ජේවීපී කොල්ලෝ ජනපති මන්දිරේ වටලද්දී, නාමල් මාලදිවයිනේ ජල සුදියක!

මාලදිවයින් ෆ්ලයිබෝඩර්ස් කියන මාල දිවයිනේ ජල ක්‍රීඩක කණ්ඩායම සතු නිල ෆේස්බුක් පිටුවට හෝ ඉන්ස්ටග්‍රෑම් පිටුවට ගියොත් මර්තු 17 වැනිදා රටේ මිනිස්සු වැලේ වැල් නැතිව ඉන්නකොට නාමල් රාජපක්ෂ අපේ ජනාධිපති බේබි මාලදිවයිනේ ආතල් එකේ, සොමියේ ජල ක්‍රීඩා කරන හැටි බලාගන්න පුළුවන්. වීඩියෝව ඩවුන් කරලා නැත්නම්.

ලංකාවේ ‘සමාජවාදී තරුණ සංගමය’ සහ සාමාන්‍ය ජීවිත ගෙවන තරුණයන් එදිනෙදා ජීවිතේට කෙළවෙලා ඔළු අවුල් කරගෙන ජනාධිපති මන්දිරේ ඉදිරිපිට විරෝධතාවයක යෙදුණේ නාමල්ගේ සුදිය සමාජමාධ්‍යවල ප්‍රචාරය වෙන අස්සේ.

පෝස්ට් එකෙන් එම ආයතනය අමාත්‍ය නාමල් රාජපක්ෂට මාලදිවයින් ෆ්ලයිබෝඩර් ආයතනය ස්තූති කරලා තියෙනවා.

‘නාමල් රාජපක්ෂ ඇමතිතුමාට ස්තූතියි. ලික්විඩ් වෝටර්ස්පෝට් වෙත සප්‍රයිස් එකක් ලෙස ආවාට ස්තූතියි. ඔබ මාත් එක්ක හයිඩ්‍රොස්පෝර්ට් ට්‍රයි කරලා බැලූ එක ගැනත් මේ ක්‍රීඩාවේ හරිම සැහැල්ලුවෙන් සහ සුන්දර විදියට යෙදුණු එක ගැන බොහොම සතුටුයි.’ කියල තමයි සරලව කිව්වොත් අදාල ගිණුමේ දාලා තියෙන්නේ.

ඒත් හොඳම කෑල්ල තමයි ඒ පෝස්ට් එකේ හෑෂ්ටැග්. එක හෑෂ්ටැග් තියෙනවා ‘ඉන්ස්පිරේෂන් ඕල් ලීඩර්ස්’ කියලා. සියලු නායකයන්ට ආදර්ශයක් කියලා. තව එකක් තියෙනවා ෆියුචර් ඊස් නව් කියලා. අනාගතය අදයි කියලා.

පව් ඉතින්! අර මාලදිවයිනේ මනුස්සයා ලංකාවෙ තත්වෙ හරියට දන්නෙත් නැතිව ඇති. මොකෝ ඉතින් අපට වඩා මාලදිවයිනත් දැන් හොඳ තත්වෙක තියෙනවානෙ. අපේ මිනිස්සුන්ගෙ කේන්තිය දන්නැතුව පෝස්ට් එක දාන්න ඇත්තෙ.

මේකෙ වැදගත්ම දේ තමයි නාමල් මෙතැනට ‘සප්‍රයිස්ට් විසිට්’ එකක් ආපු බව. ඒ කියන්නේ මේක යම්කිසි රජයේ ප්‍රවර්ධන වුවමනාවක් වෙනුවෙන් හෝ වෙන රාජ්‍යතාන්ත්‍රික වැඩකට ඒ ආයතනයට සහභාගී වීමක් නෙවෙයි. සම්පූර්ණයෙන්ම පෞද්ගලික ආතල් එකක්, සොමියක්, සැපක්, සුදියක් දාන්න තමයි මෙතැනට ගිහින් තියෙන්නේ.

නාමල්ගේ මෙම සංචාරයට යම්කිසි නිල හේතුවකුත් තියෙනවාලු. ඔහු තමන්ගේ ෆේස්බුක් පිටුවේ පහත පෝස්ටුව දමා තිබුණා.

‘මාලදිවයිනේ ප්‍රථම ක්‍රීඩා සම්මාන උළෙලට සහභාගිවීමට ලැබීම ගෞරවයක් ලෙස සළකනවා. මාලදිවයින් ජනාධිපති අතිගරු ඉබ්‍රාහීම් මොහොමඩ් සෝලි මැතිතුමන් හා මාලදිවයින් ගරු ක්‍රීඩා අමාත්‍ය අහමඩ් මහලුෆ් මැතිතුමන් සමඟ එක්ව එරට පුරා සිටින දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලැබීම ගැන සතුටු වනවා. මෙම සම්මානයන් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ චිත්ත ධෛර්යයට විශාල රුකුලක් වනු නොඅනුමානයි.’

ඔය අස්සේ තමයි දැවැන්ත වාහන පෝලිමක අතිශය බලවතුන්ගේ හමර්, ජීප්, බෝට්ටු සහ මෝටර් සයිකල් ඇතුළු වාහන තොගයක් ගමන් කරන හැටි සමාජ මාධ්‍යවල ෂෙයා වුණේත්.

මේ තමයි 2009 යුද්ධය අවසන් වීමෙන් පස්සේ රාජපක්ෂලා, පීබී ජයසුන්දරලා, කබ්රාල්ලා හැදූ ලංකාව. අතිශය ධනවතුන් පිරිසක් ලංකාවේ බිහිවුණා. ඒ මිනිස්සුන්ට මොළේකුයි හදවතකුයි හැර හැමදේම තිබුණා. ලුම්පන් ධනවතුන්. හමර් එක ගත්තාට, ඇතුළෙ ඉන්නෙ පත මාල වැලක් දාගත්තු, ඉණේ පිස්තෝලයක් ගහගත්තු, මිත්‍යා විශ්වාස ඔලුවෙ පුරෝගත්තු, විනයක්, සදාචාරයක් හෝ හෘදය සාක්ෂියක් නැති, කලාකෘතියක් රසවිඳින්න හෝ උසස් සංස්කෘතික ජීවිතයක් ගත කරන්න නොදන්න සවුත්තු බලවතුන් රැලක්. මේ රටේ ආයතනවල ලොකු පුටුවල ඉඳගත්තෙ එහෙම උදවිය. බිස්නස් කළේ එහෙම උදවිය. වෘත්තිකයන් වුණෙත් ඕකටම නොදෙවනි ලුම්පන් බලවතුන් පිරිසක්.

ඔය බලවතුන්ට එක්කෝ බදුමුදල් විනාශ කරන ව්‍යාපෘතිවල කොන්ත්‍රාත්, කුඩු හෝ වෙනත් ජාවාරම්වල සල්ලි තිබුණා. නැත්නම් ව්‍යාපාරිකයන්ට වුණත් තිබුණේ පොඩි මිනිහාට වෙළදපොළේදී උපරිමෙන් හූරාකාලා, ඉතාම පුංචි පඩියට උංව රස්සාවෙත් යොදවලා උංට පිටරටින් ගෙන්නන බඩු විකුණලා හම්බකරපු සල්ලි.

ඔන්න ඔය සුළුතරය රකින්න ඕනෑ නිසා තමයි සමහරවිට මේ අර්බුදයෙන් රට මුදවාගන්නට අවශ්‍ය තියුණු ආර්ථික, දේශපාලන තීන්දු ගන්නෙ නැත්තෙ. ඔය බලවතුන් තමයි දූෂිත දේශපාලනඥයාව ඡන්දෙන් දිනවන්න කැම්පේන්වලට සල්ලි යට කරන්නෙ. ඡන්දෙ ඉවරවුණාම සල්ලි හම්බ කරන්නෙ.

එහෙම අයගේ දරුවන් හැදී වැඩුණෙත් හොඳ නරක නොදන්න, සංස්කෘතික වටිනාකම් නොදන්න පරිසරයක. ඔය ලොකු ලොකු වාහනවල ඇවිත්, සමාජය ගැන සතපහක සංවේදීකමක් නැතිව හැසිරෙන්නේ උං තමා.

ජාතිවාදයේ ඉඳන් වලත්තකම් දක්වා හැම දෙයක්ම එක්ක ඥාණක්කාලාගේ රීමික්ස් බුදුදහම මේ බලවතුන්ට අයිති වුණා. අනෙක් මිනිස්සු හිතන්නෙ මොනවද, තමන්ව දකිද්දී හෝ තමන් කරන දේවල් දකිද්දී මිනිස්සුන්ට දැනෙන්නේ, හැඟෙන්නේ මොනවාද කියලාවත් ඔය අයට අදහසක් තිබුණේ නෑ. ඕකුන්ගෙ බොරු ආගමික විශ්වාස තිබුණාට, කිසිම හාමුදුරුවෝ කෙනෙක්වත්, කට්ටඩි ගෑණියෙක් හෝ මිනිහෙක්වත් හිටියෙ නෑ හොඳ නරක ගැන හැබෑ බණපදයක්වත් කියා දෙන්න.

දැන් කොහේහරි ඉන්න අපතයෙක් කියාවි අර මොටර් පෙළපාලිය ගියේ යම්කසි චැරිටි ප්‍රොජෙක්ට් එකකට විත්තිය. චැරිටි හොඳ දේවල් විත්තිය. ස්පින් රයිඩර්ස් ක්ලබ් කියන වාහන රසිකයන්ගේ සමාජ සංවිධානය තමයි මේ වැඩේ කරලා තිබුණේ.

මේ ක්ලබ් එකේ කොල්ලෙක් ෆේස්බුක් පෝස්ට් එකක දාලා තිබුණා මෙහෙම.

‘අපිට කවද්ද බන් ටුවර් එකක් දුවනකොට ප්‍රශ්න නාවෙ …

අදත් එහෙමයි … එදත් එහෙමයි …

ටිකක් ගෙනල්ල මෙහෙමනම් ඔක්කොම ගෙනිච්චොත් විනාසයි …

අපි මනුස්සකමට ආදරේ කරන ක්ලබ් එකක් …

අපිටත් මනුස්සකම පෙන්නන්න …

අපි විසින් තවත් ශක්තිමත්ව සමාජයට හොද දේ දායාද කරනු ඇතී.

අවුරුද්දකට එකපාරයි … ලංකාවටම එකයි …

හොදම එක … ලොකුම එක … SPIN RIDERS.’

– ස්පින් රයිඩර්ස් ෆේස්බුක් පිටුවෙන්

හැබැයි ඇත්තම කතාව තමයි මේ කියන දවසට පහුවදා සමාජවාදී තරුණ සංගමය කොළඹ ජනාධිපති කාර්යාලය වටලන්න පාරට බැස්ස බව. ඇත්තම කතාව තමයි පිළිකාර රෝහලේ ලෙඩ්ඩුන්ට අතවශ්‍ය බෙහෙත් නැති බව කියන කාලෙක ලක්ෂ 12ක් කියන්නේ හොඳ දෙයක් නමුත්, අවශ්‍යම දේ නෙවෙයි.

‘[ මහරගම අපේක්ෂා රෝහලට ලක්ශ 12ක් ] ♥️

මහරගම “අපේක්ෂා” රෝහල වෙත පරිත්‍යාග කිරීම වෙනුවෙන් නිර්මාණය කල Spin Riders – අපේක්ෂා T Shirt එක අලෙවි කිරීමෙන් ලැබුනු මුදල් සහ හිතමිතුරන්ගේ මූල්‍යමය ආදාර වල එකතුව මගින් ලක්ශ 12ක මුදල් පරිත්‍යාගයක් අද දිනයේදී මහරගම අපේක්ෂා රෝහල වෙත පරිත්‍යාග කරන ලදී,මේ සදහා දායකත්වය ලබා දුන් සියලුම සාමාජිකයන් / හිතමිතුරන් හට අපගේ ස්තූතිය ප්‍රකාශ කරන ලදී.මෙය Bikers For The Country තේමාවේ තවත් එක් සමාජ මෙහෙවරක් ලෙස මතක පොතට එක් කරන ලදී…… ♥️

ස්පින් රයිඩර්ස් ෆේස්බුක් පේජ් එකෙන්

ඔය ලක්ෂ 12ක චැරිටියක් වෙනුවට මේ වෙලාවේ රටේ තියෙන අර්බුදය ගැන තරුණයන් විදියට විරෝධතා රැළියක් කරමුකො. ඇත්තටම දුක්විඳින මිනිස්සු වෙනුවෙන් යමක් කරමුකො.

ඇත්තටම ලංකාවේ සුළුතරයක් වූ බලවතුන් පිරිස රටේ මිනිස්සුන්ගෙ සාරය උරා බොන පිළිකා වගේ. එහෙම කරලා කරලා, අන්තිමට ඕකුන් කරන එක දෙයක් තමයි තමන් මාර හොඳයි කියලා පෙන්වන්න විවිධාකාර චැරිටි ප්‍රොජෙක්ට් කරන එක. ඔය ගොඩක් කාලකණ්ණි ලුම්පන් බලවතුන්ගෙ, ධනවතුන්ගෙ නමින් චැරිටි ආයතන තියෙනවා. පිළිකා රෝගියාට බෙහෙත් ගන්න නැති තරමට ලංකාවට කෙළපු උං, ඒ පිළිකාර රෝහලටම පොඩි මැෂින් එකක් අරං දෙන්න කියලා චැරිටි උත්සව කොරනවා.

මිනිස්සුන්ට කන්න නැතිව පාරට වැටෙන ජාතියෙ රටක් පවත්වාගෙන යන ඕකුං, හැන්දෑවට දුප්පත් මිනිස්සුන්ට බත් පැකට් බෙදන ප්‍රොජෙක්ට් කරනවා.

ඔය මෝටර් රැළියයි, නාමල්ගේ ජල ක්‍රීඩාවයි තමයි ලංකාවෙ ආත්මය.