මේ වන විට රටේ ෆෝමලින් හිඟයක් තියෙන පසුබිමක නැදුන්ගමුවේ රාජා හස්තියාව සංරක්ෂණය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දුන් බව පුවත් පළ වෙනවා. ඊට අමතරව මේ ඇතා ජාතික උරුමයක් ලෙස නම් කරන්නත් කීවාලු.
ඔන්න ඔය විදියට රටෙන්ම බැණුම් අහන වෙලාවක ‘ජාතික උරුමයක්’ පාවිච්චි කරලා උපරිම ප්‍රායෝජන ගන්න ජනාධිපතිවරයා උත්සාහ කළා.
අප කළ අන්තර්ජාල සෙවුම්වලදී දකින්නට ලැබුණේ සත්ව සිරුරක් සංරක්ෂණය කරන්නටත් ෆෝමලීන් අවශ්‍ය වන බව. ඒ හැරුණාම මිනිස්සු සිරුරු අවමංගල්‍ය උත්සව වෙනුවෙන් දින කිහිපයක් තබාගන්නේත් ෆෝමලීන් පාවිච්චි කරමින්. එහෙත්, මේ වෙද්දී රටේ ෆෝමලින් හිඟයක් පවතින බව පුවත් වාර්තා වුණා.
ඇත්තටම ඇතාට පාවිච්චි කරන ෆෝමලින් ප්‍රමාණයයි, රටට අවශ්‍ය වෙන ප්‍රමාණයයි සමාන නැහැ. ඒ නිසා ඔතැන ඇතා සංරක්ෂණය කළත්, නොකළත් ඒකෙන් රටේ හිඟයට බලපෑමක් නෑ.
නමුත් ඉතින්! මිනිස්සුන්ට ෆෝමලින් නැති වෙලාවක ඒකට වගකියන්න ඕනෑ පාලකයා මේ වගේ නියෝග දෙන හැටි දැක්කාම ඒක පිටිපස්සේ තියෙන ‘උත්ප්‍රාසය’ අපට සිහිපත් කරන්න සිද්ධ වෙනවා.
අනෙක අපේ රටේ මිනිස්සු කන්න නැතත්, කොච්චර වැටුණත් ඔය ‘සංස්කෘතිකාංග’ මහා ඉහලින් තියාගෙන, මැරිච්ච සත්තුන්ට පුළුන් පුරෝලා හරි ‘දේශීය අභිමානය’ නං පට්ට ගහනවා. ජනාධිපතිවරයාගේ කඳවුර දේශපාලනය කළෙත් ඔය ‘ජාතිකත්වය, දේශීයත්වය, පෞඪ ඉතිහාසය, සංස්කෘතිය, අභිමානය’ විකුණමින්. ඇතා ඒ අභිමානය ගැන හොඳ සංකේතයක්.
මාර්තු 07 වැනිදා නැදුන්ගමුවේ රාජා හස්තියා ජීවිතයෙන් සමුගත්තේ වයස අවුරුදු 69ක්ව තිබියදී. ඇත්තටම 69 කියන්නෙත් අපූරු අංකයක්. මේ හස්තියාව මිනිසුන් විසින් දළඳා පෙරහැරේ කරඬුව වඩම්මන්නට පාවිච්චි කළා.
සාමාන්‍යයෙන් මෙවැනි හස්තියෙක්ව පෙරහැරවලට පුරුදු කරන්නේත්, වසර ගණනක මිනිසුන්ට ඕනෑ ක්‍රියාවලට යොදවන්නේත් ඒ සතාව හිංසාවට පත් කරමිනුයි. සතා සිර කිරීම, එක තැන තබාගැනීම වගේම මිනිසුන්ට ඕනෑ විදියට හැසිරවීම සඳහා හෙණ්ඩුව ආදී උපකරණවලින් රිදවීම සිදු කරනවා. විදුලි බල්බ විශාල ප්‍රමාණයක් එක්ක පෙරහැරේ ගෙනයෑමත් හිංසාවක්. අනෙක ඔය ‘ඇතා වඳිනවා’ ආදී ලෙස මිනිස්සු මහා මිත්‍යා අදහස් එක්ක හිස තියාගත් ඇතැම් ක්‍රියා සතා ලව්වා කරවන්නේ හිංසාවෙන් යුතුව ලබා දෙන පුහුණු කිරීම්වලින්. ‘හීලෑ’ කිරීම යනු අහිංසක ක්‍රියාවක් නෙවෙයි.
වනයේ නිදහස් ජීවිතයක් උරුම සතුන්ට හිංසා කිරීම නූතන සමාජයට නොගැලපුණත්, සංස්කෘතික උරුමය එක්ක ඇතා පෙරහැරේ වැඩැම්මවීම කරනවා. පෙරහැරට ඇතුන් යොදාගැනීම නැවැත්විය යුතුයි කියා යෝජනා කරන්න අපට බැහැ. ඉන්දියාවේ ජල්ලිකට්ටු නැවැත්වීමට ගත් උත්සාහය සංස්කෘතියට එරෙහිව ගත් පියවරක් බව කියමින් තමිල්නාඩුවේ උද්ඝෝෂණ පවා ඇති වුණානේ. සත්ව හිංසනය පිළිබඳ නව සංකල්පයි, පරණ සංස්කෘතික උරුමයනුයි එකට මුහු කිරීම ලෙහෙසි නැහැ.
විශේෂයෙන් අපි මස්, මාළු කන්නත් සත්ව හිංසාව එක්කනේ. දැන් සමහර ආගමික විශ්වාස තියෙන උදවිය අහවල් සතාගෙ මස් කන්න එපා කීවාම ‘පිස්සු විකාර!’ කියමින් අපි ඒ සතුන්ගේ මස් කනවාට පක්ෂව කතා කරනවා. පෝෂ්‍ය ගුණය ගැනත් මතක් කරනවා. ඊට පස්සේ ඇතා පෙරහැරේ ගෙනියන එකට සත්ව හිංසාව කියලා විවේචන එල්ල කරනවා.
ඒ ඇවිල්ලා හුදෙක් මිනිස්සුන්ගෙ සංස්කෘතික උරුමයන්ට පහර ගහන්නම කියන කතා. අපට එහෙම ඇම්මක් නෑ.
ඒත් ඉතින්! මෙවැනි මොහොතක ඒ සතා ජීවිත කාලයේම දුක් වින්ද බව අමතක කරන්න බෑ. ඒ සතාව පෙරහැරේ ගෙනියලා, සංචාරකයන්ව රටට අද්දවාගෙන, අපේ අයත් සෑහෙන කල්චරල් ෆීලින් එකක් භුක්ති වින්ද බව ඇත්ත. ඒත් ඉතින්, හැබෑව ටිකක් හිංසාකාරී බව පිළිගන්න එපායැ.
එහෙම සතෙක් මැරුණාම සිරුරත් සංරක්ෂණය කිරීම පොඩි නරුමකමක් වගේ තමයි අපට දැනෙන්නේ. ඒත් තීරණ ගන්න උදවිය ඒ තීරණ ගත්තාවේ. අපි ඒකට ක්‍රියාකාරීව විරෝධය පාන්නෙ නෑ. අපට ඊට වඩා ‘විරෝධය පාන්න’ කාරණා තියෙනවා.
අපට ඕනෑ වුණේ රටක මිනිස්සුන්ට ෆෝමලින් නැති වෙලාවක, සතා සංරක්ෂණය කරමින් ‘වංශෙ කබල් ගෑමේ’ උත්ප්‍රාසය පෙන්වා දෙන්නයි.