බුළත් කොළේ ආණ්ඩුවක් හදන්න අවුරුද්දට කලින් සාකච්ඡා! – ගෝඨාගේ කැබිනෙට්ටුවේ ඉන්න අමරවීර කියයි

අනාගතයේදී ආණ්ඩු බලය ලබාගැනීමේ අරමුණෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හමුවක් ඉක්මනින් යොදාගැනීමට බලාපොරොත්තු වන බව පරිසර අමාතත්‍යවරයා වන එජනිස මහලේකම් මහින්ද අමරවීර කියා තියෙනවා.

ඒ අරුණ පත්තරය වෙත අදහස් දක්වමින්.

සියල්ලට කලින් කිව යුත්තේ අරුණට ඔහු කරපු ප්‍රකාශය ආණ්ඩුවට විවේචනාත්මක එකක් විතරක් නෙවෙයි, මේ ආණ්ඩුවට වෙනස් වූ අලුත් ආණ්ඩුවක් හදන්නට සිදුකරන සාකච්ඡා පිළිබඳ ප්‍රකාශයක්. ආණ්ඩුව යන ගමන වැරදියි, ‘හරි මග’ පෙන්වනවා කියලා කීව ගමන් විමල්, උදය අස්කරපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අමරවීර මහතා ගැන තීන්දුවක් ගන්නට කොන්දක් තියේවිද?

කොහොම නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය හෙවත් බුලත් කොළයේ ආණ්ඩුවක් ආපහු හදන්න තමයි මේ සාකච්ඡාව ‘අලුත් අවුරුද්දට’ කලින් පවත්වන බව ඔහු කියා තියෙන්නේ.

එහෙම සන්ධානෙ ගහලා අර ආණ්ඩුවෙන් ඈත් වෙච්ච පක්ෂ 11 එකමුතු කරන බවත්, ඒකට අමතරව ආණ්ඩුව පැත්තේ ඉන්න පොහොට්ටුවේ පිරිසකුත් දැන් අස්වෙලා ආයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වෙන්න බලාපොරොත්තු වන බවත් ඔහු කියා තියෙනවා.

මේ වෙද්දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂ ගොඩක් හැළිලා ගිහින්. දැන් ඉන්නේ දිනේෂ් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණ, දේශවිමුක්ති ජනතා පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය ආදී කිහිපයක්.

ඒ වගේම ආණ්ඩුවේ පක්ෂ 11 කණ්ඩායම කියලා කියන එකමුතුවේ ඉන්න සෑහෙන පක්ෂ ප්‍රමාණයක් එජනිස සාමාජිකයන් නෙවෙයි. විමල්, උදය සහ වාසු කියන තුන්දෙනාගේම පක්ෂ එජනිස සාමාජිකත්වය හිමි ඒවා නෙවෙයි. ඉස්සර බුළත් කොළෙන් ඒ කට්ටිය ඉල්ලුවෙත් අවබෝධතා ගිවිසුම් ගහලා මිසක්, සන්ධානෙ සාමාජිකත්වය අරන් නෙවෙයි. එම පක්ෂ එජනිසයට එකතු කරගන්න බලාපොරොත්තු වන බව මහින්ද අමරවීර මහලේකම්වරයා කියා තියෙනවා.

‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටපුරා විහිදුණු පක්ෂයක්. පක්ෂ රැසක් අප වටා රැස් වී සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගන සන්ධානයට විමල්, ගම්මන්පිළ, වාසු වගේම පක්ෂ 11ම ඉතා වැදගත්. දිනේෂ් ගුණවර්ධන, තොණ්ඩමාන්, අතාවුල්ලා, ඩග්ලස් දේවානන්දා යන සියලුදෙනාම නිදහස් පක්ෂයට වැදගත්. මේ සියලුදෙනාම එකතු කර ගැනීමට කටයුතතු කරමින් සිටිනවා.’ යනුවෙන් අමරවීර මහතා කියා තියෙනවා.

‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් එළියට යනවා නම් පක්ෂය තීරණය කරන මොහොතේ ඕනෑ වෙලාවක එළියට යෑමට සූදානම්. අපට බැසිල් රාජපක්ෂ මහතා සමග ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ ආණ්ඩුව කරන ක්‍රමවේදය පිළිබඳ ගැටලුවක් තිබෙනවා.’ යනුවෙන් ඇමතිවරයා කියා තියෙනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානය කියන්නේ චන්ද්‍රිකා බණ්ඩාරණායක කාලයේ ජනතා විමුක්ති පෙරමුණ සහ හෙළ උරුමය ප්‍රමුඛව තවත් පොඩි පක්ෂ ගොඩක් එකතු කරලා අලුතින් හදපු සන්ධානය. එකේ තිබිච්ච පුටුව වෙනුවට බුලත් කොළයක් දාගත්තෙ ජේවීපී වගේ පක්ෂ ආපු හින්දා.

ඒත් ඊට පස්සේ ජේවීපී ආදී පක්ෂ හැලුණාට පසුවත් එජනිසය මහින්දගෙ නායකත්වයෙන් පැවතුණා. ඒ කාලෙ සන්ධානෙ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත්.

කොහොම නමුත් මෛත්‍රී ශ්‍රීලනිප සභාපති වුණාම ඉබේම එජනිස සභාපතිකමක් ඔහුට ලැබුණා. ලේකම් විදියට අමරවීර පත් වුණා. අදටත් බුළත් කොලේ අයිතිය තියෙන්නේ ශ්‍රීලනිපයට.