රජයේ මුද්‍රණ කටයුතුත් කඩදාසි හිඟයෙන් ඇණහිටී? පෙළපොතුත් නෑ! පේපරුත් නෑ! කඩදාසි හිඟය බුද්ධියට බලපාන ප්‍රශ්නයක්!

stack of freshly printed daily newspapers transported to a printing plant, in the background machines and technical equipment of a large printing plant

පොත්පත් ලිපි ද්‍රව්‍ය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ඇණවුම් කෙරුණු කඩදාසි (වයිට් ප්‍රින්ටින්) ඇතුළු ද්‍රව්‍ය ටොන් 1000ක් පමණ ඩොලරයේ ප්‍රශ්නය නිසා ප්‍රමාදවීමෙන් රජයේ ආයතනවල ඉදිරි මුද්‍රණ කටයුතු සම්පූර්ණයෙන්ම ඇන හිටින තත්වයක් උද්ගතව ඇතැයි ලංකාදීප වාර්තා කරලා තියෙනවා.

ඒ නිසා ඉදිරි වසරේදී ළමයින්ට ඉගෙනගන්නට පෙළපොත් දීම, විභාග ප්‍රශ්නපත්‍ර මුද්‍රණය ආදි කටයුතු වගේම බිල්පත්වල සිට තවත් බොහෝ දේ මුද්‍රණය කරන එක රජයටත් ප්‍රශ්නයක් වේවිලු.

ඒ එක්කම පෞද්ගලික අංශයේ ටියුෂන්වල සිට, පොත්පත් සහ පුවත්පත් දක්වා සියලු ක්ෂේත්‍රවලට මේ කඩදාසි හිඟය දරුණු ලෙස බලපාලා තියෙනවා. පුවත්පත් පැත්තෙන් බැලූ කල මිනිසුන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතියට කඩදාසි හිඟය බලපානවා. අනෙක් පැත්තෙත් ටියුෂන්වල සිට බොහෝ ක්ෂේත්‍රවලට කඩදාසි නැති වීමෙන් අධ්‍යාපනයටත් බලපානවා.

පොත්පත් නොකියවන ජාතියක් හැදෙන එකක කිසිසේත් යහපත් වෙන්නේ නැහැ.

බොහෝ අය කියාවි, පරිගණක තාක්ෂණය දියුණු නිසා දැන් කඩදාසි අවශ්‍ය නැති බව. ප්‍රශ්න පත්‍රයේ සිට, බිල්පත දක්වා සියලු දේ පරිගණකවලින් කළ හැකි බව. එය බොහෝ දුරට ඇත්තක්. එහෙත්, අකුරුවලින් ලියන දේවල් කියවීමේ සිට බොහෝ කටයුතුවලට අදටත් කඩදාසි නැතිව බැහැ.

මේ සම්බන්ධයෙන් ලංකාදීපය රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මියගෙන් කළ විමසුමකදී ඇය කියා තිබුණේ තම ආයතනය ඇණවුම් කළ භාණ්ඩ මුලදී නියම කෙරුණු මිල ගණන්වලට සැපයීමට සැපයුම්කරුවන් අදි මදි කිරීම නිසා මෙම ගැටලුකාරී තත්ත්වය මතු වී ඇති බව.

ඩොලරයේ මිල ඉහළ යෑම නිසා ඊට සාපේක්ෂව එම ඇණවුම් කළ භාණ්ඩවලට ගෙවීම් කරන ලෙස සැපයුම්කරුවන් ඉල්ලීම් කරලා තියෙන බවත් ඇය සඳහන් කළාලු.

මේ සම්බන්ධයෙන් තමා මහ භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කිරීමට කටයුතු කරගෙන යන බවද ලියනගේ මහත්මිය කියා තියෙනවා.

පොත් සහ ලිපි ද්‍රව්‍ය මුද්‍රණයට යොදා ගැනීම සඳහා ඇණවුම් කෙරුණු තීන්ත සහ ප්ලේට් සැපයීමද මේ තත්වය යටතේ ප්‍රමාදවී ඇතැයි මුද්‍රණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරලා.

දැනට නම් අතේ තියෙන කඩදාසි සංචිතවලින් මුද්‍රණ කටයුතු කරගෙන යන බවත් රජයේ මුද්‍රණාලාධිපතිනිය ප්‍රකාශ කළාලු. ඒ අනුව අර්බුදය එන්නේ ඉදිරියට.

නුදුරු කාලයේදී පාසල්වල වාර විභාග ආදිය පැවැත්වීමත් කඩදාසි හිඟය නිසා අර්බුදයට යන්න ඉඩ තියෙනවාලු.