ඉන්ධන පෝළිමේදී දෙදෙනෙක් මියයෑම!

මාර්තු 20 වෙනිදා, කඩවත නගරයේ ඉන්ධන පිරවුම්හලක භුමිතෙල් පෝලිමේ හිටපු කෙනෙක් ඇඳ වැටී මිය ගිහින්. 19 වෙනිදා මේ සිද්ධිය වගේ තවත් සිද්ධියක් වාර්තා වුණා. ඒ මහනුවර නගරයේ ඉන්ධන පිරවුම්හලක පෝළිමේ හිටපු කෙනෙක් සිහිසුන්ව ඇදවැටිලා, හොස්පිට්ල් එකට ගෙනිච්චාම ඔහුගේ ජීවිතය නැති වුණාලු.

පුද්ගලයා මරණයට පත් වූ හැටි විවිධ පුද්ගලයන් විවිධ දේවල් කියා තියෙනවා. පෝළිමේ හිටපු යම් පිරිසක් හොස්පිට්ල් ගෙනියන්න කලින්, ඇම්බියුලන්ස් එක ගේන්න කලින්ම මරණයට පත් වූ බව කියා තිබුණා.

කොහොම නමුත් මිනිස්සු පෝලිම්වල මැරෙන තැනට රට පත් වෙලා. ඒ ප්‍රවෘත්තියම ඇඟ වෙව්ලලා යන තරමේ බරක් තියෙන එකක්. පපුව හිරවෙන තරමේ එකක්.

ලාම්පුතෙල් ගන්න කියලා ආපු මේ වයස අවුරුදු හැත්තෑවක පමණ පුද්ගලයා පෝළමේ අග්ගිස්සේ ඉන්නකොට සිහිනැතුව වැටිච්ච බව එතැන හිටපු කෙනෙක් කියන හැටි බොහෝදෙනෙක් දකින්න ඇති.

‘වැස්සට තෙමිලා වැටුණා. උස්සන්න කෙනෙකුත් නෑ. මනුෂ්‍යත්වය බල්ලාට ගිහිල්ලා. පොලීසියේ කෙනෙක් කතා කරලා ඇම්බියුලන්ස් එකෙන් අරන් ගියා.’ එහෙම කියපු කෙනෙක් ‘මිනිස්සු දුක් විඳින හැටි රෑට ප්‍රවෘත්තිවලින් බලන්නේ නැද්ද?’ කියන ප්‍රශ්නය.

ඊට දවසකට කලින් මහනුවර දිස්ත්‍රික්කයෙන් ආපු එස්බී දිසානායක ඇමතිවරයා ‘ඕක ඇරිලා යයි. ප්‍රවෘත්තිවලින් කීවාම ඕක වැඩි වෙනවා’ ආදී වශයෙන් කියලා මිනිස්සු විඳින ප්‍රශ්න නින්දිත හිනාවක් එක්ක හෑල්ලු කරපු බව අමතක කරන්න බෑ.

මේ කියන ඇල්ලෙපොල එන්ටර්ප්‍රයිසස් කියන ෂෙඩ් එකේම පොම්පය උදේ ඉඳන් එකදිගට ඔබාගෙන ඉඳලා කැඩිච්ච බව ඉන්ධනහලේ හිමිකාරයා කියා තිබුණා. කෙසේ නමුත් පුද්ගලයාගේ මරණයෙන් පස්සේ කේන්තිය, ෂොක් එක එක්ක මිනිසුන් සහ පිරවුම්හලේ අයිතිකාරයා අතර ගැටුම ඇතිවෙන හැටි පවා දකිනකොට අපටත් දැනෙන්නේ දැඩි වේදනාවක්.