සාර්ව ආර්ථික ස්ථාවරත්වය හදන්න! IMF කී දේ! ඊට කලින් ‘සර්ව’ ස්ථාවර කරන්න වේවි!

ශක්තිමත්, හොඳින් ඉලක්ක කරගත් සමාජ ආරක්ෂණ දැලක් හදලා අවදානමට ලක් වෙන්න ඉඩ තියෙන කණ්ඩායම්, ඒ කියන්නෙ පොඩි මිනිස්සුන්ගෙ ජීවන තත්වය රැකගන්න ක්‍රමයක් හදලා සාර්ව ආර්ථික ස්ථාවරත්වයයි, ණය ගෙවීම ස්ථිරසාර කරන්නයි උපයමාර්ග ඉක්මනින් ක්‍රියාත්මක කරන්න ඕනෑ බව අයිඑම්එෆ් එක ලංකාවට කියලා.

හැබැයි ඔය කියන සාර්ව ආර්ථික උපායමාර්ග ශක්තිමත් කරන්න කලින් ‘සර්ව’ ස්ථාවර කරන්න වේවි. සර්ට මතයකුත් නෑ, හරි සැලසුමකුත් නෑ. ඒ නිසා සර් එක්කෝ ගෙදර යන්න වෙනවා. නැත්නම් නිහතමානීව වැරදි පිළිඅරන් අලුත් ආරම්භයක් ගන්න සිද්ධවෙනවා.

බ්‍රහස්පතින්දා වොෂින්ටනයේ තිබුණ නිල මාධ්‍ය හමුවේදී සන්ඩේ ටයිම්ස් පත්තරේ මාධ්‍යවේදියෙකු ඊමේල්වලින් අහපු ප්‍රශ්නවලට උත්තර දෙමින් බිස්නස් ටයිම්ස් විද්‍යුත් තැපෑලෙන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් IMF සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජෙරී රයිස් ලංකාවට දුන්න උපදෙස් ගැන කියා තිබුණා.

ආ! ‘සර්ව’ ස්ථාවර කරන්න කියලා ඔහු කියා තිබුනෙ නෑ. ඒක කියන්නෙ අපි.

“මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ අප්‍රේල් මාසයේ වොෂින්ටන් සංචාරයේදී ලංකාවට හොඳින්ම සහය ලබාදිය හැකි ආකාරය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා කරනු ඇති” ජෙරී රයිස් ඔහු වැඩිදුරටත් කීවාලු.

රයිස් මහත්තයෝ! ලංකාවෙ කෑම කඩේක දැන් රයිස් එකක්, ඒ කිව්වෙ ෆ්‍රයිඩ් රයිස් එකක් හයසීයක් විතර. රයිස්වල සිංහල තේරුම හෙවත් බත් කරන්න හාල් මිල දෙසීයට නගිනවා. ඒ නිසා ලංකාවෙ මිනිස්සුන්ට බත් ටික කන්න විදියක් හදලා දෙන්න රයිස් මහත්තයෝ කියලා අපේ මනුස්සයෙක්ට හැඟුණොත් පුදුම වෙන්න දෙයක් නෑ.

කලින් ‘සුද්දෝ එපා!’ ‘බටහිර එපා!’ කියපු ‘වීර හෙළයෝ!’ අසරණව රයිස් මහත්තයාලාගේ වැඩවලින් බත් කටක් කන්න ක්‍රමයක් හොයනවා ඇති. ඒක හුදෙක් දෛවය නෙවෙයි, ඒ තමයි නූතන ලෝකයේ යථාර්තය. ‘බටහිර විරෝධී දේශීය චින්තනයක්’ ගැන කීව ජාතිකවාදීන් නොකී ඇත්ත.

කතාවට හැරෙමු. බැසිල් රාජපක්ෂ මහතා අයිඑම්එෆ් එකට ගිහින් ශ්‍රී ලංකා රජයේ වැඩසටන ඉදිරිපත් කරලා, අපේ පැත්තේ අපේක්ෂාවන් ඉදිරිපත් කරනවාලු. (කපුටාස් භාෂාවෙන් මුදල් ඇමති කියන කතාව හරියට වටහාගන්න අයිඑම්එෆ් කට්ටියට පුළුවන් වුණොත් හොඳයි.) මුදල් ඇමතිගේ බ්‍රීෆින්ග් එකට සාමාන්‍යයෙන් යන වෙලාව වගේ දෙගුණයක් වෙලාව කොහොමත් යයි, මැද නවත්තන්නයි, බෙහෙත් බොන්නයි, දාඩිය පිහදාන්නයි, කොළේ බලං කියවන්නයි.

කොහොමහරි ඒ සාච්ඡාවෙන් පස්සේ අයිඑම්එෆ් ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කරනු ඇති.

ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂ ගැටලු විසඳීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සම්බන්ධ වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා එක්ක තිබුණ සාකච්ඡාවේ ප්‍රතිඵල ඉදිරිපත් කරමින් රයිස් මහතා කියා තිබුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබන වැඩසටහනක් පිළිබඳව ක්‍රියාකාරීව සලකා බලමින් සිටින්නේයැයි සාකච්ඡාවේදී තහවුරු වුණාලු.

සඳහා සාර්ව මූල්‍ය ධාරිතාව ගොඩනැගීම පිළිබඳ පුහුණුව සහ තාක්ෂණික සහාය ලබාදීම සඳහා මුදල් අමාත්‍යාංශය ඉල්ලලා තියෙන බවත්, ඒකට සහයෝගය දෙන බවත් එහිදී කියලා. ඒ වෙනුවෙන් පුහුණු වැඩසටහනකුත් කරනවාලු. ඒකට අයිඑම්එෆ් එකෙන් ලංකාව ගැන කරපු මූලික පුරෝකථන සහ ආර්ථික විශ්ලේෂණ මෙවලම් පාවිච්චි කරනවාලු.

අයිඑම්එෆ් ඕන්නෑ, මට ඔක්කොම පුළුවන් කියල ඔලුව උදුම්මාගෙන ලංකා ජාතියේ ඔලුව කළුගලක හප්පපු අජිත් නිවාඩ් කබ්රාල් මහතා සන්ඩේ ටයිම්ස් පත්තරේට අදහස් දක්වමින් කියා තියෙනවා මාර්තු 15 වැනිදා ජනාධිපති සහ අයිඑම්එෆ් අතර සාකච්ඡාවට තමනුත් සහභාගී වූ බව.

අයිඑම්එෆ් නියෝජිතයන් කබ්රාල් මහතා එක්ක සාකච්ඡා කළේ නැහැ. ඒකට හේතුව ජනාධිපතිවරයා එක්ක කරපු සාකච්ඡාවට තමනුත් සහභාගී වීම බව කබ්රාල් මහත්තය තමන්ගෙ පැත්තෙන් කියා තියෙනවා.

“ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සම්බන්ධ වීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව දැන් ප්‍රකාශ කර ඇති හෙයින්, ආර්ථිකය මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී සම්බන්ධීකරණ ඉදිරි ගමනක් සහතික කිරීම සඳහා මහ බැංකුව අනාගත රැස්වීම්වලට සහභාගී වෙනවා.” යනුවෙන් කබ්රාල් මහතා කියලා.

ඔය කියන සාකච්ඡාව වෙනුවෙන් දවස් දෙකක නිල සංචාරයකට ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චැන්ග්යොන් රී මහතා ජනාධිපතිවරයා එක්ක තිබුණ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා වෙත ප්‍රධාන කරුණු හයක් ඉදිරිපත් කළාලු.

මේ වෙද්දී රජයේ සැලසුම් ගැන විශ්වාස නැති නිසා ජාත්‍යන්තර වෙළදපොළ සම්පූර්ණයෙන් වගේ ලංකාවට වැහිලා තියෙන බව රී මහතා කීවාලු.

‘ඔව් මහත්තයෝ! ලංකාව රීගෙන ඉන්නෙ.’ ලාංකිකයෙක්ට එහෙම හිතේවි. (භාෂාව ගැන සමාවෙන්න.)

දෙවැනි කාරණය, රජය විසින් විනිමය අනුපාතිකය වැරදි ලෙස කළමනාකරණය කිරීම. ඒ නිසා ලංකාවේ විදේශ මුදල් හිදිලා ගිහින් ලංකාවට ණය ගෙවන්න මුදල් නැති වූ බව ඔහු පෙන්වා දීලා.

දැන් උද්ධමනය සීයට 25 දක්වා ඉහළ යෑමත්, ආහාර උද්ධමනය දරුණු විදියට වැඩිවෙද්දී ඒක පාලනය කරන්නට ආණ්ඩුවට තියෙන නොහැකියාව ගැන ඊළඟට රී මහත්තයා කරුණු දක්වලා.

සිව්වැනියට පහුගිය අවුරුදු දෙකේ තිබුණ දැවැන්ත අයවය හිඟය ගැන ජනාධිපතිවරයාට කරුණු දැක්වුවාලු..

උසස් තත්ත්වයේ ආදායම් ක්‍රියාමාර්ග මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයේ අවශ්‍යතාවය රී මහත්තයා පස්වැනියට අවධාරණය කළාලු.

ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සමඟින් බදු නිදහස් කිරීම් අවම කරමින් ශ්‍රී ලංකාව ආදායම් බදු සහ වැට් බදු අනුපාතය දැනට පවතින සියයට 8 සිට සියයට 15 දක්වා වැඩි කළ යුතු බව හයවැනියට අයිඑම්එෆ් එක පෙන්වා දුන්නාලු.