටුව ප්‍රසිද්ධියට පත්කර තිබුණේ ජනවාරි 25 වීම හේතුවෙනි. ඒවූකලී මේ පනත අභියෝගයට ලක් කිරීම වැළැක්වීම පිණිස හිතාමතාම කරන ලද අන්ත “කුපාඩි” ක්‍රියාවකි.

විනාඩි 05 ක ප්‍රමාදය නිසා පෙත්සම භාර ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

“දත්ත ආරක්ෂණ පනත” අභියෝගයට ලක් කිරීම සදහා ලැබුණු දින දෙකක ඉතා කෙටි කාලය පවා ප්‍රයෝජනයට ගෙන “තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය” නීතිඥ නුවන් බෝපගේ හරහා පෙත්සමක් සූදානම් කර ජනවාරි 27 දින එය ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ටර්වරයා වෙත ඉදිරිපත් කළද , එදින සවස 03 පසුවී විනාඩි 05 ක් ගතවී තිබීම හේතුවෙන් විනාඩි 05 ක් ප්‍රමාදය නිසා අදාළ පෙත්සම භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත. විනාඩි 05 ක ප්‍රමාදය රටක මුළුමහත් ජනතාවකගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් අහිමි කිරීම කවර “යුක්ති” ධර්මයකට අනුකූලද යන්න අප ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසිය යුතුය.

ඇතැම් විට මෙකී පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමටත් ඉඩ තිබුණි. එහෙත් එය සළකා බැලීම සදහාවත් භාර ගැනීම විනාඩි 05 ක  ප්‍රමාදය නිසා ප්‍රතික්ෂේප කරන්නේ නම් ඒ කවර යුක්ති ධර්මයක් ද ? පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත යම් පනතක් අභියෝගයට ලක් කිරීමට කලින් තිබු දින 14 කාලය දින 07 දක්වා අඩුකර , එය ද කළ හැකි සෑම උප්පරවැට්ටියක්ම කර අභියෝගයට ලක්වීම වළක්වා තමන්ට රිසිසේ අණ පනත් සම්මත කර ගැනීමට කරන ආණ්ඩුවේ තුච්ච , නිර්ලජ්ජිත දේශපාලනය රටේ ශ්‍රේෂ්ඨාධිකරණයත් අනුමත කරන්නේ ද ?

ඉතිරි කොටස හෙට : 

පාර්ලිමේන්තු විපක්ෂය සහ සිවිල් සංවිධාන නිදිවැද සිටීම , පනත ඡන්ද විමසීමකින්ද තොරව සම්මත කර ගැනීම , ශ්‍රේෂ්ඨාධිකරණට ජනතාව ලබාදී ඇති “පරමාධිපත්‍ය බලය” විධායකයට , ව්‍යවස්ථාදායකයට පාවාදීම හෙට ලිපියෙන්…….!