අපි ශ්‍රී ලංකා එක ගැන කීව දේවල් කිහිපයක්ම ඇත්ත වෙලා තියෙනවා. ඒත් පුතාලා පරක්කු වැඩියි. සෑහෙන පරක්කු වැඩියි.
හැබැයි මේ කියන එකේ වැදගත්කමකුත් තියෙනවා. ඒ වැදගත්කම ශ්‍රීලනිපයට ක්‍රෙඩිට් එකක් නොවුණාට, මහජනතාව පැත්තෙන් වැදගත්. ඒ ගැන අපි කතා කරමු.
මාර්තු 05 වැනිදා විවිධාකාර ප්‍රවෘත්තිවලින් යටපත් වූ පුවතක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් ඒකමතිකව ශ්‍රීලනිප සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ඉදිරිපත් කරපු යෝජනාව.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණවලදී පොහොට්ටුව එක්ක එකට තරග නොකළ යුතුයි කියා ඔවුන් යෝජනා කරලා.
අපි කරපු විමසීමකදී ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස කී විදියට මෛත්‍රීපාල සිරිසේන මහතා විමසද්දී තමයි ආසන සංවිධායකයන් එහෙම කියලා තියෙන්නේ. ඒ ශ්‍රීලනිප වැඩමුළුවකදී.
මෛත්‍රීපාල සිරිසේන මහතා කියා තියෙනවා ඒක ඉදිරියේදී යෝජනාවක් විදියට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට දාලා අනුමත කරගන්නා විත්තිය.
ඒ කියන්නේ ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් අයින් වෙන්නේ නැහැ. ඉස්සරහට ආණ්ඩුවේ ඉන්නවා. ඒත්, ඡන්දයක් එද්දීම ආණ්ඩුවෙන් එළියට බහිනවා. අයින් වෙනවා. වෙනම ඉල්ලනවා.
දැන් සමහරුන් කියනවා විමල්ලා, උදයලා, වාසුලා, මෛත්‍රීලා ඔක්කොම දාන්නේ බොරුවක්ය, ඕක රාජපක්ෂ පවුලේම කොන්ත්‍රාත්තුවක්ය, දැන් වෙන්වුණාට ඉස්සරහට එන ඡන්දයකදී ඔක්කොම ආපහු එකතු වේවිය කියලා.
ඒත්, ඒක දේශපාලනයේ සැබෑ යථාර්තය නොදන්නාකම නිසාත්, ආණ්ඩුව සහ විමල්ලා කරලා තියෙන දේවල් ගැන හැබෑ මහජන කේන්තියක් තියෙන නිසාත් කියන දෙයක්. අනෙක් පැත්තෙන් රාජපක්ෂලා මාර කාර්යශූර දේශපාලනඥයන් විදියට මාර ක්‍රෙඩිට් එකක් ඒකෙන් දෙනවා.
ඇත්තම කතාව ඒක නෙවෙයි. ඔවුන්ට ඕනෑ වුණේ දැන් වෙන්වෙලා, ඡන්දයෙදි එකතුවෙන්න නෙවෙයි. ඒකෙ සම්පූර්ණ අනෙක් පැත්ත. දැන් එකට ඉඳලා ඡන්දයෙදී වෙන් වෙන්නයි ඔවුන් හැමෝටම ඕනෑ වුණේ.
ඇත්තටම යම් පැත්තකින් බැලුවොත් මිනිස්සු ඔවුන්ගේ ප්ලෑන් එක කියා හිතන එකට වඩා ඔවුන්ගේ ඇත්තම ප්ලෑන් එක අධමයි. අඩු තරමේ මිනිස්සු සැක කරන ප්ලෑන් එකේදී ඒ අය රාජපක්ෂ පවුලටවත් පක්ෂපාතීයි. අවංකයි. ඒත්, හැබෑ ප්ලෑන් එකේදි ඔවුන් පවුලටත් කෙළිනවා. ගුණමකු වෙනවා.
එකට ඉන්න අතරේ ආණ්ඩුවට බැන බැන ඉන්නවා. අන්තිමේ එළියට බැහැලා ආණ්ඩුව අතාරිනවා. ඒක නෙක්ස්ට් ලෙවල් එකේ පාවාදීමක්.
ශ්‍රීලනිපය සහ මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයේ සැලසුම ඒක. අපි ඒක අනාවැකියක් විදියට කලින් වතාවක් කීවා. ශ්‍රීලනිපය එළියට බහීවි කියලා මාසෙකට දෙකකට කලින් හැම මීඩියා එකක්ම ගහද්දී, නෑ බහින්නේ නෑ, ඊළඟ ඡන්දය එනතුරු ඉන්නවා කියලා අපි වීඩියෝවක් කළා.
දැන් ආසන සංවිධායකවරුන්ගෙ රැස්වීමෙදී තහවුරු වෙලා තියෙන්නේ ඒක.
ඒත් අපේ අනෙක් කතාව තමයි ඔය ප්ලෑන් එක හරියන්නේ නැති විත්තිය. ඒක අසාර්ථක විත්තිය.
ඔබ අතර කවුරුහරි ඉන්නවා නං රාවය, අනිද්දා පත්තරවල ඉඳන් අපව ෆලෝ කරන, අපි ඔය ශ්‍රී ලංකා සීන් එක ගැන දිගටම ලියූ බව දන්නවා ඇති.
2017 දී තරිඳු උඩුවරගෙදර නමින් රාවයේ ලිපියක් ගියා ‘අලුත් බලවේගය ශ්‍රීලනිපයයි’ කියලා. ඒකෙදී මම ලීවේ පොහොට්ටුව බිහිවෙද්දී ඒක ‘අලුත් බලවේගයක්’ කියා කට්ටිය උඩ දැම්මාට ඇත්තටම ඒක පරණ බලවේගයක් විත්තිය. ශ්‍රී ලංකා එකට දැන් පුළුවන් අලුතින් පටන් ගන්න. ඇත්තටම එක් එක් ප්‍රදේශවලින් තරුණ දේශපාලන නායකයන්ව බඳවාගන්න.
විශේෂයෙන් ඔහු සාම්ප්‍රදායික දේශපාලනය සමාජ මාධ්‍යවල බිහිවීම එක්ක නැතිවෙන බවත්, මිනිස්සුන්ට එන්න එන්නම එපාවෙන බවත් එදා මා ලීවා. අනෙක පොහොට්ටුව කියන ‘අලුත්’ බලවේගයට ගිය හැමෝම ඉතා නාකි අය බවත් මතක් කළා. අද කැබිනට් එකේ වයස බලන්නකෝ. මේ අයට අනාගතයක් නෑ.
ඒ අනුව ශ්‍රී ලංකා එකට තිබුණේ තනියම ඉන්න. ඇත්තම දේශපාලන උණක් තියෙන අය බඳවාගන්න. ඒ අයට ඩාලි පාරෙ ඔෆිස් එක, ශ්‍රී ලංකා එකට තියෙන නම, අත ලකුණ ආදිය පාවිච්චි කරලා ලංකාවේ අලුත් දේශපාලනයක් කරන්න ඉඩ දෙන්න. ඒක කෙරෙනතුරු ඔය ශ්‍රී ලංකා එකේ පාලන බලය අයිති මෛත්‍රීපාල, දයාසිරි, නිමල් සිරිපාල ඇතුළු නායකයන් බලා ඉන්න.
ඒත් ඇත්තටම ශ්‍රී ලංකා නායකයන්ට දැක්මක් හෝ දේශපාලන වුවමනාවක් තිබුණේ නෑ.
ඇත්තටම ගොඩක් ශ්‍රී ලංකාකාරයන් ඒකට බය වුණා. විශේෂයෙන් ශ්‍රීලනිපයේ ඉතිරිවෙච්ච වයසක කට්ටිය. රංජිත් සියඹලාපිටිය, නිමල් සිරිපාල, ලසන්ත අලගියවන්න ආදී අය කීවේ අපි දැන්වත් පොහොට්ටුවට නොගියොත් ශ්‍රීලනිපයට කෙළවේවි කියලා. විශේෂයෙන් 2018 පෙබරවාරි තිබුණ පළාත් පාලන මැතිවරණයෙන් පොහොට්ටුව දින්නාට පස්සේ එහෙම කීවා.
ඇත්තටම යහපාලන ආණ්ඩුව කෙළපු පිස්සු නිසයි පොහොට්ටුව දින්නේ. කොහොම නමුත් ඒ ඡන්ද ප්‍රතිඵලය වෙලාවෙම මහින්දලා එක්ක එකතුවෙලා ආණ්ඩුවක් හදන්න රනිල් අගමැතිකමෙන් අස් කරන්න, මෛත්‍රීපාල සිරිසේන මහතාට ඕනෑ වුණ බව පසුකාලීනව ඔස්ටින් ප්‍රනාන්දු වැනි නිලධාරීන් හෙළි කළානේ.
ඊට පස්සේ 2019 ජනාධිපතිවරණයේදීත් ශ්‍රීලනිපය ගෝඨාභයට සපෝට් කරන තැනට තල්ලු වුණා. ඒත් එදාත් ශ්‍රීලනිපයට තිබුණේ තනියෙන් නවීන අපේක්ෂකයෙක් දාන්න.
මෙහෙම කළා නං, ශ්‍රීලනිපය මුලින් ඩවුන් යනවා. ජනාධිපතිවරණයේදී පොඩි ඡන්ද ප්‍රතිශතයක් ලැබේවි. මොකද, මෛත්‍රීට කවුරුත් කැමති නෑ. සමහරවිට පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රීට නඩුවකුත් වැටෙන්න තිබුණා. 2020 මහමැතිවරණයේදී වෙනම ඉල්ලුවොත් ආසන දහයක් වගේ විතරක් ලැබෙන්නත් ඉඩ තිබුණා.
ඒත් එහෙම වුණා නං නිමල් සිරිපාලලා ඇතුලු ගොඩක් අය පොහොට්ටුවටම ගිහිල්ලා. අලුත් නම් තියෙන නායකයන් බිහිවෙලා. අද මේ මොහොතේ ආණ්ඩුව දුර්වල වෙද්දී අලුත් කඳවුරක් හදාගන්න බැරි වෙලා.
ඒත්, රාජපක්ෂලා කඩාවැටෙන බව අපි කලින්ම කීව එක අද ඇත්ත වෙලානේ. රාජපක්ෂලාගේ දේශපාලනය ඉවරවෙන බව අපේ අනාවැකිය ඇත්තනේ. අපි ඒක 2019 දී කීවා. ඇත්තටම අපි කෙසේ වෙතත් ගාමිණී වියන්ගොඩ මහතාත් ‘දුර්වලම අපේක්ෂකයා ගෝඨාභය’ කීවාම කට්ටිය මීම්ස් හදලා ඒකට ගැහුවේ. අද ඒවා ඇත්ත. ඒවා මාර ජීනියන් අනාගත වාක්‍ය.
එදා ශ්‍රී ලංකා එක රාජපක්ෂලා ළඟට ගියොත් ගොඩ කියා හිතුවාට, අද ඔවුන් දන්නවා ගෝඨා ළඟ හිටියොත් දේශපාලන අවසානය තමයි කියා. අන්න ඒකයි ඊළඟ ඡන්දය වෙනම ඉල්ලන්න ප්ලෑන් කරන්නේ.
දැන් බොරු විරෝධයක් දාලා අන්තිමේ රාජපක්ෂලා එක්ක සෙට් වේවි කියා හිතන අය තේරුම් ගන්න ඕනෑ, ඇත්තටම වෙන්නේ ඒක නෙවෙයි. ඊළඟ ඡන්දයකදී ගොඩක් අය රාජපක්ෂලාව තමන්ට මතකත් නෑ වගේ! දුමින්ද සිල්වා පාට් දමාවි. ‘හූ ඊස් ගෝඨා?’ කියලා ගෝඨා ලසන්ත ගැන ඇහුවා වගේ අහයි. හැමෝම ඔය ගිලෙන නැවෙන් ඈතට පනියි. ශ්‍රීලනිප සැලසුමත් ඒක.
අපි මේ කියන්නේ මේ නැවට ගොඩවුණ එකම තමයි මෝඩකම. දැන් ඉතින් එළියට පැන්නාට වැඩක් නෑ. මිනිස්සු බාරගන්න ලෑස්ති නෑ කියන එකයි. නැව ගිලෙනවා කියලා අපි කලින්ම කීවා. කවුරුත් ඇහුවේ නෑ කියන එකයි.
ඒත් ඉතින්! අපි ඉංග්‍රීසි කියමනක් කිවොත් ‘හූ ආර් වී කිඩින්ග්?’ අපි කාවද මේ අන්දන්න හදන්නේ? ඇත්තටම මේ කවුරුත් හැබෑ දේශපාලනයක් කරන දැක්මක් ඇති අය නෙවෙයිනේ.
එහෙම අය හිටියා නිදහසෙන් පැත්තේ හැත්තෑ ගණන් දක්වා. ඇන්ඇම්ලා, කොල්වින්ලා, ඇතුලත්මුදලිලා ආදී අය.
ඉතින් දැන් ආණ්ඩුව එක්ක ඉඳලා එළියට බැස්සොත් ශ්‍රීලනිපයට යන්තමට පොහොට්ටුව එක්ක තරග කරන්න හැකි වේවි. රාජපක්ෂලා ඉවරයි. ඔය කියන තරම් බලයක් රාජපක්ෂලාට නෑ. ආණ්ඩු බලය එක්ක දූෂිත ඡන්දයක් කළොත් යන්තමට ජාමෙ බේරගන්න පුළුවන් වුණත්, ආණ්ඩු හදන්න බෑ. ඒ නිසා ශ්‍රී ලංකා එකට තමන්ගේ ආසන සංවිධාන ජාලයත්, කාර්යාල සහ ශාඛා සංවිධානත් ඇතුළු බිම් මට්ටමට විහිදුන ජාලය පාවිච්චි කරලා, පරණ එස්ටැබ්ලිෂ් වෙච්ච නමත් පාවිච්චි කරලා තනියම යමක් කරන්න හැකි වේවි.