ගෝඨාගේ සර්ව පාක්ෂික සමුළුවට ජේවීපීය යන්නෑලු! අනුර කියලා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාර්තු 23 වැනිදා පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුවට ජනතා විමුක්ති පෙරමුණ සහභාගී වෙන්නේ නැති බව එහි නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළ බව ඩේලි මිරර් වාර්තා කරලා.

මේ සමුළුව කැඳවලා තියෙන්නේ රටේ ආර්ථික අර්බුදය විසඳීමේ සැබෑ අරමුණකින් නෙවෙයි, ආණ්ඩුව ඇතුළේ දේශපාලන අර්බුදය විසදාගැනීමේ පටු අරමුණෙන් බව තර්ක කරමින් තමයි ජේවීපීය එයට සහභාගගී නොවෙන්නේ.

ප්‍රමුඛ පෙළේ අමාත්‍යවරුන් දෙදෙනෙකු ඉවත් කිරීමත් සමඟ ආණ්ඩුව තුළ පවතින දේශපාලන මතභේද සමනය කර ගැනීම සඳහා ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවති සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස මේ සර්ව පාක්ෂික සමුළුව කැදවූ බව ඔහු පෙන්වලා තියෙනවා.

අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා තියෙන්නේ සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමේ යෝජනාවම වැරදි බව. විශේෂයෙන් මීට කලිනුත් සර්ව පාක්ෂික සමුළු කැඳෙව්වත්, යෝජනාවලට ඇහුම්කන් නොදී තමන්ට ඕනෑ දේවල් දිගටම කරගෙන යන්න ඒ අවස්ථාවලදී ආණ්ඩු නායකයන් කටයුතු කරපු බව ඔහු පෙන්වලා තියෙනවා.

මෙච්චර කාලයක් දිගින් දිගටම ඉල්ලීම් කළත් ආර්ථික අර්බුදයේ ගැඹුර සහ පළල රජය හෙළි නොකළ බවත් ඔහු මතක් කරලා.

“ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාව තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය කටයුතු කර නැහැ.” කියමින් ඔහු ප්‍රශ්න කරලා තියෙනවා, සර්ව පාක්ෂික සමුළුවකට සැබෑ අරමුණක් ආණ්ඩුවට තියෙනවාද කියන කාරණය.