රට වැටුණෙ කොවිඩ් නිසා! ජනපති කතාව අගය කරනවා! රට ගොඩගන්න එයාට උදව් කරන්න! – මැදගම ධම්මානන්ද හිමි

කොවිඩ් අර්බුදය නිසා ඇති වූ අයහපත් බලපෑම් හේතුවෙන් බිඳවැටිච්ච රට ආපහු ස්ථාවර මට්ටමට ගෙන ඒමට ජනාධිපතතිවරයා ගන්න වෑයමට සියලුදෙනාගේ සහයෝගය ලැබෙන්න ඕනෑ බව අස්ගිරි පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියන් කීවාලු.

රට තුළ ඇතිවෙලා තියෙන ආර්ථික ගැටලු වගේම ජනතාවට මුහුණදෙන්න සිදුවෙලා තියෙන අපහසුතා සම්බන්ධයෙන් ජනාධිපතිතුමා කරපු පැහැදිලි කිරීම ඇගයීමට ලක් කරන්න ඕනෑ බව ධම්මානන්ද හිමියන් කිවාලු.

රජවැල්ල වාර්තාකරු හේරත් ඒකනායක මහතා ලියූ පුවතක ඒ විදියට සඳහන් වෙනවා.

‘මහා සංඝරත්නය ප්‍රමුඛව මේ රටේ අති බහුතර ජනතාව ගෝඨාභය රාජපක්ෂෂට රට භාර දුන්නේ දැඩි විශ්වාසයකින් බවත්, ඒ විශ්වාසය කඩ නොකර කටයුතු කිරීමට එතුමා ගන්න වෑයමට සියලු දෙනාගේ සහයෝගය හිමිවෙන්න ඕනෑ බවත් ධම්මානන්ද නාහිමි කියා තිබුණේ ජනාධිපති ගෝඨාභයගේ ජාතිය අමතා කරපු කතාවට ප්‍රතිචාර දක්වමින්.

දීර්ඝ කාලයක් තිස්සේ ආර්ථික කළමණාකරණය ගැන රටේ ගැටලු තිබුණාලු. ඒ් මැදට ස්වාභාවිකව ආපු සෞඛ්‍ය ගැටලුත් එකතු වුණ නිසා රටට අර්බුදයක් ආවාලු. ඔන්න ඔය විදියට ‘මේ අර්බුදය මගේ නිර්මාණයක් නෙවෙයි’ කියා ගෝඨාභය රාජපක්ෂ මහතා කරපු ප්‍රකාශයට ධම්මානන්ද හිමි උත්තර බැඳලා.

ඒ මදිවාට ධම්මානන්ද හිමියන්ගේ කතාවේදී ‘උද්ඝෝෂණ විරෝධතා මතු කිරීමෙන් තත්වය බැරෑරුම් වෙනවා.’ යනුවෙනුත් මේ හාමුදුරුවන් කියලා.

ඇත්තටම ලංකාවේ මේ වෙද්දී තියෙන මහජන විරෝධය සංඝ සංස්ථාවේ ඉන්න සමහර උදවියටත් එල්ල වෙන්න ඕනෑ බව පැහැදිලියි. සිවුරට නිගා කරන්න එපා ගාගෙන අපේ තියෙන ආගමික නිවටකම රැකලා වැඩක් නැහැ.

ඇත්තටම මැදගම ධම්මානන්ද හිමි වගේ හිමිනමක් කරන්න ඕනෑ රටෙන් සමාව ගැනීම. සංඝ සමාජය කියන්නේ තනි ඒකකයක් නෙවෙයි. ඉතාම බුද්ධිමත් හිමිවරුන් ඕනෑ තරම් රටේ ඉන්නවා. ඒත්, ගෝඨාභයව බලයට පත් වෙන්න හේතු වූ රැල්ල රටේ හදන්නට පන්සල් ලබාදුන් දායකත්වය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

ඉතින්, රට මේ තරම් විනාසයකට ඇදලා දාන්න සංඝ සමාජය කරපු දායකත්වය ගැන, ඒ සමාජය නියෝජනය කරන නාහිමිවරුන් රටෙන් සමාව ඉල්ලන්නයි ඕනෑ. සංඝයා කියන්නේ රට පාලනය කරන හැටි දන්න උදවිය නෙවෙයි. ඉස්සර ලංකාවේ රජවරුන්ට හාමුදුරුවරුන් උපදෙස් දුන්න බව කියනවානේ. එදා තත්වය සෑහෙන වෙනස්. ඒ කාලෙ අධ්‍යාපනය කියන එක තිබුණේ පන්සල් ඇසුරේ. ගිහියන් ලියන්න, කියවන්න, අධ්‍යාපනය ලබන්න වෙහෙසුණා අඩුයි. සමාජය ගයිඩ් කරන්නට වෙනත් දැනුම් පද්ධති නොතිබිච්ච නිසා යම් ආගමික දැනුම් පද්ධති අවශ්‍ය වීමත් තේරුම් ගන්න පුළුවන්.

ඒ නිසා එදා හාමුදුරුවරුන්ගෙන් උපදෙස් ගැනීම හරි වෙන්න ඇති. ඒත්, අද රටක් පාලනය කරන්නට ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව සහ අනෙකුත් දැනුම් පද්ධති ගොඩක් තියෙනවා. ඒවා ඉගෙනගත් උදවියත් ඉන්නවා. ඇත්තටම ඇතැම් හාමුදුරුවරුන් කියන්නේ ඒ දැනුම නැති ග්‍රාම්‍ය, නූගත් පිරිසක්. (ඒ දැනුම ලැබූ විද්වත් හිමිවරුනුත් ඉන්නවා හොඳේ.)

එහෙම තියෙද්දී තමන් දන්න චුට්ටි දැනුමෙන් මේ රටේ පාලනයට ගෝඨාභයලාව ගේන්න බණ කීව හාමුදුරුවරුන් රටට කරපු විනාශය අද හැමෝටම පේනවා. ගෝඨාභය බලයට ගෙන ඒම විතරක් නෙවෙයි, දූෂිත දේශපාලුවන්ට එදා ඉඳන් අද දක්වා පිරිත් නූල් බැඳ බැඳ සපෝට් කිරීමත් විනාසයට මුලක්.

දැන් මිනිස්සුන්ට කේන්ති ගිහිල්ලා ඉන්න වෙලාවේ බයිලා කතා කරන්න එපා නායක හාමුදුරුවනේ. දේශපාලනේ ගැන කට පියාගෙන හිටියත් කමක් නෑ. කට අරින්න ඕනෑම නම් මුලින් තමන් නියෝජනය කරන සංඝ සමාජය දායක වෙච්ච විනාසය ගැන විවෘතව කතා කරන්න.