මං නෙවෙයි! උඹලා වගකීම් ඉටුකරපල්ලා! – ගෝඨාභයගේ කතාවේ නිරුවත

A man watches Sri Lankan President Gotabaya Rajapaksa address the nation on his mobile phone along a street in Colombo on March 16, 2022. (Photo by Ishara S. KODIKARA / AFP) (Photo by ISHARA S. KODIKARA/AFP via Getty Images)

(ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කරපු කතාවේ වැදගත් වචන, නොකියා සිටි කොටස්, විධිමත් භාෂාව අතෑරලා දාලා කතාව නිරුවත් කළාට පස්සේ අපට ඒ කතාව පෙනුණ විදිය මේ.)

මං මේ උඹලා එක්ක අද කතා කරන්නේ වෙන වැඩ නැතිව නෙවෙයි. අභියෝගාත්මක අවස්ථාවක.

උඹලා ඔය පොඩි පොඩි බඩු හිඟයකුයි, මිල වැඩිවීමුයි හින්ද ඥංපචං ගාගෙන ඉන්න බව මට තේරෙනව ඉතින්. ඔච්චර කෑගහන්න එකක්යෑ. ගෑස්  නෑ, විදුලිය නෑ. මං නොදැන නෙවෙයි. බොරුවට හැමතැනම නටන්න එපා.

ආය අර්බුදය ඇතිවෙනකල්ම කිසිදෙයක් නොකර හිටියාට මං දැං අර්බුදේ ගැන සංවේදීයි. හොඳටම අර්බුදේ වැඩිවෙලා හැමෝම ගෝඨා ගෙදර පල කියනකංම ‘මං සංවේදීයි’ කියන වචන දෙක කියන්න පරක්කු වුණ එක ගැන ගණං ගන්න එපා.

අපි ආයෙ ඒ ගැන උපරිම දේවල් කළා. තෙල් අර්බුදේ ගැන කලින් කිව්ව ආනන්ද පාලිතව හිරේ දැම්ම. උද්ඝෝෂක කරපු ස්ටාලින්ලව උස්සං ගිහින් ආමි කෑම්ප්වල දැම්ම. ෆේස්බුක් පෝස්ට් දැම්මත් සීඅයිඩී ගෙන්නුවා.

හරිගියේ නෑ. දැං ඉතතින් සංවේදී වෙන්න වෙනව. මොනවහරි කරන්න වෙනවා. මං කරන දේවල්වල වගකීම ගන්නවා ඈ.

දැං මාස ගාණක් තිස්සේ පෝළිංද? ආ! මං අද දැඩි තීරණ ගන්නවා. ඔව් ඔව්! මෙයා අදද තීන්දු ගන්නෙ? කියලා අහන්න එපා. අද තමයි තීන්දු ගන්නෙ.

ඒ තින්දු මොනාද කියලා විස්තර ඇතිව අහන්න එපා. ඒවා කියන්නෑ. තීන්දු ගන්නවා කියන එක විතරක් තේරුං ගන්ඩකෝ. අදිටං කරං ඉන්නේ.

මං ඒකට උපදෙස් ගන්න ආර්ථික කවුන්සිලයකුයි උපදේශක සභාවකුයි පත් කළා. දකින්න ඇතිනෙ. මං ජොන්ස්ටං ප්‍රනාන්දු වගේ අයගෙන් තමා උපදෙස් ගන්නෙ හොඳේ. ආ! වසංගතේ අස්සෙ ආනයන පාලන එක්ක ටයිල් එහෙම විකුණලා ලාබ හොයපු ධම්මික පෙරේරලයි, තව මට එහෙයි කියන ආචාර්යවරුන් සහ යාළු බිස්නස්කාරයො ටිකකුත් උපදෙස් ගන්න මං පත් කරගත්තා.

අර මට අපේක්ෂකකම ලැබෙද්දී කීවනෙ වියත් මග පර්යෙය්ෂන කරලා සැලසුං හැදුව කියල. ඒ හදපු සැලසුං ටික පුච්චලා නළලෙ අලු ගාතත්තනෙ. ඒ නිසා රටම එරුණට පස්සෙ මං අමුතුවෙන් මේ උපදෙස් ගන්න තීන්දු කොළේ.

දැං ඉතිං හැපි ගෝ ලකී.

මං වැඩ නාගන්නව කියල උඹල දන්න දේවල් මොහොතකට අමතක කරගෙන, මං ගැන විශ්වාසය තියන්න කියලා ඔබගෙන් මුලින් ඉල්ලනව. මොකෝ ඉතිං මං මිනීමරුවන්ට ජනාධිපති සමාව දුන්න කෙනානෙ. පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු නොකරපු කෙනානෙ. මාව විශ්වාස කරන එක අමාරු එකක්යැ?

මම ජනතාවගෙ අසීරුකම් හොඳට අඳුනන එක්කෙනෙක්. කොන්දෙ අමාරුව, බඩේ අමාරුව, අහවල් අමාරුව, ඇකේ පුමාරුව වගේ නොයෙකුත් අමාරුකං මටත් තියෙනවා.

ම්හු! ඊළඟට මගේ හැම කතාවකම එන අංගෝපාංගය. යුද්දෙ. මට මොහොතක් යුද්දෙ ගැන කයිවාරු ගහන්න දෙන්න.

බ්ලා බ්ලා බ්ලා. කුරිරු ත්‍රස්තවාදයට. බ්ලා බ්ලා බ්ලා. හමුදා සෙබළා. යුද්දෙ යුද්දෙ යුද්දෙ.

දෙවැනුව මා පහුගිය කාලෙ හැම කතාවකම කීව බොරු සහ බාගෙට ඇත්ත ආයෙත් වමාරන්න දෙන්න. ලෝකෙටම ලොකු අමාරුකං තියෙනවා.

අපේ ඇමෙරිකාවෙ වොෂිංටන් හන්දියෙත් ගෑස් පෝළිමේ අපේ ඥාති හිටං ඉන්නවා. ඕස්ට්‍රේලියාවෙ තෙල් පෝළිමේ ඊයෙත් වළි. ජර්මනියෙ ගොවියො පොහොර ඉල්ලලා බර්ලිං හන්දියේ ඒ රටේ මහින්දානන්දගෙ පඹයො පුච්චලා.

මගේ කල්‍යාණ මිත්‍රයා කියල ඉස්සර මටම කඩේ ගිය ගම්මන්පිළ පවා කියනව තමයි මේක ලෝකෙම තියෙන අර්බුදයක් නෙවෙයි කියල. ඒව විශ්වාස කරන්න එපා. උඹල ලෝකෙ වෙන දේවල් නොදන්න මෝඩයො වෙලා මං කියන එක විශ්වාස කරන්ඩ.

මේ ගොඩක් ඒවා අපේ පාලනයෙන් තොරයි. ඒත් මේ විශේෂඥයන් කතා කළේ පාලනය යටතේ තියෙන ඒවා අපි කරගන්න බැරිවුණ විත්තිය චුට්ටක් අමතක කරලා දාන්න.  

මේ අර්බුදදය කොහෙත්ම මම නිර්මාණය කරපු එකක් නෙවෙයි. ඒක අම්මප ඇත්ත. මං නිර්මාණය කරපු එකක් නෙවෙයි. ඒත් ඉතිං මේ අර්බුදය මෙතැනට වැඩෙන්න, පුපුරලා යන්න සැලැස්සුවේ මං කියන එක අමතක කරන්න එපා.

අ.. අ.. අර්බුදේ ඇවිල්ල  දැන් අපට බණින අය හදපු එකක්. ඔව්. ඒක එයාලගෙ..

විපක්ෂෙ උංටයි, ආණ්ඩුව පැත්තෙ විවේචන ටිකක් කරන්නං ඈ. අහං ඉන්න. බ්ලා බ්ලා බ්ලා.. විපක්ෂයෙ වගකීම බ්ලා බ්ලා බ්ලා.

මං කලින් කිව්වනෙ කොවිඩ් එක්ක ලෝකෙම තියෙන අර්බුදයක්ය මේක කියල.

ඔන්න ඉතිං කියල කට ගන්න කලින් මං ඒකට සම්පූර්ණයෙන් පරස්පර කතාවක් කියනවා ඈ. කලිං කිව්ව එක අමතක කරලා දැනට මේ අලුත් තර්කෙ බාරගන්න.

අද තිබෙන ගැටලුවලට මුල අද තිබෙන විදේශ විනිමය අර්බුදයයි. ඔව්. ලෝකෙම තියෙන එකක් නෙවෙයි ඈ.

‘මේ අවුරුද්දේ අපේක්ෂිත අපනයන ආදායම ඩොලර් බිලියන 12ක්. පසුගිය මාස දෙකේ දත්ත අනුව මේ අවුරුද්දට ඩොලර් බිලියන 22ක ආනයන වියදමක් දරන්න වෙනවා. ඒ අනුව ඩොලර් බිලියන 10ක හිඟ ආනයන වෙළඳ පරතරයක් ඇති වෙනවා.

පසුගිය කාලය තුළ තිබෙන දත්ත අනුව මේ අවුරුද්දට සංචාරක ව්‍යාපාරයෙන්, ඒ ව‍ගේම තොරතුරු තාක්ෂණය වැනි සේවා අපනයනවලින් ඩොලර් බිලියන 3ක් පමණ ලැබිය හැකි අතර විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවලින් අපට ඩොලර් බිලියන 2ක් ලැබෙනවා. ඒ අනුව හිඟ වෙළඳ පරතරය ඩොලර් බිලියන 5ක් වෙනවා. ඒ අතර මේ වර්ෂය තුළ ඩොලර් 6.9ක් ණය වාරික හා ස්වෛරී බැඳුම්කර වෙනුවෙන් ගෙවන්නට වෙනවා. එවිට ඩොලර් බිලියන 11.9ක හිඟයක් ඇති වෙනවා. අනෙකුත් ලැබෙන ණය ආධාර සහ අයෝජන ලෙස ඩොලර් බිලලියන 2.5ක් අපේක්ෂා කරනවා. මේ ආකාරයට විදේශ මුදල් ප්‍රවාහයේ ඩොලර් බිලියන 9.4ක සම්පූර්ණ හිඟයක් තියෙනවා. එහෙත් රුපියල නමනශීලී කළාට පසුව අපනයන ආදායම ඩොලර් බිලලියන 13ක් දක්වා වැඩි වේයැයි අපේක්ෂා කරනවා. ඒ වගේම ආනයන වියදම ඩොලර් බිලියන 22 සිට ඩොලර් බිලියන 20 දක්වා අඩු කරගන්නත් පුළුවන් වේවි.

එසේ වුවහොත් වෙළඳ ශේෂ හිඟය ඩොලර් බිලියන 7 දක්වා අඩු කර ගන්න පුළුවන්. අප ඉලක්ක කරගත යුත්තේ එයයි.’

ඉලක්කෙට යන හැටි මං මෙතැන කියන්නෙ නෑ.

‘ඒ වගේම සේවා අපනයනයන්ගෙන් ඩොලර් බිලලියන 4කුත් විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් බිලියන 5කුතත් අපේක්ෂා කරන්න පුළුවන්. මේ අනුව අපේ වෙළඳ ශේෂයේ හිඟය ඩොලර් බිලියන 2.4ක් වෙනවා. මේ හිඟය පියවාගැනීමත් අපේ විදේශ විනිමය සංචිතය වැඩි කර ගැනීමටත් අප ක්‍රියා කළ යුතුයි. මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා මිත්‍ර රටවල් සමඟ අපගේ ණය වාරික ගෙවීම් ගැන සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.’

ඔව් ඔව්! අයිඑම්එෆ් යන්නෑ කිය කියා කයිවාරු ගැහුවට අන්තිමේ යන තැනට පත් වුණා. නිකං කොන්ද ඇණගත්තට පස්සෙ කලින් යන්න කිව්ව එක අහන්නැතුව ඉදලා අන්තිමේ වැඳගෙන යන තැනට වැටුණ තමයි. ඒත් ඉතිං වාසි-අවාසි සලකලා යන්න තීන්දු කළා කියල ලියාගන්න.

මං දැන් ටිකකට කලින් කිව්ව අපනයන, ආනයන ඉලක්ක තියෙනවනෙ. මගෙ කතාවෙ ආර්ථිකේට වැදගත් ටික. ඒව ගැන කතා කරන්න ඕනෑ නෑ. වෙලාව තියෙන එකක්යැ.

මං පොඩ්ඩකට මං කරපුව ගැන කයිවාරුවක් ගහන්නං. මේ වෙලාවෙ මිනිස්සු ඉන්නෙ මගේ කයිවාරු ගහන්න ආසාවෙංනෙ. කමෙන්ට් සෙක්ෂන් එකෙක් එකදිගට ගෝ හෝම් ගෝඨ කියල දැම්මට කමක් නෑ. කයිවාරු ටික අහගෙනම ඒ කමෙන්ට් දාන්නකො.

බ්ලා බ්ලා බ්ලා. මා ගත් තින්දු නිසා ආනයන වියදම පාලනය බ්ලා බ්ලා බ්ලා. මේවා දැකල තමයි අවුරුදු දෙකකට කලින් වාහන ආනයනය බ්ලා බ්ලා බ්ලා. අත්‍යවශ්‍ය නොවන ආහාර නතර කරලා බ්ලා බ්ලා බ්ලා.

සාර්ථක ප්‍රතිඵල දැන් මට පේනවා. මටයි ගූ බෙට්ටක් පෙන්නලා කේක් කෑල්ලක් කිව්වම යස් ස’ කියන වහල්ලු සෙට් එකටයි විතරයි ඒ ප්‍රතිඵල පේන්නෙ. තොපිට ඕවා පේන්නේ නෑ.

ලෝකෙ තෙල් මිල වැඩියි ඈ. ලංකාවෙත් වැඩි වුණේ ඒ හින්ද. ඇයි අප්ප ලයිට් කපන්නත් තෙල් යනවනෙ. ඒකනෙ මං මේ පුනර්ජනනීය පුනර්ජනනීය කියල මතුර මතුර ඉන්නෙ.

‘තෙල් භාවිතය හා විදුලිය භාවිතය හැකි තාක් සීමා කිරීමෙන් ජනතාවටත් මේ අවස්ථාවේ රට වෙනුවෙන් සහාය දිය හැකියි.’

ඔව්. ජනාධිපති මන්දිරේ තියෙද්දි හැමදාම වාහන පෝළිමක් අරං මිරිහානෙ ගිහින් මං තෙල් නාස්ති කළාට, නිල නිවාසයයි පෞද්ගලික ගෙදරයි කරන්ට් එක නාස්ති කළාට, වීකෙන්ඩ්වල අනුරාධපුරේ ගියාට උඹලට ඒවා අයිති නෑ. ඉතිරි කරපල්ලා.

තේරෙන්නැද්ද? මේ වෙලාවෙ උඹලාට වගකීමක් තියෙනවා. ආයෙ දැං මේ රටේ තමන් සතු වගකීම තේරුං නොගෙන ඉන්න කෙනා මං නෙවෙයිනෙ. මේ ජනතාවනෙ.

ඒ නිසා, ‘මේ දුෂ්කර අවස්ථාවේ ඔබ ඒ වගකීම තේරුම්ගෙන කටයුතු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.’

මං මේ වෙලාවෙ මගෙ වගකීම තේරුං අරගෙනනෙ මේ පිස්සුවක් කෙළගෙන ආතල් එකේ ඉන්නෙ. මෙච්චර වුණාට පස්සෙත් කයිවාරු ගහන්නෙ. උඹලගෙ ප්‍රශ්න ගැන සංවේදීයි කියන්නත් ප්‍රශ්න ඇවිත් අවුරුදු එකහමාරකට වඩා යනකල් හිටියෙ.

වගකීම තේරුං අරන් නැත්තෙ උඹලා. ඒ නිසා ‘ස! අපට සමාවෙන්න. අපේ වැරැද්ද. අපට අපේ වගකීම තේරුණේ නෑ.’ කියල කරන්ට් එකයි තෙලුයි පාවිච්චි නොකර ගෙවල්වලට වෙලා ලයිට් ඕෆ් කරං ලපං ගහපල්ලා.

කඩාවැඩිච්ච සංචාරක කරමාන්තෙ දැන් හිස ඔසවමින් තියෙන්නෙ. මං මුලින් මගේ නෑදෑය උදයංගට පොඩි ට්‍රැවල් බබල් බිස්නස් එකක් දාගෙන මාස ගාණක් තිස්සෙ එයාට හිස ඔසවන්න ඉඩ දීලා තිබුණෙ. සංචාරක කර්මාන්තෙට ලෝකෙ ඇරිච්ච 2020 ජනවාරි මාසෙ වෙද්දී එයා හිස ඔසවන්න ගතතෙ. දැං එයා ඔසවගත්තා. වැක්සීන් එක ඇවිල්ල අවුරුද්දක් ගියාට පස්සෙ ඔන්න දැං කර්මාන්තෙට පොදුවේ හිස ඔසවන්න වෙලාව. ඔන්න දැං ටික ටික ආදායම වැඩි වෙනවා.

මං මේ කතාවෙදී නිදහසෙන් පස්සෙ ආර්ථික වශයෙන් ලංකාව වැටිච්ච දරුණුම වැටීම මේක බව නොකියා හංගනවා ඈ. ඒ වෙනුවට මං කියන්නං අපි ඉතිහාසයෙ ඕනෑ තරං වැටිල නැගිට්ට කියල. යුද්දෙ ගැනත් මතකනේ ඈ!

ඒක නෙවෙයි. තව පොඩ්ඩෙන් අමතක වෙනවා. අර ඩබ්ලිව්එච්ඕ එක එහෙම කොවිඩ් පාලනය හොඳයි කියල මුණීච්චාවට රාජ්‍යතාන්ත්‍රික භාෂාවෙන් දාන නිවේදන, ප්‍රකාශ තියෙනවානෙ. අර හැම රටටම වගේ දාන්නෙ. ඒවා අල්ලගෙන, ලංකාව කොවිඩ් පාලනය කරපු හැටි ගැන ජාත්‍යන්තර ප්‍රශංසාවට ලක් වුණා කියල කියන්න එපායැ.

මං හැම කතාවකම ඕක කියනවනෙ. තව පොඩ්ඩෙන් ඒක මිසිං.

මං අනුරාධපුර රුවන්වැලිසෑය ඉස්සරහ දිවුරුං දීල, සිංහල ඡන්දෙන් ආව කියල, හාමුදුරුවරු දාගෙන උපදේශක සභා පත් කරලා ජාතිය බෙදලා සිංහල ඡන්ද විතරක් ගන්න පොඩි පොඩි ගිමික් දැම්ම තමා.

ඒත්! ‘අධෛර්යමත් නොවී අර්බුදකාරී තත්වයෙන් ගොඩ ඒමට ජාතියක් වශයෙන් එක් වන ලෙස සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.’

කෝ හැමෝම එකාවන්ව කියන්න බලන්න. ‘ආ කමක් නෑ….!’

දැං කතාව ඉවර කරන්න වෙලාව. මොකෝ කට්ටිය බණිනව පැය ගණං කතා කරනව කියල. මං නං ආසයි ඉතිං මුං වගාව ගැනයි, කහ වගාව ගැනයි හැමදාම ගහපු කයිවාරු මෙතැනත් ගහන්න. අර හැමදාම කියපු ටික තව ටිකක් විස්තර ඇතිව කියන්න එපායැ. යුද්දෙ ගැන කයිවාරු ගහපු ටිකත් මදි. මං පොහොර නොමිලෙ දුන්න කතාවයි, කාබනික පොහොර කයිවාරුවයි හොඳටම මදි.

ඒත් කමක් නෑ. ඉවර කරන්නං.

මතක තියාගනිල්ලා. මං මේ ඡන්දෙ ඉල්ලන්න හිටියෙ නෑ. වියත් මග, එළිය කියල ලේබල් ගහගෙන තැන් තැන්වල රැස්වීම් පවත්ව පවත්වා අර සීතා අරඹේපොල වගේ ‘දේශාභිමානී ළමා සමාජවල’ දරු දැරියන්ගෙ දහම් පාසල් කථික තරග කතාවලට වේදිකා හද හදා රට වටේ ගියේ ඡන්දෙට මගේ අපේක්ෂකත්වය බලාගෙන නෙවෙයි. මගේ යාළුවා දිලිත් ඇතුළු අයගෙ මාධ්‍ය ටිකයි, සේනාධිපතිලගෙ සමාජ මාධ්‍ය කැම්පේන් ටිකයි රන් කෙරෙව්වෙ අපේක්ෂකත්වය ගන්න බලං නෙවෙයි.  2019 පාස්කු බෝම්බෙ ගහපු ගමං මං ඉල්ලන්න ලෑස්තියි කියල කිව්වෙ, මගේ දරු මුණුපුරන් ඉන්න ඇමෙරිකාවෙ පුරවැසිභාවය අතෑරියෙ ජනාධිපති පුටුව බලාගෙන නෙවෙයි. මං ඒව කළේ විනෝදාංශෙට.

මං පාඩුවෙ විනෝදාංශෙ කරං ඉද්දී මට ඡන්දෙ ඉල්ලන්න කිව්වෙ මේ රටේ මැටිමෝල් ජනතාව වන උඹලානේ. උඹලත් මෝඩ හරක් වගේ මං ගැන අසීමිත විශ්වාසයක් තැබුවානේ. මං ඒක කඩන්නෙ නෑ. උඹල මං ගැන තිබුණ විශ්වාසය පොඩ්ඩක් එහේ මෙහේ කරං ඇජස් කරලා, මං කරපු දේවල්වලට විතරක් ගැලපෙන විදියට විශ්වාසෙ අලුතින් හදාගනිල්ලා.

ලැබෙන දෙයින් සතුටුවෙයල්ලා. හැපි ගෝ ලකී විදියට ඉඳපල්ලා.

කෝ තව පාරක් කියන්න බලන්න.

‘ආ.. කමක් නෑ!’

 ඔබ සැමට තෙරුවන් සරණයි.

පටිගත කිරීම අවසන්ව කැමරාවෙන් පසුපස ඉන්න බෲස්-ලීගෙ නෑයා කිංග්’ස් – ලී දෙස හැරී –

‘හහ්! මුං හිතං ඉන්න ඇති මං ඉල්ලා අස්වෙන කතාවක් කරනව කියල. නැත්තං අලුත් දෙයක් කියයි කියල. එහෙමත් නැත්තං මේ වෙලාවෙ අර්බුදේ විසඳන විදිය ගැන වැදගත් කරුණු ඉදිරිපත් කිරීමක් කරයි කියල. මං ගැන දන්නැතුං. හහ්! ආනයන-අපනයන දත්ත ටිකකුයි, අයිඑම්එෆ් යන කතාවයි ඇරුණම ඔක්කොම හැමදාම කිව්ව දේවල්ම කිව්වෙ උංට වදින්න තමා.’