විදුලි අර්බුදය මඟහරවා ගැනීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක කියනවා.
එහෙත් ඇත්තටම පහුගිය සති ගාණක් තිස්සේ ආණ්ඩුවේ අභ්‍යන්තර සාකච්ඡාවලදී ‘ප්‍රශ්නය විසඳනවා. ප්‍රශ්නය කොහොමහරි විසඳන්න’ ආදී හිස් වචන ජනාධිපතිවරයා කීවාට ඇත්තටම ප්‍රශ්නය විසඳීම සඳහා ගෙන ඇති පියවර ඉතාම සීමිත බව තමයි ඇත්ත කතාව.
කොහොම නමුත් විදුලිබලය උත්පාදනය සඳහා ඉන්ධන ආනයනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පහසුකම් සැලසීමට භාණ්ඩාගාරය සහ මහ බැංකුව උපදෙස් දුන් බව ජනාධිපතිවරයා කීවාලු. අන්න දැක්කාද අවුල? විදුලිබලය උත්පාදනයට ඉන්ධන ගේන්න කියා භාණ්ඩාගාරයට උපදෙස් දුන්නාට මදි. මේ වෙද්දී ඒ ආයතන ඉන්නේත් සල්ලි නැතිව.
ආණ්ඩුවේ ඇමති කෙනෙක්ම කීව විදියට ‘ජනාධිපතිවරයා ප්‍රශ්නය විසඳන්න කීවාට විතරක් වැඩක් නැහැ. මොකෝ, ජනාධිපතිවරයා ඒ ටික නොකීව නිසා නෙවෙයිනේ මෙතෙක් ප්‍රශ්නය උග්‍ර වුණේ. ඇමතිවරුන් ජනාධිපතිවරයාගෙ වචනය ලැබෙනතුරු බලා හිටියා නෙවෙයිනේ. ප්‍රශ්නය විසඳන්න නම් වැඩේ කරන්න කියා උපදෙස් දුන්නාට මදි. ඉන් එහා ගිය පුළුල් යාන්ත්‍රණයක් ඕනෑ.’
කොහොම වුණත් මේ අස්සේ විදුලිය නිපදවීමට අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් ලබානොදෙන පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට මහජන උපයෝගිතා කොමිසම මේ වන විටත් තීරණය කරපු බව ජනක රතත්නායක මහතා මාර්තු 01 වැනිදා කියා තිබුණා.
ඇදි ඇදී යන අධිකරණ ක්‍රියාවලියකුත් ප්‍රශ්නයට විසඳුම විදියට පේන්නේ නැහැ. ඒ වෙනුවට එවැනි ක්‍රියාවලියක් ප්‍රශ්නය විසඳාගන්න හැටි ගැන වැලේ වැල් නැති, එකාට එකා නැති දුර්වල ආණ්ඩුවක ලක්ෂණ කියා පානවා.
කෙනෙක් කියාවි මහජන උපයෝගිතා කොමිසම ස්වාධීන එකක් කියා. ටෙක්නිකලි එහෙම වුණත්, ඇත්තටම ඒක එහෙම නෑ. ඒක දේශපාලනික පත්වීම් මත ක්‍රියාත්මක වෙන දේශපාලනික ආයතනයක්. ලංකාවේ ගොඩකක් ආයතන එහෙම තමා.
විදුලිබල ජනනය සදහා ඉන්ධන ආනයනයට ඩොලර් මිලියන 150 ක් විදුලිබල මණ්ඩලයට ලබාදෙන්නැයි මහජන උපයෝගිතා කොමිසම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සහ මහා භාණ්ඩාගාරයෙන් කළ ඉල්ලීමට තවමත් ප්‍රතිචාර නැති නිසාලු නඩුව දාන්නේ. ජනාධිපතිවරයා සල්ලි දෙන්න කියා උපදෙස් දුන්නත් ඒක සිද්ධ වෙන්නේ නැහැලු. ඒත් ඉතින්, ඔය ආයතනවල අය ඉන්නේත් දෙන්න සල්ලි නැතිව මුක පූට්ටු කරගෙන.