චීනයෙන් තවත් ඩොලර් බිලියන දෙකහමාරක් ඉල්ලයි! ‘ලංකාවෙ ගැලවුංකාරයා අපි’ චීනා කියන්න හදයි!

ශ්‍රී ලංකා රජය චීනයෙන් ඉල්ලපු ඩොලර් බිලියන 2.5 ක ණයක් දෙනවද කියලා සලකා බලමින් ඉන්න බවත්, ලංකාවට වැඩිපුරම උදව් කරන්නේ චීනය බවත් කොළම මාධ්‍ය සාකච්ඡාවක් පවත්වපු ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්ග්හොං මහතා කියා තිබුණා.

ඉන්දියාව ශ්‍රී ලංකාවට විශාල ණය පහසුකම් දුන්නාට පස්සේ, ඉන්දියාවට වඩා අපි ලංකාවට උදව් කරනවා කියලා කියන්නට වාගෙයි මේ මාධ්‍ය සාකච්ඡාව පෙනුණේ.

ඍජු ණයක් විදියට ඩොලර් බිලියන 1ක් සහ තවත් බිලියන 1.5ක ණය පහසුකමක් ඉල්ලූ බව තමයි ඔහු කියා තිබුණේ. ඒවා දෙන හැටි තමයි සලකා බලන්නේ.

ඊට අමතරව චීනයෙන් විවිධ සහනාධාර ව්‍යාපෘති තොගේකුත් දෙනවාලු. ශ්‍රී ලාංකික මුස්ලිම් පවුල් 650කට කෑම සහනාධාර ලබාදීමේ වැඩසටහනක් වගේම උතුරු පළාතේ ඩොලර් මිලියන බාගෙක සහනාධාර වැඩසටහනකුත් චීන රජය ක්‍රියාත්මක කරනවාලු. උතුරේ චීනය කරක් ගැසීම ගැන ඉන්දියාව සතුටු නැති බව සිහිපත් කරන්න ඕනෑ අතුරු කරුණක්. රුපියල් මිලියන 40ක විතර ආධාර අලුත් අවුරුද්දකට කලින් දෙන්න ඉන්නවාලු. ඊට අමතරව අඩු ආදායම්ලාභීන්ට නිවාස තනා දීමේ ඩොලර් මිලියන 87ක් විතර වටිනා ව්‍යාපෘතියකුත් කරනවාලු.

ඊට අමතරව ඩොලර් මිලියන 300ක මූලික ආයෝජනයක් සහිත කර්මාන්ත ව්‍යාපෘතියක් කරනවාලු. ඒ් වගේම මේ වෙද්දී ශ්‍රී ලාංකික සිසුන් 6000කට පමණ චීනයේ අධ්‍යාපන පහසුකම් දෙනවාලු. චීන භාෂාව, සංස්කෘතිය සහ චීන ජීවන රටාවන්ට අප වැනි රටවල් හුරු කිරීම සඳහා මෙවැනි අධ්‍යාපන අවස්ථා ලබා දීම කාලෙක පටන් සිදු වුණා.

ඔය කරුණු කාරණා ගැන කයිවාරු ගැසීම චීන තානාපතිවරයා කර තතිබුණා.

ඒ වගේම උත්ක මාධ්‍ය සාකච්ඡාවේදී මීට කලින් ලංකාවට දුන්න ඩොලර් බිලියන දෙකකට වැඩි මුදල් ගැනත් ඔහු කයිවාරු ගසා තිබුණා. එහෙත් ඇත්තටම ඒ සල්ලි දුන්නේ ඩොලර්වලින් නෙවෙයි චීන රෙන්ඩිම්බිවලින්. ඒ සල්ලි වියදම් කරන්න හැකි වුණේ චීනෙටම ඒ සල්ලි දීලා චීන භාණ්ඩ ගෙන්වන්නයි.

ඇත්තටම ඔය රටවල් දැන් අපට උදව් කරන්නේ ඒ ක්‍රමයට. ඒ ණය පහසුකම්වලින් බඩු ගන්න පුළුවන් ඒ රටෙන්ම විතරයි. එතකොට එයාලටම ඒ සල්ලිත් වෙළඳ ආදායම් විදියට එනවා. ඊට පස්සේ ණය වාරික සහ පොළියත් ලැබෙනවා.

ඇත්තටම ලංකාව ගොඩ යන්න නම් ඉන් එහා ගිය අපනයන ආදායම සහ අනෙකුත් ආදායම් වැඩි කරන සැලසුම් ඕනෑ. ඒවා පේන මානෙක නෑ. බැසිල් රාජපක්ෂලා දඟලන්නේ ණයම ඉල්ලන්න තමා. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් අමාත්‍ය වෙනුවට රජයේ නිල හිඟන්නා බවට පත්වෙන්නයි මුදල් ඇමතිට වෙලා තියෙන්නේ.