දැන් හැමෝම ගෝඨාභය ගෙදර යන්න කියන ඉල්ලීම කරනවා. හෑෂ්ටැග් පවා හැදිලානේ.
ඒත් ඇත්තටම ගෝඨාභයව එළවන එක ප්‍රායෝගිකව කරන්න පුලුවන්ද? ජනාධිපතිවරණ තියන්න බැහැනේ. ඒත් ඇත්තටම ජනාධිපතිවරණයක් තියන්න අමුතු ක්‍රමයක් තියෙනවා.
මාර්තු 15 වැනිදා කොළඹදී සජිත් ප්‍රේමදාස මහතා කී කතාව ඇත්ත. මේ වෙලාවේ ජනාධිපතිවරණයක් ඕනෑ. ඒත් ප්‍රායෝගිකව ජනාධිපතිවරණයක් කැඳවන්න ජනාධිපතිටම බලය ලැබෙන්නේ 2023 අග හරිය වෙද්දී. ඒ කියන්නේ අවුරුදු හතර පිරෙද්දී.
මේක වෙනස් කරන්න, ඒ කියන්නෙ ව්‍යවස්ථාවෙ ජනාධිපති ගැන කියන කොටස් වෙනස් කරන්න නම් ජනමත විචාරණ ඕනෑ. ඒ නිසා ඒකත් අමාරුයි.
2023 අග ජනාධිපතිවරණයක් තිබ්බත්, ඒක පවා වෙන්න ඕනෑ දැන් ජනාධිපති තව වරක් ඉල්ලනවා නම්. ඒත් දැන් පොහොට්ටුවෙන් විමල්ලාව, ගම්මන්පිලලාව ඈතට තල්ලු කළේත් ඊළඟ ජනාධිපතිවරණයට බැසිල්ව ගේන්න විමල්ලා බාධාවක් වේවි කියලානේ. ඇත්තටම ප්ලෑන් එක බැසිල් ගේන එකනේ. ඒ නිසා ගෝඨාභයගේ ධුර කාලය ඉවරවෙනතුරු ජනාධිපතිවරණයක් පවත්වන එකක් නැහැ.
එහෙමනම් මොකද කරන්නේ. මහමැතිවරණයක් පවත්වන්න පුළුවන්. ඒත් එකෙන් පත්වෙන්නෙ අගමැති. ලංකාවේ පාලන බලය අයිති ජනාධිපතිට. ඒ නිසයි ජනාධිපතිවරණයක් ඉල්ලන්නේ.
දැන් ඕනෑ ජනාධිපතිවරණයක් නම්, ඒක කරන්න පුළුවන්. මහමැතිවරණයක් ඇතුළෙන්. ඇත්තටම මේක පූර්ණකාලීන ජනාධිපතිවරණයක් නෙවෙයි. ගෝඨාභයගේම ඉතිරි අවුරුදු ගාණ සඳහා ජනාධිපතිවරණයක්.
මුලින්ම ගෝඨාභය අයින් වෙන්න කියන යෝජනාව ආණ්ඩුවට සහ ඔහුට දැනෙන්න සලස්වන්න ඕනෑ. මුලින් ඔවුන්ට තවදුරටත් ආණ්ඩුව කරන්න බෑ කියන පණිවිඩය ප්‍රජාතන්ත්‍රවාදීව දෙන්න ඕනෑ.
ඒ කොහොමද?
ලංකාවේ මෑත ඉතිහාසෙ ලොකුම විරෝධතා පාගමන මාර්තු 15 වැනිදා තිබුණා. මාර්තු 18 ජාතික ජන බලවේගය පා ගමනක් පවත්වනවා. කොළඹත්, ඉන් පිටත් දේශපාලන පක්ෂ වගේම සිවිල් ක්‍රියාකාරීනුත්, දේශපාලන පක්ෂත් ගෝඨාභයට අස්වීමේ බලපෑම කරමින් විරෝධතා පවත්වන්න ඕනෑ. සෙනඟ පාරට බහින්න ඕනෑ. තොග ගාණට. දිනපතා බැරි වුණත් සතිපතා වුණත් විරෝධතා සංවිධානය වෙන්න ඕනෑ. සමාජ මාධ්‍යවල, පාර්ලිමේන්තු සැසිවාරවල සහ අනෙකුත් තැන්වල හොඳ සංවිධානාත්මක බලපෑමක් අස්වෙන්න කියන තැනට දෙන්න ඕනෑ.
ලංකාවේ වෘත්තිය සමිති ව්‍යාපාරය මිනිස්සු අමාරුවෙ වැටෙන්නෙ නැති ක්ෂේත්‍රවල වැඩ වර්ජන කරන්න ඕනෑ.
මාධ්‍ය සාකච්ඡාවල ඉඳන් අපි වගේ චැනල්වලින් පවා කතා කරන්න ඕනෑ. අස්වීමේ තීන්දුවට තල්ලු වෙන තැනට.
පාර්ලිමේන්තුවක තුනෙන් දෙකක් අරන් මහමැතිවරණයක් කැඳවන්න ඕනෑ වෙලාවක පුළුවන්. ඒක මුලින් කරන්න ඕනෑ.
හැබැයි මහමැතිවරණ කැඳවලා ආණ්ඩු මාරු කරපු පළියට රට හැදෙන්නෙ නෑ. මේක ආර්ථික අර්බුදයක්. හැම පාර්ශ්වයක්ම ආර්ථික අර්බුදය විසඳන විදිය ගැන නිශ්චිත, පොයින්ට්වලට බෙදිච්ච සැලසුම් ඉදිරිපත් කරන්න ඕනෑ. රටේ ජනමාධ්‍යවලින්, අපි වගේ මීඩියාවලින් මිනිස්සු අතරෙ කතාබහක් හැදෙන්න ඕනෑ මොන ප්‍රතිපත්ති මාලාවද වැඩිපුර හොඳ කියලා.
ආණ්ඩුවට පවා චාන්ස් එකක් ලැබෙනවා අලුතින් යෝජනාවක් දාන්න. අලුත් ආරම්භයක් ගන්න.
හදිසියේවත් ආණ්ඩුව දින්නොත් ගෝඨාව එළවන්න කාටවත් ඕනෑ නැහැ. එහෙනං අලුත් ආණ්ඩුව අරන්, ජනතා සපෝට් එකත් එක්ක අර්බුදය විසඳන්න බැරිනං ඕනෑ මගුලක් කරගන්න ආණ්ඩුවට පුළුවන්.
විපක්ෂයේ යම් කණ්ඩායමක් හො අලුතින් හැදුණ පිරිසක් දින්නොත් පාර්ලිමේන්තුවේ බහුතර සපෝට් එක ඔවුන්ට ගන්න පුළුවන්.
විපක්ෂය හරි එකඟතාවකට එන්නත් ඕනෑ, කැම්පේන් කරන්නත් ඕනෑ හදිසියේ විපක්ෂයේ යම් පාර්ශ්වයක් බහුතරය ගත්තොත් ජනාධිපතිවරයා ඉල්ලා අස් වෙන්න ඕනෑ බව.
ලංකාවේ ව්‍යවස්ථාවේ මීට කලින් එක වතාවක් පාවිච්චි වෙච්ච වගන්තිය එන්නේ ඔතැනදී. ඒ තමයි ප්‍රේමදාස මහතාගේ මරණයෙන් පස්සේ විජේතුංග පත්වෙද්දී පාවිච්චි වෙච්ච වගන්තිය.
‘ජනාධිපතිවරයාගේ ධුර කාලය ඉකුත් වීමට පෙර ජනාධිපති ධුරය හිස් වුවහොත්, පාර්ලිමේන්තුව විසින් එහි මන්ත්‍රීවරයන් අතුරින් ජනාධිපති ධුරයට තෝරා පත් කර ගනු ලැබීමට සුදුසුකම් ඇති යම් මන්ත්‍රීවරයෙකු ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගනු ලැබිය යුත්තේය.’ කියලා ඒ වගන්තියේ තියෙනවා.
ඒත් ඉතින් ප්‍රේමදාස මැරුණාට ගෝඨාභය රාජපක්ෂ මැරෙන්නේ නැහැනේ.
එතකොට ඊට කලින් 38 ආ වගන්තියේ තියෙනවා කතානායකවරයාට තමන්ගේ අත්සනින් යවන ලිපියකින් ජනාධිපතිවරයාට ධුරයෙන් අස් වෙන්න පුළුවන් බව. ඒ කියන්නෙ ඉල්ලා අස්වීමේ ලියුම දෙන්න ඕනෑ.
මේ බලය අතට ගන්න මිනිස්සු ලේසියෙන් අතාරින්නෙ නෑ. විශේෂයෙන් තමන් තමයි මාර පොර කියල හිතං ඉන්න, වැරදි බාර ගන්න ලෑස්ති නැති ගෝඨාභය වගේ අය බලය අතාරින්නෙ නෑ. ඉතින් එතැනට ඔහුව පත් කරන්න නම් ලොකු ජනතා විරෝධයක් මතු වෙන්න ඕනෑ. ඒක හුදෙක් අපට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක විපක්ෂයෙ දේශපාලන පක්ෂවලට කරන්න පුළුවන් දෙයක්.
අන්තිම ප්‍රශ්නය තමයි මේ කියන සියල්ල මාසෙන් හෝ දවස් ගාණෙන් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒත් රටේ ආර්ථික අර්බුදයට විසඳුම් ඉක්මනින්ම හොයන්න ඕනෑ. නැත්නම් රට අරාජික වෙනවා.
විරෝධතා, ඡන්දය කැඳවීම් වගේ ඔක්කොටම අඩු තරමේ මාස හතරක් පහක් යනවා. එතකන් රට ඔටෝපයිලට් යනවාද? ඡන්දයක් ළං වුණාම ආණ්ඩුවක ග්‍රිප් එක නැති වෙන්න පුළුවන්.
ඒත් ඇත්තටම රට දැන් අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ අගාධය පැත්තට ඔටෝපයිලට් තමා යන්නෙ. මේ ආණ්ඩුවේ නායකයන්ගෙ බුද්ධි මට්ටම අර්බුදයේ හෙට දවස අඳුනගන්න එක කෙසේ වෙතත්, ඒකෙ දැන් තත්වයවත් හරියට තේරුම් අරන් නෑ. කලින් දැක්කනං මෙතැනට එන්නෙත් නෑනෙ. ඉතින් විසඳුම් හොයන්නෙ කොහොමද? අනෙක් පැත්තෙන් මේ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා රට ගොඩගැනීමේ ජර්නි එක යන්න මිනිස්සු ලෑස්ති නෑ. ආණ්ඩුව ගැන විශ්වාසය මිනිස්සුන්ට නෑ.
මේක ආර්ථික අර්බුදයක් තමයි. ඒත් ඒකෙන් රට ගොඩගැනීම කියන්නේ සම්පූර්ණ ආර්ථික වැඩක් නෙවෙයි. ඒක ආර්ථික සහ දේශපාලනික වැඩක්. මිනිස්සු එක්ක කරන්න සංවාදයක් තියෙනවා. මිනිස්සුන්ටත් කරන්න කැපකිරීම් තියෙනවා. ආර්ථික- දේශපාලන ප්‍රතිසංස්කරණ තියෙනවා. ක්‍රියේටිව් දේශපාලනික තීන්දු ගන්න වෙනවා. රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පවා පවත්වන්න සිද්ධ වෙනවා.
අපි ඡන්දයකට නොගියොත් ඒ කිසිවක් නැතිව මෙයාලගෙ ඉතිරි ධුර කාලයත් ඔටෝපයිලට් තමා. ඒ අනුව අපට විසඳුමක් ගැන හිතන්නත් වෙන්නේ තව අවුරුදු දෙකක් විතර ගිහිල්ලා. ඒත් දැන් අර්බුදය තියෙන හැටියට එච්ච කාලයක් ඉවසන්න බෑ.