ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ දැමීමත් සමග බස් ගාස්තු 50-60% කින් ඉහළ දැමීමට සිදුවන බව බස් සංගම් කීවාලු. ඒ නිසා ලංගම ඩිපෝවලින් හරි ඩීසල් සහනාධාරයක් දෙන්න කියා බස් සංගම් ඉල්ලලා තියෙනවා.
නැත්නම් ඉතින් අවම ගාස්තුව රුපියල් 35ක් දක්වාවත් ඉහළ දාන්න වෙනවාලු. ඔය මීට ටික කාලෙකට කලින් රුපියල් 10ට තිබුණ එක. ඒ අනුව රුපියල් සීයක විතර ටිකට් එකක් 350ක් විතර වේවි. කිලෝමීටර් සීයේ දෙසීයේ දුර ගමන් නෝමල් ටිකට් පවා රුපියල් හය හත්සීය පනීවි ආසන්න වේවි. බොහෝ විට දුර ගමන් දුවන බස් අය කරන ගාස්තු අනුව රුපියල් දාහට එහා මිලක් බස් ගමනකට ගෙවන්න සිදු වේවි. ඒ අනුව බස්වල රැකියාවලට යන එන අයත්, දුර ගමන් නිතර යන අයත් බස් ගාස්තුව වෙනුවෙන් වැටුපෙන් කොච්චර ප්‍රතිශතයක් වෙන් කරන තත්වයට වැටේවිද? කෑමටවත් සල්ලි ඉතුරු වේවිද?
සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ඉන්ද්‍රජිත් මාධ්‍යවලට කියා තිබුණා, සඳහන් කරන්නේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පෞද්ගලික බස් කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා ඉක්මනින් වැඩ පිළිවෙලක් ආරම්භ කළ යුතු බව.
ඇත්තටම ඉන්ධන මිලේ ඉඳන් වසංගතය දක්වා නොයෙකුත් සිදුවීම් නිසා ලංකාවේ බස් කර්මාන්තයේ ඔලුවට පොලු පාර වැදිලා තියෙන්නේ. ප්‍රයිවෙට් බස් කර්මාන්තය ලංකාවේ සවුත්තුම විදියට හැසිරුණ බිස්නස් එකක් බව හැබෑවක්. ඒත් ඉතින් ඒ කර්මාන්තය කඩා වැටෙද්දී කෙළවෙන්නේ අපේ රටේ ප්‍රවාහනයට. මිනිස්සුන්ගෙ ගමන් බිමන්වලට.
ලංගම ඩිපෝ හරහා ඩීසල් සහනාධාරයක් ලබා දෙන්නැයි කර තිබෙන ඉල්ලීම ප්‍රායෝගිකව සුදුසුද? එතරම් ඉන්ධන තිබෙනවාද? ඒක ආණ්ඩුවට පාඩුද? ආදී කාරණා වෙනම සැලකිල්ලට ගත යුතු බව ඇත්ත. ඒ ගැන නිශ්චිත මතයක් කියන්න තරම් අපට විද්වත් දැනුමක් නෑ. ඒත්, ප්‍රවාහන ඇමතිලා එහෙම ඔහේ ඉන්නවාට ඉන්නේ නැතිව වඩා නිර්මාණශීලී ප්‍රවේශයකින් මේ කර්මාන්තය ගැන කල්පනා කරන්න වෙනවා.
විශේෂයෙන් කර්මාන්තයේ යෙදෙන ව්‍යාපාරිකයන්ටත් වඩා වැඩිපුර අවධානය යොමු වෙන්න ඕනෑ බස් එකේ යන එන සුවහසක් මිනිස්සුන්ගෙ යහපත ගැන.