සාම්පූර් බලාගාරයේ නිධාන කතාව!

සාම්පූර්වල මෙගාවොට් 100ක සූර්ය බලාගාරයක් සඳහා ශ්‍රී ලංකාවයි ඉන්දියාවේ ජාතික තාප බලශක්ති සමාගම නම් එරට ලොකුම රාජ්‍ය විදුලි නිෂ්පාදන සමාගම අතර ගිවිසුම මාර්තු 11 වැනිදා හැන්දෑවේ ගැහුවා.

ලංකාවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ විෂයභාර රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් මුදල් අමාත්‍යාංශයේ තිබුණ මේ වැඩේට ලංකාව පැත්තෙන් සහභාගී වුණා. ඉන්දියාව පැත්තෙන් මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ ඇතුලු පිරිසක් හිටියා.

මේකට දිග ඉතිහාස කතාවක් තිබුණාට, හදිසියේ මේ ව්‍යාපෘතිය පටන් ගන්නට ගිවිසුම් ගැසූ හේතුව ඉන්දියාව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500ක තෙල් මිලදී ගැනීමේ ණයක් සහ ඩොලර් බිලියනයක අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීම සඳහා වූ ණයක් දෙන්න නියමිත නිසා. ඔය ටික ගන්න නං ලංකාව කරන්න ඕනෑ දේවල් ලැයිස්තුවක් ඉන්දියාව දැනුම් දීලා තිබුණාලු.

පහුගිය ඔක්තෝබර් මාසයේදී ඉන්දියාවේ අදානි සමාගමේ ලොක්කා මන්නාර්වල රවුමක් ගැහුවා. ඒ ඇවිල්ලා අදානි කම්පැණිය ඒ පැත්තේ පටන් ගන්න නියමිත සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියක් වෙනුවෙන්. ඒ ව්‍යාපෘතියත් ලංකාව ඉල්ලන හිඟමන් ලබා දීම සඳහා ඉන්දියාව ඇති කරගත් එකඟතාවක්.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සාම්පූර් තියෙන්නේ ත්‍රිකුණාමල වරායට කළපුවෙන් එහාපැත්තේ. මුතුර් ආසන්නයේ. දැනටමත් ඉන්දියාව ත්‍රිකුණාමල තෙල් ටැංකි පරිශ්‍රය පාවිච්චි කරන්නට ලංකාව එක්ක නිල ගිවිසුම්වලට ගිහිල්ලා ඉවරයි. මේකට අමතරව ඉන්දියාව එක්ක ශ්‍රී ලංකාව තවත් ගිවිසුම්වලට ඇතුළත් වෙද්දී, ත්‍රිකුණාමලය ලොකු භූමිකාවක් ඉටු කරනවා.

මේ බලාගාරයේ ඉතිහාස කතාව සංක්ෂිප්තව මෙහෙම කියන්න පුළුවන්.

රාජපක්ෂ ආණ්ඩුව යුද්ධයෙන් පස්සේ නොරච්චෝලේ බලාගාරය ඉදි කරන්නට චීනයෙන් උදව් ගනිද්දී, ඉන්දියන් ආණ්ඩුව එක්ක සාම්පූර්වල තව ගල්අඟුරු බලාගාරයක් ඉදිරි කරන්නට එකඟතාවක් 2011 දී ඇති කරගත්තා. ඒත්, මේකකට මුල් සැලසුම් දැම්මේ 2006 දී විතර. ඒ ඇවිල්ලා ලංකා විදුලිබල මණ්ඩලයයි, ඉන්දියාවේ උක්ත රාජ්‍ය සමාගමයි අතර ඇති කරගත්ත ගිවිසුමක් මත.

ඒත්, නොරච්චෝලේ බලාගාරය නිසා පරිසර හානි සිදුවන බවට ඒ පැත්තෙන් චෝදනා එද්දී, මේ පැත්තෙත් මිනිස්සු ව්‍යාපෘතිය ගැන කලබල වුණා. නොරච්චෝලේ බලාගාරයට දකුණෙන් පදිංචි පවුල්වල දරුවන්ගේ හමේ රෝග වගේම වැඩිහිටියන්ගේ ශ්වසන රෝග වැඩි වන ප්‍රවණතාවක් ඔය ප්‍රදේශයෙන් වාර්තා වුණා.

“මිනිස් සිරුරට ඉතා අහිතකර රසායනික ද්‍රව්‍ය මේ නිසා මිනිස් සිරුරට ඇතුළු විය හැකියි. ඒ තුළින් පෙනහළු ආශ්‍රිත රෝග, චර්ම රෝග, පිළිකා , වකුගඩු රෝග හා හදවත් රෝගත් ඇති විය හැකියි .මෙවැනි තත්ත්ව නොරොච්චෝලේ අවටින් දැනටමත් වාර්තා වී තිබෙනවා” යනුවෙන් මේ ගැන එදා බීබීසීයට අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය නිලන්ති ප්‍රනාන්දු කියා තිබුණා.

“ඒ වගේම අවුරුදු ගණනක සිට මෙවැනි බලාගාර තිබූ රටවල මේ ආකාරයේ රෝග සහිත පුද්ගලයන් විශාල ප්‍රමාණයක් වාර්තා වෙනවා. ලංකාවෙත් මේ තත්ත්වය ඉදිරියේදී විශාල ලෙස සිදුවිය හැකියි” යනුවෙන් ඇය වැඩිදුරටත් අදහස් දක්වා තිබුණා.

2011 දී ලෝක සෞඛ්‍ය සංවිධානය රටවල් 91ක් යොදාගෙන කරපු පර්යේෂණයකින් පස්සේත් හෙළි කළේ වායු දූෂණයට ගල් අඟුරු බලාගාර ප්‍රධාන බලපෑමක් එල්ල කරන විත්තිය.

විශේෂයෙන් අක්කර 800ක පමණ ප්‍රමාණයක් මේ ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන් කරලා, වැට ගහලා තිබුණේ. එතැනදී යුද්ධයෙන් අවතැන් වූ අයගේ ඉඩම් පවා සාම්පූර් ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන් කරගෙන තියෙන බව චෝදනා එල්ල වුණා.

ඔය මදිවාට නොරච්චෝලෙ කැඩෙන කැඩෙන සැරේට ඒක හදන්න චීනෙට යන්න සිදුවීම ගැනත් ලොකු සමාජ සංවාදයක් ඇති වුණා.

ඒවා කොහොම වුණත් 2014 සැප්තැම්බර්වල පවා එදා ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මාධ්‍ය සාකච්ඡාවකදී කියා තිබුණා සාම්පූර් ගල් අඟුරු බලාගාරය පටන් ගන්න නියමිත බව. ඒත් 2016 විතර වෙද්දී මෛත්‍රී-රනිල් ආණ්ඩුව ඒක නවත්වන බව ප්‍රකාශ කළා. 2016 සැප්තැම්බර් 13 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ බලාගාරයට එරෙහිව විභාග වූ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදහස් දක්වමින් නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ මේ ව්‍යාපෘතිය නවත්වන්නට නිල තීරණයක් ගත් බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් සුරේන් බටගොඩ දැනුම් දුන් බව.

එයට හේතුව ‘ගල් අඟුරු ව්‍යාපෘති’ තවදුරටත් සිදු නොකරන බවත්, පුනර්ජනනීය බලශක්තියට යොමු වෙන බවත් ඔවුන්ගේ ප්‍රතිපත්තියක් වූ නිසා.

‘ඔව් ඔව්! ඔය ප්‍රතිපත්තිය ගෝඨාභය අලුතින් රටට හඳුන්වාදුන් එකක් නෙවෙයි.’

කෙසේවෙතත් ඒක අත්හැරපු වෙලාවේ ලංකාවේ විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගම් හෙම බලාගාර ව්‍යාපෘතිය අත්හරිනවාට විරුද්ධව හඬ නැගුවා. ගල්අඟුරු ලාභදායක බවත්, ‘පරිසරය ගැන හිතලා’ ඒක අතෑරීම සුදුසු නැති බවත් ඉංජිනේරු සංගම් කීවා.

‘ගෝවා ගෙඩියකට අළු ටිකක් යනවා කියලා ගල් අඟුරු බලාගාරයකින් ලැබෙන ප්‍රතිලාභ අමතක කරන්න පුළුවන්ද?’ යනුවෙන් මේ ගැන 2016 ඔක්තෝබර් 29 වැනිදා කොළඹ තිබුණ මාධ්‍ය සාකච්ඡාවකදී ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති අතුල වන්නිආරච්චි කීවා. කෙසේ වෙතත් ඔහු ඒ මාධ්‍ය සාකච්ඡාවේදී වැඩිදුරටත් කීවේ මේ සාම්පුර්වල බලාගාරය මෙගාවොට් 500ක එකක් බවත්, ඊට අමතරව ත්‍රිකුණාමලයේම ජපානය එකක්ක තවත් මෙගාවොට් 1200ක ව්‍යාපෘතියකුත් කරන විත්තිය.

ඒත් මේවා නතර වුණා.

මෙතැනදී විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පරිසරය ගැන නොතකා හරින ස්වභාවය අපට පිළිගන්න බැරි වුණත්, ඔවුන් දිගින් දිගටම පෙන්වූ කාරණයක් තමයි ලංකාවේ විශාල විදුලි බලාගාර ව්‍යාපෘති පටන් ගන්න ඕනෑ බව. ඇත්තටම හැම අවුරුද්දෙම වැහි අඩු කාලෙට විදුලිබල අර්බුද ගැන කතා කරනවානේ. ලංකාවට තව මෙගාවොට් 1000කවත් විදුලි බලාගාර ව්‍යාපෘති කරන්න සිද්ධ වෙනවා.

දැනට නිව්ෆෝට්‍රස් කම්පැණියෙන් සොබාදනවි කියලා තව මෙගාවොට් 300ක ව්‍යාපෘතියක් පටන් ගන්න නියමිතයි.

ඒ අනුව සාම්පූර්වල දැන් හදන්න ලෑස්ති වෙන්නේ මෙගාවොට් 100ක ව්‍යාපෘතියක් බවත්, කලින් ප්ලැන් කරලා හිටපු ගල්අඟුරු ව්‍යාපෘතිය මෙගාවොට් 500ක එකක් බවත් සිහිපත් කරන්න ඕනෑ. ඒ අනුව මෙය කරන්න හිටපු වැඩෙන් 5න් 1ක වැඩක් බවත්, ඇත්තටම ලංකාවට ඕනෑ ප්‍රමාණයෙන් 10න් එකක විතර වැඩක් බවත් සිහිතබාගමු.

අනෙක් කාරණය තමයි ලංකාවේ අනාගත විදුලිබල අවශ්‍යතා සැලසුම් කරලා ‘ජාතික විදුලි ජනන සැලැස්මක්’ කියා එකක් අවුරුදු 20ක් ඉලක්ක කරලා හැදෙනවා. ඒ සැලැස්ම මහජන උපයෝගීතා කොමිසම අනුමත කරන්න ඕනෑ. ඊට පස්සේ ඔය සැලැස්ම අවුරුදු දෙකකට වතාවක් අනුමත කරන්න ඕනෑ.

ගල්අඟුරු නැතිව පරිසර හිතකාමී ඒවා විතරක් ලංකාව කරන බවට ප්‍රතිපත්තිමය තීන්දු ගත්තාට කමක් නෑ. කරන මගුලක් නිසි සැලසුමකට දීර්ඝ කාලීනව හිතලා, නිසි අවසර ඇතිව කරන්න ඕනෑ.

හදිස්සියට ණයක් ගන්න ඕනෑ වුණාම, ඉන්දියාවෙ වුවමනාවට එයාලාගෙ හිත පිනවන්න බලාගාර ව්‍යාපෘතියක් ටක් ගාලා පටන් ගැනීම කියන්නේ ලංකාවේ ආණ්ඩු පාලනය සැලසුමක් නැති ජාවාරමක් බව පෙන්වන අවස්ථාවක්. ලංකාව හැමදාම ව්‍යාපෘති කළේ ඔය වගේ් බලවතුන් එක්ක සෙට් වෙන්න ඕනෑවට හෝ කවුරුහරි බිස්නස්කාරයෙක්ගෙන් ඩොලර් මිලියන ගණන්වල කොමිස් සල්ලි අරන් පිටරට ඕෆ් ෂෝ ගිණුම්වල දාගන්න වුවමනාවට.