හිරුණිකාගේ ගෙදර වැටලීම භයානක තර්ජනයක පෙරනිමිත්තක්!

අපි මිට කලින් ගෝඨා අපි සූදානම් කියා දාපු වීඩියෝවක කීවා ඉදිරියේදී ආණ්ඩුවෙන් කරන පුරවැසියන් මර්දනය වැඩි වෙන්න ඉඩ තියෙන බවක්. ඒත් ඒ මර්දනය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? හිරුණිකාගේ ගෙදර ඉදිරිපිට තිබුණ උද්ඝෝෂණයෙන් ඒ ‘කොහොමද?’ කියන ප්‍රශ්නයට උත්තරයක් එනවා.

‘ජනාධිපතිතුමාට චණ්ඩිකම් පෙන්නපු නෝනා වරෙන්. අපි ආවා. බැහැපිය දොට්ට. චණ්ඩි නෝනා වරෙන්’ කියමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර නම් හිටපු මන්ත්‍රීවරියගේ ගෙදරට මාර්තු 05 වැනිදා රෑ ආපු පිරිසක් කෑගසමින් විරෝධය පෑවා.

මේ විරෝධය බැලූ බැල්මට සාධාරණයි කියලා කෙනෙක්ට කියන්න හිතේවි. ‘ඇයි යකෝ! හිරුණිකා චණ්ඩියා වගේ ගෝඨාභයගේ පෞද්ගලික ගෙදර ඉස්සරහට ගියා නං, වෙන කාටහරි ඇගේ ඉස්සරහට එන්න බැරිද? හිරුණිකා අර වගේ විරෝධයක් කළේ ඕක සිද්ධ වෙන බව නොදැනද?’ කියා කෙනෙක් ප්‍රශ්න කරනු ඇති. ඒක ගැන ඉදිරියට වැඩිදුර කතා කරමු.

කෙසේ වෙතත් මේ කියන හිරුණිකාගේ ගෙදර ඉදිරිපිට විරෝධය පැහැදිලි තර්ජනයක්. ඇත්තටම මේ කියන කාන්තාවන්ට ජනාධිපතිගේ ගෙදර ඉදිරිපිටදී වෙඩි තියන්න හෝ වෙනත් ආකාරයේ මර්දනයක් කරන්න හැකියාවක් නෑ. ඒ ඇයිද කියන එකත් ඉස්සරහට කතා කරමු.

කොහොම නමුත්, ඒවා කරන්න බැරි නිසා නිල නොවන මැර බලයකින් හිරුණිකාට රිටර්න් එකක් දෙන්න තමයි මේ කියන ඇගේ නිවස වැටලීම සිද්ධ වුණේ. මේ කියන නිලනොවන මැරයන්ගේ ක්‍රියා මෑත ඉතිහාසයේ අපි නොදැක්කාට 2015ට කලින් රාජපක්ෂ ආණ්ඩු සමයේ නං සෑහෙන මෙවැනි ක්‍රියා තිබුණා.

ඔබ දන්නවාද? පෝද්දල ජයන්තට එදා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ කරපු තර්ජනයේ තිබුණේත් ‘ජනතාව උඹලා ගැන බලාගනීවි’ කියන අදහස. තවත් අවස්ථාවල රාජපක්ෂ පවුලට හිතවත් අයගෙන් පවා මේ ‘ජනතාව කුපිත වෙනවා’ කියන අදහස මතු කරලා තිබුණා. විශේෂයෙන් මේ කියන ‘ජනතාව’ සංවිධානය වෙලා විවිධාකාර පුද්ගලයන්ට තර්ජනය කරලාත්, පහරදීම් කරලාත් තිබුණා. ඉස්සර ඕවා මීඩියාවල ගියේත් නෑ, අද තරම් සෝෂල් මීඩියා සහ යූටියුබ් ආදියත් නෑ. ඒත්, කුඹුක්ගැටේ පහරදීම, කලාකරු ජයතිලක බණ්ඩාරට පහරදීම වගේම හම්බන්තොට ගිය මන්ත්‍රීවරුන්ට නගරාධිපති එරාජ් ප්‍රනාන්දුගේ පිස්තෝල සිද්ධිය වගේ ඒවා යම් දුරකට කතා වුණා. ඒත් ඊටත් එහා ගිය රටට බලපෑම් කරන තව කුප්‍රකට දරුණු සිදුවීමකුත් තියෙනවා. ඒ ගැනත් ඉස්සරහට වැඩිදුර යමක් කියන්නං.

කොහොම නමුත් මේ ‘ජනතාව’ කියන එක ලෝක දේශපාලනයේම තිබුණ දෙයක්. නිල නොවන ‘මැර’ කණ්ඩායම්. මොබ්ස්.

හිරුණිකාගේ ගෙදරට ගිය අය අතරේ ඉස්සරහට දාලා තිබුණේ කාන්තාවන් කිහිපදෙනෙක් වුණාට, ඒ කණ්ඩායම සමස්තයක් විදියට ගත්තොත් මොබ් එකක්.

අපේ මූලික පොයින්ට් එක මේකයි. අමතක කරන්න ඕනෑ නැහැ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියන්නේ දරුවන් තුන්දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් විත්තිය. ඇය ගෝඨාගේ ගෙදර ඉස්සරහා වැඩසටහන ඉවරවෙලා ගෙදර නොගිය බවත්, ඇය වෙනත් රැස්වීම් කිහිපයකට සහභාගී වූ බවත් කියනවා. ඒ අනුව දරුවන් ගෙදර හිටියේ. මේ කියන සිද්ධිය රාත්‍රියේ සිද්ධවෙද්දී බියෙන් නමුත්, ආරක්ෂිතව දරුවන් ගෙදරින් එළියට ගන්න හිරුණිකාගේ පවුලේ අය සමත් වුණාලු.

මේක බැලූ බැල්මට පහළ මට්ටමේ විරෝධතාකරුවන් පිරිසකගේ වැඩක්. ඒත්, ඇත්තටම ගත්තොත් මේක පැහැදිලිවම ගෝඨාභය රාජපක්ෂට ඉතා සමීප තැන්වලින් සංවිධානය කරපු වැඩක් බව පැහැදිලියි. මේ විරෝධය සංවිධානය කරලා තිබුණේ කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න බවත්, චන්දික අබේරත්න ආර්. දුමින්ද සිල්වාට දැඩිව හිතවත් චරිතයක් බවත් අපට දැනගන්න ලැබුණා.

සමහරවිට දුමින්දලාට, චන්දිකලාට හිරුණිකා ජනාධිපතිගේ නිවස ඉදිරිපිටට යෑමටත් එහා ගිහින්, මේ වෙද්දී දුමින්දට ජනාධිපති සමාව දුන්න එක අසාධාරණ බව පෙන්වාදෙමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණයේ ගොනු කරපු නඩුව ගැනත් කේන්තියක් ඇති.

හිරුණිකා ප්‍රේමචන්ද මහත්මියගේ පවුලේ දේපල තියෙනවාද? ඒවා කොතරම්ද? වගේ කාරණාවලට උත්තර අපි දන්නේ නෑ. ඒත් අපි දේශපාලනඥයන්ගේ පසුබිම් විස්තර හොයන නිසාත්, හිරුණිකාව පත්තරවල සම්මුඛ සාකච්ඡාවලට ලක් කරන්නට ඇයව මුණගැහිලා තියෙන නිසාත් දන්න එක කාරණාවක් තමයි ඇය මාලඹේ පැත්තේ ඉතාම සාමාන්‍ය මධ්‍යම පාන්තික ගෙදරක එදිනෙදා ජීවත්වෙන බව. තට්ටු දෙකේ පොඩි ගෙදරක්. ඒක දුප්පත් ගෙදරක් නොවුණත්, මහා සුඛෝපභෝගී නිවාසයකුත් නෙවෙයි. ලංකාවේ සාමාන්‍ය මධ්‍යම පාන්තික වෘත්තිකයෙක්ට වුණත් තියෙන විදියේ ගෙයක්.

මේ ගෙදර තියෙන්නේ තවත් ඒ වගේම නිවාස කිහිපයක් හැදූ හවුසින් ස්කීම් එකක. ඒ ඒ නිවාස වෙන් කරන්නට ලොකු තාප්ප නෑ. අහල පහල සාමාන්‍ය මිනිස්සුත් ඉන්නවා. ඉතින් මෙවැනි කඩාවැදීමකදී අහල පහළ මිනිස්සුත් බය වෙනවා.

අපි මේ කියන්නේ ඇය සාමාන්‍යයෙන් ජීවත්වෙන ගෙදර. ඒ වගේම ඇයත්, ඇගේ සැමියාත්, දරුවනුත් තමයි මේ ගෙදර ඉන්නේ. ජේවීපී සහ සමහර ටීඑන්ඒ මන්ත්‍රීවරුන් හැරුණාම සාමාන්‍ය මධ්‍යම පාන්තික ජිවිතයක් ගෙවන ප්‍රධාන පක්ෂ දෙකේ මන්ත්‍රීවරුන් අතරින් කෙනෙක් තමයි හිරුණිකාත්. තව එහෙම අය අපි දන්නවා ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ, වාසුදේව නානායක්කාර, ඉරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා ආදී කිහිපදෙනෙක්.

අපි මේ ටික කිවේ, ජනාධිපති ගෝඨාභයගේ දැඩි ආරක්ෂාවක් දැම්ම, තාප්ප බැන්ද ගෙදරට ගිහින් රටේ ප්‍රශ්න ගැන කාන්තාවන් කිහිපදෙනෙක් හඬ නැගීමත්, මේ වෙලාවේ දේශපාලන බලයක් නැති දරුවන් ඉන්න අම්මා කෙනෙකුගේ ගෙදරට ගිහින් ‘චණ්ඩි නෝනා එළියට බැහැපිය’ කියා කෑගැසීමත් සම්පූර්ණයෙන් එකිනෙකට වෙනස් සිද්ධි දෙකක්.

හිරුණිකා කරපු විරෝධයයි, හිරුණිකාට විරුද්ධව කරපු එකයි කියන දෙකම තර්ජන තමයි. ඒත්, හිරුණිකා තර්ජනය කළේ රටේ දේශපාලන බලය හිමි විධායක ජනාධිපතිගේ බලයට. අනෙක් පැත්තෙන් හිරුණිකාට කරපු තර්ජනය රටේ දේශපාලන බලය හිමි විධායක ජනාධිපති වෙනුවෙන් කරපු තර්ජනයක්.

හිරුණිකා තමන්ගේ විරෝධය කරද්දී දේශපාලන අරමුණකුත් ඇති. අනිවාර්යයෙන් තියෙනවානේ. ඒත්! ඒකෙදී ඇය මතු කරපු කාරණාව අපට තේරෙනවා. ඒ කාරණාවට මේ රටේ පුරවැසියන් එකඟයි.

අනෙක් පැත්තෙන් හිරුණිකාගේ ගෙදර ඉස්සරහට ආවේත් ඇයිද කියා අපට තේරෙනවා. ඒ අරමුණට අපි එකඟ නෑ. කාරණය ඔච්චර සරලයි.

ආණ්ඩුවට වෙන ක්‍රමයකින් මේ විරෝධය මර්දනය කරන්න බැරි බව අපි කීවා. මේ විරෝධය වෙන ක්‍රමයකින් මර්දනය කරන්න බැරි ඇයි?

ඒ කතාකරන මොහොත වෙද්දී ජිනීවාවල මානව හිමිකම් කවුන්සිලයේ ගිහින් ජීඑල් පීරිස් ‘අපි මානව හිමිකම් රකිනවා’ කියා පච ඇදබානවා. ඕක අස්සේ මේ රටේ සාමාන්‍ය පාරක් ඉදිරිපිට කරපු විරෝධයක් මර්දනය කරන්න බැහැනේ. අනෙක ආණ්ඩුවේ තුනෙන් දෙකේ කෑලි ගැලවෙමින් යන වෙලාවක කොහොමත් මෝඩ වැඩ කරන්න බෑ. අත්අඩංගුවට ගන්නත් අමරු වේවි. කොච්චර කළත් විමල්ලා, ගම්මන්පිළලා වගේම ශ්‍රීලනිපය පවා තමන්ට කියා අලුත් දේශපාලන මාවතක් හදාගන්න දඟලන වෙලාවක ආණ්ඩුවෙන් නිල වශයෙන් හිරුණිකාට තර්ජනයක් එල්ල වුණොත් ප්‍රශ්නයක් ඇති වෙනවා. අන්න ඒ නිසයි ‘නිල නොවන රිටර්න් එකක්’ හිරුණිකාට දෙන්න ඕනෑ.

අපි මේ රාජපක්ෂ පාලනය ගැන බිය නොවන එක තැනක් තමයි නිල වශයෙන් ආරක්ෂක අංශවලින්, පොලීසියෙන් හෝ පැරා මිලිටරි කණ්ඩායම්වලින් අපට වුණත් කරදරයක් නොවේවි කියන හැඟීම. ඒ කියන්නේ යම් විදියකට එස්ටැබ්ලිෂ් වෙච්ච අපි වගේ මාධ්‍යවේදීන්, දේශපාලනඥයන්, ක්‍රියාකාරීන් ආදී අයට නිල පොලිස් හෝ හමුදා අංශවලින් තර්ජනයක් එල්ල වෙන්න තියෙන ඉඩ අඩුයි. නැතිව නෙවෙයි! ටිකක් අවදානම අඩුයි.

ඇත්තටම සීඅයිඩීය පවා ගෙන්වන්නේ බොහෝ විට ලොකු ආරක්ෂාවක් නැති නමුත් ආණ්ඩුවට තර්ජනයක් වූ අයවනේ.

ඒත්! අපි බය වෙන එක දෙයක් තමයි ඒ නිල වශයෙන් එන කණ්ඩායම් වෙනුවට, ‘ජනතාව’ කියා රාජපක්ෂ පවුල හදුන්වන යම් යම් කණ්ඩායම්වලින් එල්ලවෙන තර්ජන. යම් යම් මැර දේශපාලනඥයන්ගේ පොකට් එකේ ඉන්න මුදලට වැඩ කරන උදවිය.

මේ කියන ‘ජනතාව’ තමයි ලංකාවේ මුස්ලිම්- සිංහල ජනවාර්ගික ප්‍රශ්නයක් අවුලුවමින් 2014 අලුත්ගම ප්‍රහාරය එල්ල කළේ. ඒ ප්‍රහාරය තමයි පාස්කු ප්‍රහාරය හේතු වූ මතවාදය පෝෂණය කළේ. එතැනින් එහාට ඥාණසාර හිමි විවිධාකාර තැන්වලට කඩාවැදිලා තර්ජන කරලා තියෙනවා. ඩෑන් ප්‍රියසාද් අහිංසක මිනිස්සුන්ගෙ ගෙවල්වලට කඩාවැදිලා පිස්සු කෙළලා තියෙනවා.

ඉස්සර දවසක් යම්කිසි හෝටලයක මාධ්‍යවේදීන් පුහුණු කිරීමේ වැඩසටහනක් කරපු අපේ මාධ්‍ය ගුරුවරයා වන ලසන්ත රුහුණගේ ප්‍රමුඛ පිරිසකට ‘කොටි’ කියලා චෝදනා එල්ල කරමින් ඔය වගේ ‘ජනතා උද්ඝෝෂණයක්’ තිබුණා. ඇත්තටම ඒ විරෝධයේදි ලසන්තගේ විරෝධය තියෙන දවසේම හෝටලයේදී ගහපු ෆොටෝ එකක් දාපු බැනර් එකක් පවා අරගෙන ගියාලු. ඒ කියන්නේ කවුරුහරි සැලසුම් සහගතව ෆොටෝ දාලා, ක්ෂණිකව බැනර් දාලා තමයි ජනතා උද්ඝෝෂණ කරන්නේ.

ඔය ජනතාව ඕගනයිස් කරන්නේ කවුද, ගේන්නේ කවුද, තැන්වලට අරන් යන්නේ කවුද කියන එක රහසක් නෙවෙයි. ඒත්, නිල වශයෙන් ආණ්ඩුවට එවැනි සිදුවීමක වගකීමෙන් ගැලවෙන්න පුළුවන්. ඇයි! මේක කළේ අපි නෙවෙයි ‘ජනතාව’නේ.

හිරුණිකාගේ ගෙදර ඉදිරියට අද ඔය විදියට ගියපු අය හෙට ගෙට කඩාවැදිලා, පහරදීලා, ගිනිතියලා හෝ දරුවන්ට ලොකු මානසික පීඩනයක් හදන්න පුළුවන්. දරුවන් ලොකු ට්‍රමැටික් ඉවෙන්ට් එකකට, බිය ගෙනදෙන අත්දැකීමකට මුහුණ දුන්නොත් ඒ දරුවන්ගෙ ජීවිතේටම ඒක බලපානවා. දරුවන්ගෙ අධ්‍යාපනයට, කනබොන විදියට, මානසික වර්ධනයට ඒක බලපානවා. ඒක තමයි අම්මා කෙනෙක්ට දෙන්න පුළුවන් ලොකුම ‘දඬුවම’.

අපට වුණත්, වෙන කාට වුණත් රිද්දන්න පුළුවන් දරුණුම තැන තමයි පවුලේ අය ඉලක්ක කරලා ඔය වගේ ‘ජනතා’ විරෝධයක් දියත් කිරීම.  

මේ තත්වය දරුණුයි. ඒ නිසා මේ ගැන විපක්ෂය ඉතා තීරණාත්මකව ප්‍රශ්න කරන්න ඕනෑ.