අපි ආණ්ඩුවෙන් යන්න නෙවෙයි හිටියේ! විරුද්ධ අයව ඇතුළෙම තියාගන්න හැදුවේ! – වාසු අමුවෙන්ම කියයි

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළ ඇතුළු තමන්ගේ කණ්ඩායම ආණ්ඩුව ‘කඩාකප්පල් නොකර’ යහමගට ගන්න විතරක් ඒ කියන්නෙ දිගටම ආණ්ඩුව රකිමින් ආණ්ඩුවේ ඉන්න උත්සාහ කළ බවත් අන්න එහෙම ඉන්නකොට අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට ගත් තීන්දු අසාධාරණ බවත් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර කියා තියෙනවා.

ආණ්ඩුව ‘කඩාකප්පල් කරන්න තමන්ට වුවමනාවක් නැහැලු. ඒ වෙනුවට ආණ්ඩුව ‘යහමඟට’ ගන්නලු ඕනෑ වුණේ. ආණ්ඩුව කඳවුරේ ඉන්න පිරිස් ආණ්ඩුව සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළ කරන නිසා, ඔවුන් තවදුරටත් තමන්ගේ කඳවුරේම (ආණ්ඩුව පැත්තේම) තියා ගන්නට තමන් පහුගියදා සංවිධානය කරපු රැස්වීම සංවිධානය කළ බව ඔහුගේ ප්‍රකාශයේ වැඩිදුරටත් තියෙනවා.

ඒකෙන් තහවුරු වෙන්නේ එම කණ්ඩායමේ ක්‍රියාකාරීත්වය ගැන මේ වෙද්දී එළියේ බහුතර ජනතාව කියන කතාව. හුදෙක් ආණ්ඩුවෙන් වෙනස් වූ දේශපාලනයකට නෙවෙයි, මේ ආණ්ඩුව එක්කම ඉස්සරහට කරන දේශපාලනයක් වෙනුවෙන් කියන එක. හරියටම කීවොත් ආණ්ඩුව ගැන එපා වෙච්ච, ආණ්ඩුවට කලින් ඡන්දය දීපු අයව අල්ලාගෙන, ඒ අයව අන්තිමේදී ආණ්ඩුව ඇතුළටම ගන්නට බව. නැතිව ආණ්ඩුවට එරෙහි අලුත් දේශපාලන කඳවුරක් හදන්නට නොවන බව.

ඔහු ඒ බව අමුවෙන්ම කියා තියෙනවා.

ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාකාරකම්වලට එරෙහිව ආණ්ඩුවට සහයෝගය දක්වන පක්ෂ 11ක් නිකුත් කරපු නිවේදනය ඉවත් කිරීමට හේතුව කියා අනුමාන කරන බව වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරලා.

ඇත්තටම බොහෝ අය අනුමාන කරන විදියට මේ කඳවුර ආණ්ඩුව පැත්තෙන් ඉවත්වෙලා වෙනම දේශපාලනයක් කරන්න තරම් ශක්තියක් නැතිව හිටියේ. ඔවුන්ට එළියේ තනි විශ්වසනීයත්වයකුත් නැති තරම්. ඒ අනුව යම් කඳවුරකට සහයෝගය දෙන එක විතරයි ඔවුන්ට කරන්න තිබුණේ. ඒ්ත්, මේ සියල්ල ග්‍රෑන්ඩ් ප්ලෑන් එකකට සිදුවෙන ඉතා සූක්ෂම නාට්‍යයක් නෙවෙයි. ඒ වෙනුවට මේ නාට්‍යයේ චරිත රඟපාන සමහර අය පවා එක එක අයගේ භූමිකාව හරියට දන්නේ නෑ. මේ වෙද්දී බැසිල්-ගෝඨාභය දෙන්නාම මේ විමල්-වාසු-උදය පෙරමුණ හැන්ඩ්ල් කරන්නේ දන්නේ නෑ. මහින්ද රාජපක්ෂ ඒකට දුර්වලයි. ඒකයි හැබෑ අර්බුදය.