හැමෝම එපා කියද්දී ජනවාරියේ බැඳුම්කර ගෙව්වේ වංචාවටද? ගියේ කාගේ සාක්කුවටද? – හර්ෂ ප්‍රශ්න කරයි

මෙරට ඉහළම පෙළේ ආර්ථික විශේෂඥයන් සියලුදෙනාම එපා කියද්දී ජනවාරි 18 වැනිදා ඩොලර් මිලියන 500ක ස්වෛරීත්ව බැඳුම්කර වාරිකයන් ගෙවන්නට ආණ්ඩුව කටයුතු කිරීමේ සිදුවීම ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ප්‍රශ්න කරලා.

මේ බැඳුම්කර ලංකාවේ ආණ්ඩුවෙන් නිකුත් කළ ඒවා. ඒවා මිලට ගත්ත අයට තමයි ගෙවීම කරන්නේ. හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ මේවා මිලට ගත්ත අයට වාරිකය ගෙවපු අවස්ථාවේ ගත්ත මිල වාගේ එකට එකක් ලාභ ලැබිච්ච බව. ඒ නිසා මේ ලාභ ලැබූ අය කවුද? ස්වෛරීත්ව බැඳුම්කර මිලට අරන් ඉන්න පුද්ගලයන් කවුද කියන ප්‍රශ්නවලට පිළිතුරු සපයන එක වැදගත්.

හර්ෂ ද සිල්වා මහතා මෙහෙම කියා තිබුණා.

“මේ ව්‍යසනය අස්සේ මහා හොරකමක් වෙනද කියල අපිට   සැකයි. අපි කිව්වා, ජනවාරි 18 වෙනිදා සෛවරීත්ව බැඳුම්කරය ගෙවපු කට්ටියගේ නම් ලයිස්තුව දෙන්න කියලා. ඒක තාම දුන්නෙ නෑ. මේ ස්වෛරීත්ව බැඳුම්කරයෙන් සමහරු සියයට සියයක ප්‍රතිලාභයක් ගත්තා. කවුද ඒ ප්‍රතිලාභ ගත්ත අය? මේ නිසා, මේ ආණ්ඩුව හැම ව්‍යසනයෙන්ම හොරකම් කරල තියනවද කියන ප්‍රශ්නෙ දැන් එළියට එනවා. එදා අපි කිව්වේ, ණය ගෙවීම පැහැර හරින්න කියල නෙවෙයි. ණය ප්‍රතිව්‍යුහගත කරගෙන තියන ඩොලර් ටික රටේ අවශ්‍යතාවය වෙනුවෙන් යොදවන්න කියල. නමුත්, ආණ්ඩුව එහෙම කළේ නෑ. කුඩා කණ්ඩායමකට ඩොලර් ටික ගෙවලා, අද මුළු රටම මහ පාරට ඇද දමා තිබෙනවා. මේ ව්‍යසනය අස්සේ දැවැන්ත ප්‍රතිලාභයක් ලබාගත් මේ කණ්ඩායම කවුද?“

“අද ඩීසල් නෑ. පෙට්රල් නෑ. විදුලිය නෑ. බෙහෙත් නෑ.  දැන් රට බංකොලොත් වෙලා ඉවරයි. දෙයියන්ගේ නාමයෙන් ඉතුරු ටිකත් කාබාසිනියා කරල දාන්න එපා කියල මම ආණ්ඩුවෙන් වැඳල ඉල්ලනවා.“