මනූෂ- හරීන් ජිනීවා ගියාට රන්ජන් නිදහස් කරන්න පුලුවන්ද?

රටේ සිදුවන හොරකම්, වංචා දූෂණ සම්බන්ධයෙන් කතා කරන්න ඇති අයිතිය ආරක්ෂා කරදීමේ අරමුණ ඇතිව, රන්ජන් රාමනායක හිටපු මන්ත‍්‍රීවරයාට නිදහස ලබාදෙන ලෙසට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීම් කරන බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර කියා තිබුණා.

ඒ ජිනීවාවලට පිටත් වෙන්නට සූදානමින් ගුවන් තොටුපොළේදී මාධ්‍යවලට අදහස් දක්වමින්.

ඇත්තටම ජිනීවාහි මානව හිමිකම් කොමිෂන් සභාවට යම් රටක අධිකරණයෙන් දඬුවම් දුන් කෙනෙකුට නිදහස ලබා දීමේ බලයක් නැහැ. එහෙත්, යම් කෙනෙකුගේ අදහස් ප්‍රකාශනයේ අයිතිය සීමා කිරීමක් ගැන පැමිණිලි කළාට පස්සේ ඒ ගැන වාර්තාවලට ඇතුළත් කිරීමත්, ජිනීවාහි සාකච්ඡාවට ගැනීමත් සිදු වේවි.

කෙසේ වෙතත් රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රීධුරය අහෝසි කළ විගස ක්ෂණයෙන් අලුත් මන්ත්‍රීවරයෙක්ට දිවුරුම් දෙන්න සැලැස්වූ සමගි ජන බලවේගයේ හැටියට හරීන් සහ මනූෂ දෙන්නා ගත් පියවරේ සංකේතාත්මක වටිනාකමක් තියෙනවා. සහෝදර මන්ත්‍රීවරයෙකු වෙනුවෙන් ගත හැකි උපරිම පියවර ගැනීම වැදගත් වේවි.

මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා මේ ගමන ගැන වැඩිදුරටත් මෙහෙම කියා තිබුණා.

‘රංජන් රාමනායක හිටපු මන්ත‍්‍රීතුමාට නිදහස ලබාදෙන්න කියලා ඉල්ලීම් කිරීමට අපිට ජාත්‍යන්තරයට යාමට සිදුව තිබෙනවා. අධිකරණයට අපහාස කිරීමේ වරදට නිශ්චිත දඩුවමක් නිශ්චිත නැහැ.

ඒ නිසා මාස 48ක දීර්ඝ දඩුවමක් ලබාදී තිබෙනවා. මේකට අභියාචනයක් ඉදිරිපත් කිරීමට ලංකාවේ තවත් ඉහළ අධිකරණයක් නෑ. රංජන් රාමනායක හිටපු මන්ත‍්‍රීවරයාට සහනයක් ලබාගත හැකි එකම අවස්ථාව වන ජනාධිපති සමාව ලබාගැනීම සදහා අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කර ඇතත් ඒ අවස්ථාවත් ලබාදී නැහැ.

රංජන් රාමනාක මැතිතුමාට ලබාදී ඇති දඩුවම අධිකරණයේ දඩුවමකට එහා ගිය දේශපාලන දඩුවමක්ද කියන කතිකාවත සමාජයේ මතුවී තිබෙනවා. මේ සම්බන්ධයෙන් යම් සහනයක් ලබාගැනීම සදහා තමයි හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීිිතුමාත් මමත් ජිනීවා බලා පිටත්ව යන්නේ.

පුද්ගලයෙක්ගේ මානව හිමිකම් කඩවූ විට යන්න තියෙන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය. එතැනට ගිහින් අපි මේ පිළිබද පැමිණිලි කරනවා. රටේ නිවැරදි විය යුතු තැන් ගැන කතා කළ රංජන් රාමනායකගේ කට වහලා තියෙනවා. දූෂණ වංචා, හොරකම් ගැන කතා කරන්න ඇති අයිතිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් තමයි රංජන් රාමනායකට නිදහස දෙන්න කියන ඉල්ලීම අරගෙන අපි ජිනීවා බලා යන්නේ.’

හරීන් ප්‍රනාන්දු මහතා මෙසේ කියා තිබුණා.

‘අපි අද දවසේදී රංජන් රාමනායක කියන අපේ සහෝදරයා වෙනුවෙන්, සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරු දෙන්නේක් කරුණු කියන්න යනවා. අපි රටට කිසිම බාධාවක් දාන්න නෙමෙයි යන්නේ.

රංජන් රාමනායක කියන්නේ එලියේ ඉන්න ඕනෑ අයෙක්. අපි යන්නේ රට පාවා දෙන්න නෙමයි. රංජන් රාමනායකට යුක්තිය ඉටු කරන්න තමයි අපි යන්නේ. හැමදාමත් අපි දෙන්නා යුක්තිය වෙනුවෙන් සටන් කරලා ගුටි කාපු දෙන්නෙක්. අපි මේකත් කරලා බලනවා.’

දැන් කාලය ගෙවී යන හැටියට රන්ජන් රාමනායක මහතාගේ සම්පූර්ණ දඬුවම් කාලය ඉවරවෙනතුරු ඔහුගේ නිදහස ගැන කල්පනා නොකර ඉන්න තරම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අසංවේදී වනු ඇති බව පෙනෙනවා. ඔහු කිසිම වරදක් කර ඇති බවක් මේ රටේ ජනතාව විශ්වාස කරන්නේත් නැහැ. රන්ජන්ගේ හෘදය සාක්ෂියටත් වරදකාරී හැඟීමක් දැනෙනවා ඇති.

දැන් කාලය ගෙවී යන හැටියට රන්ජන් රාමනායක මහතාගේ සම්පූර්ණ දඬුවම් කාලය ඉවරවෙනතුරු ඔහුගේ නිදහස ගැන කල්පනා නොකර ඉන්න තරම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අසංවේදී වනු ඇති බව පෙනෙනවා. ඔහු කිසිම වරදක් කර ඇති බවක් මේ රටේ ජනතාව විශ්වාස කරන්නේත් නැහැ. රන්ජන්ගේ හෘදය සාක්ෂියටත් වරදකාරී හැඟීමක් දැනෙනවා ඇති.

අප කිසිසේත්ම ජනාධිපති සමාව කියන සංකල්පයවත්, එයට අදාල නීතියවත් පිළිගන්නේ නැහැ. ඒ නිසා ජනාධිපති සමාව කියන සංකල්පය ගැන අපට තියෙන්නේ චකිතයක්. රන්ජන්ට සමාව ඉල්ලීම ගැනත් තියෙන්නේ ඉතා සංකිර්ණ අදහසක්. ඒත්, ඕනෑ සමාජයකට යම් නිශ්චිත වෙලාවක ‘වැරදි’ දෙයක් කිරීමෙන් නිවැරදි ප්‍රතිඵලයක් අත්වෙන බව එකඟතාවකට එන්න පුළුවන්. ජනාධිපති සමාව කියන ක්‍රමය වැරදි නමුත්, සමාව දීම වැරදි නමුත් අහවල් අවස්ථාවේදී පමණක් එය පාවිච්චි කරමු කියා එකඟ විය හැකියි.

රන්ජන්ට ජනාධිපති සමාව දීම එවැන්නක්.

කෙසේ වෙතත් අවුරුදු හතරක් වූ ඔහුගේ සිර දඬුවම හොඳ කල්කිරියාව මත ලබන අවුරුද්දේ මැද හරියේදී අවසන් වනු ඇති.