IMF වෙත ශ්‍රී ලංකාව නිල වශයෙන් ලියුම යැව්වාලු! කබ්රාල්ගේ ගෙදර හැදූ විසඳුම් ජෝ්ක්ස් අහවරයි!

රජය පසුගිය සතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) ආධාර වැඩසටහනක් සඳහා විධිමත් ඉල්ලීමක් යවා තියෙනවා.

එහිදී අයිඑම්එෆ් සහයෝගය ලබා ගැනීමට කැමැත්ත නිල වශයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා ප්‍රකාශ කරලා. ඊට අමතරව අප්‍රේල් මාසයේ මැද වොෂිංටන් දක්වා මුදල් ඇමතිවරයා යන සංවාදයේදී ඒ සහයෝගය ලබාදීම සඳහා අවශ්‍ය සාකච්ඡා සූදානම් කරන ලෙස ඉල්ලා තිබෙනවා.

අයිඑම්එෆ් එකට අමතරව අප්‍රේල් සංචාරයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ලෝක බැංකුවේ නිලධාරීනුත් හමු වේවි.

IMF හි ශ්‍රී ලංකාවේ විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර හරහා මෙම ඉල්ලීම යොමු කෙරෙන බව ඩේලි එෆ්ටී ආයතනය වාර්තා කරලා තියෙනවා.

ඒ අතර මහ බැංකුවද නිල වශයෙන් අයිඑම්එෆ් යන්නට උපදෙස් දුන් බව මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. අයිඑම්එෆ් යෑමට සිදුවන බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවා කීවාලු.

මෙතෙක් අයිඑම්එෆ් යෑම වගේම අයිඑම්එෆ් වැනි ආයතන පිළිගන්නා ආකාරයේ ආර්ථික විසඳුම් පවා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වගේම ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කළා. ඒ වෙනුවට ‘ගෙදර හදාගත් විසඳුම්’ හෙවත් ‘හෝම්ග්‍රෝ(ව්)න්’ විසඳුම් තියෙන බව කබ්රාල් මහතා දිගටම කටමැත දෙඩෙව්වා.

ඒ සියල්ල අසාර්ථක වී රට හොම්බෙන් යනතුරුම අයිඑම්එෆ් නොයා කල්මැරුවා. අයිඑම්එෆ් නොයනවා නම් කමක් නැහැ. එහෙනම් ලංකාවේ විසඳුමක් යෝජනා කරන්න තිබුණා.

මේ නිල අයදුම ඉදිරිපත් කරන්න කලින්ම, අයිඑම්එෆ් සමඟ සම්බන්ධ වීමට රජය තීරණය කර ඇති බව බදාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතියට දැනුම් දුන්නා. “අපගේ වාර්ෂික ණය වාරික, ස්වෛරීත්ව බැඳුම්කර යනාදිය ගෙවීමට ක්‍රමයක් සොයා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මා කළ සාකච්ඡාවලින් අනතුරුව එහි වාසි සහ අවාසි පිළිබඳව සොයා බලා ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීමට මම තීරණය කළා” යනුවෙන් ජනාධිපතිවරයා කීවා..

ශ්‍රී ලංකාව මේ වසරේ ඩොලර් බිලියන 7 කට ආසන්න විදේශ ණය ප්‍රමාණයක් ගෙවන්න තියෙනවා. 2023 සහ 2026 අතර තවත් ඩොලර් බිලියන 25 ක් ගෙවන්න තියෙනවා. ඒත් ණය ගෙවන්න තියා එදිනෙදා ජීවත්වෙන්නත් බැරි තරම් සල්ලි හිඟයි.

IMF සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙරී රයිස් සිකුරාදා ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවට සහයෝගය දීම ගැන කතා කළා. එහෙත්, ලංකාවට සහයෝගය දෙන විදිය ගැන නිල වශයෙන් ඔහු ප්‍රකාශ කළේ නෑ.