‘කිසි ආහාර හිඟයක් එන්නේ නෑ’ – මහින්දානන්ද! දැන් තියෙන අර්බුදයත් එන්නෙ නෑ කියලයි කලින් කීවෙ!

ශ්‍රී ලංකාවේ කිසිම ආහාර හිඟයක් ඇති නොවන බව වගකීමෙන් පවසන්නේ යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා තියෙනවා.

මහ කන්නයේ පළමු හරිත අස්වැන්න ශ්‍රී මහා බෝධියට පුදන උත්සවයකට මාර්තු 19 වැනිදා සහභාගී වෙමින් තමයි ඔහු එහෙම කියා තියෙන්නේ.

එහෙත්, කෘෂිකර්ම අමාත්‍යවරයා හෝ වෙනත් අමාත්‍යවරයෙක් කියන දේවල් විශ්වාස කරන්න පුළුවන්ද කියන එක වෙනම කතාවක්. මීට කලිනුත් කීවේ ලංකාවේ කිසිම අර්බුදයක් එන්නේ නැති බව තමයි. එහෙම කීව කබ්රාල් මහත්තයාලා දැන් අයිඑම්එෆ් යනකොට සද්ද නැතිව ඉන්නවා.

යල මහ කන්නවල වී වගාවෙන් සහල් මෙට්‍රික් ටොන් මිලියන 3.3 ක් ලැබීමට නියමිත අතර ජාතික අවශ්‍යතාවය සහල් මෙට්‍රික් ටොන් මිලියන 2.2 ක් බවද අලුත්ගමගේ මහතා කියපු බව ලංකාදීපය ලියා තියෙනවා.

කෙසේ නමුත් මේ දත්ත තහවුරු කිරීමක් සිදුවෙලා නැහැ. මේ මෙට්‍රික් ටොන් ප්‍රමාණය ගැන ඔහු කියන්නේ කුමන ආයතනයේ මූලාශ්‍ර මතද? රටේ අවශ්‍යතාව නිර්ණය කරගත්තේ කොහොමද? ඒ තොරතුරු නෑ.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිල දත්ත අනුව ගියපාර මහ කන්නයේ ලංකාවේ වැඩිම වී මෙට්‍රික් ටොන් ප්‍රමාණයක් නිපදවූ දිස්ත්‍රික්කය අනුරාධපුර. හෙක්ටෙයාර 112,000ට වඩා වගා කරලා මෙට්‍රික්ටොන් ලක්ෂ හතරට වැඩි ප්‍රමාණයක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පහුගිය මහ කන්නයේදී ලැබුණා. ඒත්, 2022 ජනවාරි මාසයේ ආණ්ඩුවේ ඩේලි නිව්ස් පත්තරයේම ගිය වාර්තාවක සඳහන් වෙන විදියට කෘෂිකර්ම නිලධාරීන් අනුරාධපුර දිස්ත්‍රික්කය ඇතුළේ කරපු සමීක්ෂණවලින් හෙළිවෙලා තියෙනවා මෙවර ඒ දිස්ත්‍රික්කයේ වගා කරලා තියෙන්නේ මෙට්‍රික් ටොන් 60,000ක් පමණ බව. වැඩිපුරම හාල් ලැබෙන දිස්ත්‍රික්කයෙ බාගෙට බාගයක් වී අඩු වුණාම කොහොමද අවශ්‍ය තරමට අස්වැන්න ලබන්නේ.

ගොවියන්ට බය නැතිව කාබනික පොහොර පාවිච්චි කරන්න කියලාත්, කලට වෙලාවට පොහොර පාවිච්චි කළොතත් නිෂ්පාදනයේ කිසි අඩුවක් වෙන්නේ නැති බවත් ඔහු වැඩිදුරටත් කියලා.