ගැඹුරුම විග්‍රහය රත්තරන්ගෙන්! විමල්-උදය පොල්පිතිවලින් කපන්නත් පුළුවන්ලු!

ආණ්ඩුව අභ්‍යන්තරයේ දේශපාලන අර්බුදය ගැන පොහොට්ටුව පැත්තේ අය කියූ අපූරු දේවල් මේ දිනවල සාකච්ඡාවට ලක් වෙනවා. ඒ අතරින් ඉතාම ගැඹුරු සහ හරවත් විග්‍රහයක් කළේ රත්තරන් යන ‘සුරතල්’ නාමයෙන් හඳුන්වන රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා.

ඔහු ඒ කතාව කියන්න ඇත්තේ වාචාලකමට වෙන්න ඇති. ඒත්, ඒකට අපූරු ගැඹුරක් තියෙනවා.

ඒ තමයි විමල් වීරවංශ, උදය ගම්මන්පිළ වැනි නායකයන් පොල්පිත්තකින් වුණත් කපාගැනීමට පුළුවන් කියන කතාව. ඔහුගේ කතාවේ අපට වැදගත් උපුටාගැනීම මේකයි.

“දැන් මේ විමල් වීරවංශ බොරදියේ මාළු බාන්නෙ මොකටද ? ඊළඟ මැතිවරණයකදී කොයි පිලට ගිහිල්ලාද ඡන්දෙ ඉල්ලන්නෙ කියන එකට. ඔය උන්නැහැලාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමයි වේදිකා හදලා දුන්නෙ. ආණ්ඩුවත් එක්ක ඉන්න බැරිනම් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තියෙන්නෙ.විමල් ගම්මන්පිල වගේ නායකයෝ පොල්පිත්තෙන් කපාගන්න පුලුවන්. අපි මේ බලහත්කාරයෙන් ගැටගහගෙන, කිරි පොවපොවා තියාගන්න අපට වුවමනාවක් නෑ. මේගොල්ලොන්ට වැඩිය කාඩබෝඩ් වීරයෝ කොහෙවත් නෑ.

ඇත්තටම විමල්-ගම්මන්පිළ කියන්නේ කවුද? ඔවුන් තමයි පොදුජන පෙරමුණේ ‘චියර්ලීඩර්ස්ලා’. ඒ කඳවුරට ‘රට බේරාගැනීම’, ‘ජාතික ආරක්ෂාව තහවුරු කිරීම’, ‘ලී ක්වාන් යූ සහ මහතීර් මොහොමඩ් හයිබ්‍රිට් වෙච්ච සුපිරි නායකයෙක්’ හඳුන්වාදීම ආදිය වෙනුවෙන් ආකර්ෂණීය කතා පැවැත්වුවා. වැඩ සංවිධානය කළා. ප්‍රතිපත්තිමය කරුණු පෙළගැස්වුවා.

මේ කිසිවක් කරන්න රෝහිත අබේගුණවර්ධනලාට බෑ. නිකං ගැලරි කතා කියනවා මිසක, මිනිස්සුන්ගෙ හදවතේ ගින්දර අවුළුවලා කතිරය ගස්සවාගන්න තැනට තල්ලු වෙන ජාතියේ කතා කියන්න රෝහිතලාට බෑ. ඒ කතා පැවැතත්වුවේ විමල්ලා, ගම්මන්පිළලා.

එහෙම බැලුවාම ඇත්තටම පොල් පිත්තෙන් කපාගන්න පුළුවන් වෙන්න ඕනෑ රෝහිත අබේගුණවර්ධන වගේ අයනේ.

ඒත්, ඒක ඇත්තක් නෙවෙයි. ගම්මන්පිළ කියන්නේ උසස් අධ්‍යාපනයක් ලැබූ, උස්සපෙළින් ලංකාවේ පළවැනියා වූ ඇකඩමික් චරිතයක්. විමල් කියන්නේ ජේවීපීයේ තරුණ තරුණියන් විප්ලවකාරී හැඟීම්වලින් මුසපත් කරන අන්දමේ කතා පැවැත්වූ, දුක් විඳගෙන දේශපාලනය කරපු කෙනෙක්.

ඒ ඔක්කොම හරි. සුදුසුකම් තමයි. ඒත්! ඔය සුදුසුකම් තියෙන අයව මිලට ගැනීම, කඳවුරක ඉදිරිපෙළට දමාගැනීම මහලොකු අමාරුකමක් නෑ. විකුණන්න භාණ්ඩයක් (ජාතික ආරක්ෂාව වෙනුවෙන් විරුවා දිනවීම වගේ) තියෙනවා නං, මාකට් කරන්න චරිතයක් ඉන්නවා නං මැති ඇමතිකම් ඇතුළු පහසුකම් බලාපොරොත්තුවෙන් ඒ මාකට් කිරීම කරන්නට උගත්කං තියෙන, අධ්‍යාපන සහතික තියෙන, ඕනෑ නං විමල්ට තිබුණා වගේ වාමාංශික දේශපාලන හිස්‍ට්‍රියක් තියෙන අය හොයාගැනීම සාම්ප්‍රදායික දේශපාලුවන්ට අසීරු නෑ.

අන්න ඒ නිසයි ‘විමල්ලා පොල් පිත්තෙන් වුණත් කපන්න පුළුවන්’ කියන කියමන හරිම ඇත්තක් වෙන්නේ. ලංකාවේ බලය, ධනය හිමි දූෂිත පාලක පන්තිය තමන්ගෙ ඕනෑ සවුත්තු නායකයෙක්ව මාකට් කරන්නට ‘මවුත් පීස්’ වෙනුවට විමල්ලාව, ගම්මන්පිළලාව හැමදාම හොයාගනීවි.

අද විමල්ලා එළියට යද්දී ඔය දැනටමත් පොහොට්ටු පාර්ලිමේන්තු කණ්ඩායමේ ඉන්න වෙන ආචාර්යවරුන්, උගතුන්, විද්වතුන්, නීතිඥයන් කාවහරි ඉස්සරහට දමාගනීවි. මතක නැද්ද? චම්පික ගිය ගමන් ඒ අඩුව පුරවන්නට ගම්මන්පිළව ඉදිරියට ගත් හැටි.

විමල් වීරවංශලා අසූ ගණන්වල හැබෑවටම තමන්ගේ ජීවිත කැප කරගෙන දේශපාලනය කළාලු. රටට ආදරය කළාලු. ඒ කාලෙ විමල් එක්ක හිටපු අය කියනවා. ගම්මන්පිළ එක්ක එදා හිටපු අය වගේම අද ඉන්න අයත් ඔහුගේ යම්කිසි දීප්තිමත් ගුණාංග ගැන කතා කරනවා.

ඒත්, කොච්චර දීප්තිමත් මිනිස්සු වුණත් මේ ජරාජීර්ණ දේශපාලනයේ දියවෙලා යන්න වැඩි කාලයක් ගන්නෑ.. පරෙස්සම් නොවුණොත් තමන්ට නැවත හැරෙන්න බැරි තරම් දේශපාලන ගොහොරුවේ ගිලෙනවා. ඒ කඳවුරට ගියාට පස්සේ ඒ කඳවුර පිනවන්නට ඔවුන් කරපු, කියපු දේවල් සියල්ල තව තවත් ඒ අගාධයේ පතුලට ඔවුන්ව තල්ලු කරනවා.

ඇමතිකම් තියෙන්න ඇති, ඒ තනතුරුවලට අදාල සැප සම්පත් විඳින්න ඇති. ඒත් අද මිනිස්සු කීදෙනෙක් ඔවුන්ට ඉතාම නින්දිත විදියට බැණවදිනවාද?

එහෙම වුණා කියලා ඔවුන්ව නැවත සාම්ප්‍රදායික දේශපාලනඥයන්ට ඕනෑ වෙනවාද? නෑ! ඒ වගෙග් අයව පොල් පිත්තෙන් කපාගන්නත් පුලුවන් බව තමයි ඇත්තම කතාව.

ඉතින්! දේශපාලනයට එන යම්කිසි හෝ තර්ක බුද්ධියක්, කථික හැකියාවක්, අධ්‍යාපන පසුබිමක්, වෘත්තිය පසුබිමක් තියෙන හැමෝම ඕක තේරුම් ගන්න ඕනෑ.