තොරතුරු පනතත් , භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසත් අහිමි කරන “පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත  (1 කොටස) – පෝද්දල ජයන්ත

විධායකය , ව්‍යවස්ථාදායකය , අධිකරණය ජනතාවට “කොකා” පෙන්වීම

ජනමාධ්‍යවේදීනි , සමාජ මාධ්‍ය ක්‍රියාධරයනි…! බලව “දෙනෙත්” හැර මේ “විලංගු” පනත දෙස

රටේ ජනතාවගේ අයිතියක් ආරක්ෂා කිරීමට යැයි රටට හගවමින් එම ජනතාවගේම මූලික මානව අයිතිවාසිකමක් අහෝසි කිරීමේ පනතක් පසුගිය දා කඩිමුඩියේ සම්මත කර ගත්තේ ය. ඒ නමින් “පෞද්ගලික දත්ත ආරක්ෂණය පනතයි” මේ පනත ගෙන ඒමේ මූලික අරමුණ රටේ මහජනතාවගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට යැයි ආණ්ඩුව ප්‍රකාශ කළද , එහි අභ්‍යන්තරයේ ඇති සැගවුණු අදහස නම් , භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට “විලංගු” ලෑම බව ඉදුරාම පැහැදිලි ය.

රටේ පවතින විපක්ෂයේ දේශපාලන පක්ෂ ද , එක් ජනමාධ්‍ය සංවිධානයක් හැර සියලු සිවිල් සංවිධානද , මානව හිමිකම් සංවිධානද නිද්‍රාවෙන් පසු වෙද්දී බරපතල වාද විවාදයකින් තොරව, අඩුම වශයෙන් ඡන්ද විමසීමකින්ද තොරව ඉහත ජනතා විරෝධී පනත ඉතා පහසුවෙන් ඔවුහු සම්මත කර ගත්හ. 

“පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත” සම්මත වීම හේතුවෙන් අනාගතයේදී යම් අපරාධයක් , මහා පරිමාණ දූෂණයක් , වංචාවක් , අකටයුත්තක් වුවද පුද්ගල නම් ,ගම් , තොරතුරු , දත්ත සහිත සියලු තොරතුරු සමග ප්‍රසිද්ධ ජනමාධ්‍යයක , සමාජ මාධ්‍යයක (අවම වශයෙන් මුහුණු පොතක) යමක් පළ කිරීම , විකාශය කිරීම , බෙදා හැරීම රුපියල් කෝටිය දක්වා වූ දණ්ඩනයකට යටත් කළ හැකි වරදක් වන්නේ ය.

බරපතලම කාරණාව

ඉහත සදහන් පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත නොහොත් “ජනමාධ්‍ය විලංගු” පනතේ ඇති  බරපතලම කාරණාව වන්නේ “අධිකරණයක්” හෝ “ස්වාධීන” ආයතනයක් නොවන ජනාධිපතිවරයා විසින් ස්වකීය කැමැත්තට අනුව පත්කරනු ලබන “පෞද්ගලික දත්ත ආරක්ෂණ අධිකාරියකට” රුපියල් කෝටිය (මිලියන දහයක්)දක්වා වූ “දඩ” නියම කිරීමේ බලයක් හිමිකර දීමයි.

මීට අමතරව කිසි ලෙසකින් හෝ “ස්වාධීන” නොවූ ජනාධිපතිවරයාගේ තනි කැමැත්තට පත්කරනු ලබන අධිකාරියක් විසින් පනවනු ලබන දඩුවමකට එරෙහිව යමකු අභියාචනාධිකරණයට යන්නේ නම් , ඉහත “අධිකාරිය” පනවනු ලබන දඩමුදල තැන්පත් කිරීමකින් තොරව එකී අභියාචනයකට යාමේ නොහැකියාවයි. මෙකී නීති කෙටුම්පත “නීතිපතිවරයා” විසින් අනුමත කරනු ලැබුවේ කිනම් “ස්වාභාවික” යුක්ති ධර්මයකට අනුකූලවද යන්න විමසා සිටිය යුතු ය.

ඉහත සදහන් පනත සෘජුවම ජනමාධ්‍යවේදීන්ගේ කටයුතුවලට බරපතල ලෙස බාධා එල්ල කරන අතර “යහපාලන” රජය  සමයේ සම්මත වූ ඉතා වටිනා පනතක් වූ “තොරතුරු දැනගැනීමේ පනතේ” හිමිකම්ද මුළුමණින්ම “නිෂ්ක්‍රිය” තත්ත්වයට ඇද වැටෙනු නොඅනුමානය.

සම්මත වූ “දත්ත ආරක්ෂණ” පනතේ විධිවිධානවලට අනුව නම්කර ඇති වැරදි මොනවාද ? ( වැදගත්ම කොටස මෙයයි)

ස්වාභාවික යුක්ති ධර්මයට’ මුළුමණින්ම පටහැනි මේ පනතේ විධිවිධානවලට අනුව යම් නාමයක්. හදුනා ගැනීමේ අංකයක් , ස්ථානයක් (Location) , ස්වකීය දත්තයන් මාර්ගගත හදුන්වනයක් (password)  ස්වාභාවික , පුද්ගලික , කායික විද්‍යාත්මක , කායික ජානමය , මානසික , ආර්ථික , සංස්කෘතික , සාමාජීය අනන්‍යතාව “සෘජුවම” හෝ “අන්‍ය ආකාරයෙන්” හදුන්වා තිබෙන බවට යම් පුද්ගලයෙකු ඉහත සදහන් “පෞද්ගලික දත්ත ආරක්ෂණ අධිකාරියකට” පැමිණිලි කළ පසු අදාළ පුද්ගලයා හෝ පුද්ගලයන් , ආයතන අධිකාරියට කැදවා විමර්ශනය කිරීමට , පරීක්ෂා කිරීමට , දඩ නියම කිරීමට එම අධිකාරියට බලය පවරා තිබේ. 

දත්ත රැස් කිරීම , ළග තබා ගැනීමත් වරදක්

ඉහත පනත අනුව යම් පුද්ගලයෙකුගේ පැමිණිල්ලක් මත පුද්ගල තොරතුරු රැස් කිරීම , ළග තබා ගැනීම , සම්ප්‍රේෂණය කිරීම , ප්‍රසිද්ධ කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් වනු ඇත. මේ පනතට අනුව ඉහත වරදවල් පිළිබද විමර්ශන පවත්වා දඩුවම් ලබා දෙන්නේ පෙර සදහන් කළ ජනාධිපතිවරයාගේ තනි කැමැත්තට පත්කරන අධිකරණයක් නොවන ආයතනයකිනි. ඒ අනුව මෑත වාර්තා වූ ඉතා සුළු උදාහරණය කිහිපයක් ගතහොත් කෙහෙළිය රඹුක්වැල්ලගේ නොගෙවූ කෝටිය ඉක්මවූ දුරකථන බිල්පත ගැන ප්‍රසිද්ධ කළ නොහැක. 

නිරූපමා රාජපක්ෂගේ “පැන්ඩෝරා” පත්‍රිකා ගැන කිසිවක් ලිවීමට නොහැක. යම් විදියකින් නාමල් රාජපක්ෂ මාලදිවයින් දිය ක්‍රීඩා කළේ රටේ සල්ලිවලින් වුවත් එහි ඡායාරූපයක් පළ කිරීම පවා රුපියල් කෝටියක දඩයක් නියම කිරීමේ වරදක් වනු ඇත. වත්කම් බැරකම් පනතට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් , රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් බැරකම් වර්ෂයක් පාසා ඉදිරිපත් කළ යුතුය. යම් කෙනෙකු ඉදිරිපත් කළ ප්‍රමාණය ඉක්මවා වත්කම් පවතී නම් , ඒ පිළිබඳ ඔවුන්ගේ නම් , ගම් , ස්ථාන සහිතව පොදු මහජනතාවගේ දැන ගැනීමට කිසිවක් ලිවීම , ප්‍රසිද්ධ කිරීම දඩුවම් ලැබිය යුතු වරදකි.

ලිපිය දීර්ඝ නිසා ඉතිරි කොටස හෙට:

ඉහත “පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත” සම්මත වීම නිසා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනතෙන් හිමිවූ මහජන අයිතිවාසිකම්වලට  සිදුවන්නේ කුමක්ද ? පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය ඇතුළු සෙසු විපක්ෂ දේශපාලන පක්ෂ මේ පනත කෙරෙහි දැක්වූ නිද්‍රාශීලීත්වය , අනෙකුත් මාධ්‍ය සංවිධාන අලසව සිටියදී තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පමණක් ඉදිරිපත් වීම , “ශ්‍රේෂ්ඨාධිකරණය” ඔවුනට ජනතාව විසින් ජනතාවගේ යහපත පිණිස ක්‍රියා කිරීම සදහා ලබාදී ඇති  “ජනතා පරමාධිපත්‍යය බලය” විධායකයට සහ ව්‍යවස්ථාදායකයට පාවා දීම සහ එහි පළ විපාක මේ පනතට බලපෑ හැටි හෙට ලිපියෙන් බලාපොරොත්තු වන්න.