ශ්‍රී ලංකාවේ ස්වෛරී බැඳුම්කරවල ආයෝජනය කරපු ආයෝජකයින් පිරිසක් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී නීති උපදෙස් ලබාගැනීම සඳහා නීති සමාගමක් වන වයිට් ඇන්ඩ් කේස් එල්එල්පී සමාගමේ සේවය ලබාගැනීමට තීන්දු කරලාලු. මෙම ආයෝජන ගැන තොරතුරු දන්නා පුද්ගලයන් පිරිසක් මූලාශ්‍ර කරගනිමින් ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පත්තරය මේ ගැන වාර්තා කරලා තියෙනවා.
ඒ අනුව ලංකාවේ බැඳුම්කර මිලට අරගෙන ඉන්න ඔය කියන ආයෝජකයන් තමන්ට පාඩුවක් නොවෙන විදියට ශ්‍රී ලංකා රජය එක්ක හෙට්ටු කරන්නට නීතිඥ සහයෝගය ලබා ගනීවි.
මෙලෙස හෙට්ටු කිරීමට අවශ්‍ය වෙන්නේ ලංකාව ඉදිරියේදී ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියකට ඇතුළත් වුණොත්. එහෙම වෙද්දී අපෙන් බැඳුම්කර මිලදී ගත් අය ඇතුළු සියළු ණය හිමියන් එක්ක නිල සාකච්ඡා පවත්වන්නට සිදු වේවි. ශ්‍රී ලංකා රජය පවා එහිදී අයිඑම්එෆ් ඇතුලු ජාත්‍යන්තර උපදේශන සමාගම්වල සහ නීති සමාගම්වල සහයෝගය ලබා ගනීවි. අන්න එතැනදී ලංකාව එක්ක හෙට්ටු කරන්න තමයි අපට ණය දුන්න පාර්ශ්වවලටත් නීතිඥවරුන් හෙම අවශ්‍ය වෙන්නේ.
ඒ අය උත්සාහ කරන්නේ තමන්ට එන්න තියෙන වාරික ටිකයි පොළී ටිකයි හැකි උපරිමයෙන් අය කර ගැනීමට.

මෙම ආයෝජකයන් අතතර බ්ලැක්රොක් ඉන්කෝපරේෂන් කියන ඇමෙරිකන් ආයෝජන සමාගම සහ ඇෂ්මෝ ගෲප් පීඑල්සී කියන බ්‍රිතාන්‍ය ආයෝජන ආයතනවල බැදුම්කර හිමියන් ඇතුළත් වෙන බව ඩේලි එෆ්ටී වාර්තා කරලා තියෙනවා. නීතිඥ සහයෝගය ලබා ගනිමින් හිටියාට තවමත් මූල්‍ය උපදේශකයෙකු තෝරාගෙන නැති බවත් උක්ත වාර්තාවේ සඳහන්.
රජයේ දත්ත වලට අනුව 2021 අප්‍රේල් වන විට ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්ට ඩොලර් බිලියන 16කට වඩා ණය වෙලා ඉන්නවා. චීනයට මෙන්ම ජපානයට සෘජුවම ඩොලර් බිලියන 3 ක් පමණ ණය වෙලා ඉන්න අතතර ඉන්දියාවට ඩොලර් බිලියන 1 ක් පමණ ණයයි. මේ ණය අර්බුදය විදේශ විනිමය අර්බුදයක් දක්වා වර්ධනය වෙලා තියෙන්නේ ආදායම් මාර්ග අහිමිවීම එක්ක.
ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතනික ණය හිමියන්ටත් ශ්‍රී ලංකාව හිඟ ණය තියෙනවා.
කාලයක් තිස්සේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල පියවර නොගෙන ආණ්ඩුව පැත්තෙන් හිටියා. දිගින් දිගටම අපිත් ඇතුළු විවේචකයන් ඒක නොකිරීම ගැන දැඩි විවේචන කළා. මේ වෙද්දී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 7ක විතර ණය ගෙවන්න නියමිතයි.
ඒ අතර ලංකා රජය අයිඑම්එෆ් ඇතුළු ජාත්‍යන්තර ආයතන එක්ක ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැනත් සාකච්ඡා කරනවා.