– මහාචාර්ය සසංක පෙරේරා, පීඨාධිපති, සමාජයීය විද්‍යා පීඨය, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය. නව දිල්ලිය
(2022 ජනවාරි 16 වන දින ‘සති අග අරුණ’ පුවත්පතේ මුල් පිටුවේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පිළිබඳ සාවද්‍ය තොරතුරු ගණනාවක් පලවී තිබුණි. ඒ සදහා මා විස්තරාත්මක ප්‍රතිචාරයක් දැක්වුව ද අද දින ඒ පුවත්පත එහි 19 වන පිටුවේ පළකර ඇත්තේ, මගේ ප්‍රතිචාරයේ බොහෝ කොටස් කපා දමන ලද කෙටුම්පතකි. පහත ඇත්තේ සම්පූර්ණ ප්‍රතිචාරයයි)
මා මේ ප්‍රතිචාරය ලියන්නේ, 2022 ජනවාරි 16 වන දින ‘සති අග අරුණ’ පුවත්පතේ මුල් පිටුවේ නිලන්ත මදුරාවල මහතා විසින් නවදිල්ලියේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලය පිළිබඳව, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග සූරීන්ගේ අදහස් උපුටා දක්වමින් පලකර තිබූ ‘සාර්ක් විශ්වවිද්‍යාලයට මුදල් දුන්නත් ලංකාවේ සිසුන්ට තැනක් නෑ’ යන මැයෙන් වූ ලිපියේ ඇතුලත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ය. සමාන්‍යයෙන් මා මෙවන් කටයුතු සඳහා කාලය මිඩංගු කරනේ නැත. එනමුත් එම ලිපියේ අඩංගු බෙහෙවින් සාවද්‍ය හා අසම්පූර්ණ කරුණු මගින් අපගේ විශ්වවිදයාලයට මෙන්ම එයට මූල්‍ය ප්‍රතිපාදන සපයන ශ්‍රී ලංකේය රජය ද ඇතුළු අන් රටවලට ද දැඩි අවැඩක් සිදුවන නිසා මේ කෙටි ප්‍රතිචාරය සපයන්නට තීරණය කලෙමි. මා මේ ප්‍රතිචාරය ලියන්නේ එම සරසවියේ සිටින ජ්‍යෙෂ්ඨතම මහාචාර්යවරයා වශයෙනුත්, එහි සමාරම්භක මහාචාර්යවරුන්ගෙන් එක් අයෙකු වශයෙනුත්, එහි හිටපු උප සභාපතිවරයා වශයෙනුත්, එහි වර්තමාන සමාජයීය විද්‍යා පීඨාධිපති වශයෙනුත් මා සතු දැනුම සහ අත්දැකීම් මත පිහිටාය.
ලිපියේ මුලින් ම සඳහන් වන්නේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලය ට සිසුන් ඇතුලත් කිරීම පිළිබඳ ඉන්දියාව හා ලංකාව අතර ගිවිසුමක් තිබෙන බවත්, ඒ ගිවිසුමට විශ්වවිද්‍යාලය ට ඇතුලත් කරගන්නා ලාංකේය සිසුන් සංඛ්‍යාව පිළිබඳ කිසිදු වගන්තියක් ඇතුලත් වී නොමැති බවත්ය. මෙවැනි ගිවිසුමක් මේ දෙරට අතර කිසිදා අත්සන් කර නැත. ඊට හේතුව මෙය ඉන්දීය හෝ ලාංකේය විශ්වවිද්‍යාලයක් නොවන නිසාය. මෙය මේ සියළු රටවලට එහි පරිපාලනය සම්බන්ධයෙන් සම අයිතියක් ඇති කලාපීය ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයකි. මෙවන් ද්වී-පාර්ශවීය ගිවිසුමක් වෙනුවට ඇත්තේ, 2005 දී බංගලිදේශයේ ඩකා නුවර පැවැත්වූ 13 වන සාක් සමුළුවේ දී ඇතිකරගත් එකඟතාවක් (මේ සමුළුවේදී ලංකාව නියෝජයනය කළේ එවක රාජ්‍ය නායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාය); දකුණු ආසියානු රටවල විදේශ ඇමතිවරුන් විසින් 2007 නව දිල්ලි නගරයේ පැවැත්වූ 14 වන සාක් සමුළුවේදී කලාපීය විදේශ ඇමතිවරුන් විසින් අත්සන් කළ ‘දකුණු ආසියානු විශ්වවිද්‍යාලය ස්ථාපනය කිරීමේ එකඟතාව’ (Agreement for Establishment of South Asian University/ලංකාව වෙනුවෙන් අත්සන් කළේ එකල විදේශ ඇමති රෝහිත බෝගොල්ලාගම මහතා විසිනි); ඉන්දීය පාර්ලිමේන්තුව විසින් විශ්වවිද්‍යාලය නව දිල්ලියේ ස්ථාපනය කිරීම සඳහා 2008 දී බලගැන්වූ ‘දකුණු ආසියානු විශ්වවිද්‍යාල පනත’ (South Asian University Act); දකුණු ආසියානු විශ්වවිද්‍යාලය වෙනුවෙන් එකල සාක් සංවිධායේ මහලේකම්, ආචාර්ය ශීල් කාන්ත් ශර්මා සහ ඉන්දියානු රජය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ශිව් ශංකර් මෙනන් මහතා සමග 2008 දී අත්සන් කළ ‘Headquarters Agreement’ යන නිල එකඟතාව සහ මේ සියළු රටවලින් පත්කළ නිලධාරී මණ්ඩලයක් විසින් එකඟ වූ විශ්වවිද්‍යාලයේ දෛනික කටයුතුවලට බලපාන නීතිරීති සමුදායකුත්ය. මේවා හුදු ගිවිසුම් නොවේ. මේවා රාජ්‍ය තාන්ත්‍රික එකඟතාවන් මත පදනම් වූ නෛතික ලේඛනය. මේවා
සමස්ථයක් ලෙස ගත් විට, සැම රටකින් ම වසරකට දකුණු ආසියානු විශ්වවිද්‍යාලයට ඇතුලත් කල හැකි සිසුන් සංඛ්‍යාව පිළිබඳ පැහැදිලි එකඟතාවක් විශ්වවිද්‍යාලය ආරම්භ කල 2010 වසරේ සිටම පවතී. ලංකාව සම්බන්ධයෙන් ගත් කළ, සැම වසරකම ඇතුලත් කරගන්නා සමස්ථ ‘එම්.ඒ’ පාඨමාලා සිසුන් සංඛ්‍යාවෙන් 4% ක් ලංකාවෙන් විය යුතු අතර සමස්ථ ‘පී.එච්.ඩී’ උපාධි පාඨමාලා සිසුන්ගෙන් 50% ක් ලංකාව ද ඇතුළුව ඉන්දියාව හැර අන් දකුණු ආසියාණු රටවලින් විය යුතුය. එනමුත් මේ බෙදීම කල හැකි වන්නේ අපගේ ඇතුලත්කිරීමේ විභාගයෙන් මූලික සුදුසුකම් ලබාගන්නට හැකිනම් පමණි. එය විශ්වවිද්‍යාලයේ ස්වාධීන ක්‍රියාවලියක් වන අතර එයට කිසිදු රටකට, ආයතනයකට හෝ පුද්ගලයෙකුට බලපෑම් කළ නොහැක. මේ එකගත්වයට පදනම සපයන්නේ, මා ඉහත දැක්වූ නිල, බහු පාර්ශ්වීය හා රාජ්‍ය තාන්ත්‍රික එකඟතාවන් ය. එමෙන්ම, අන් රටවලින් ඇතුලත් කර ගත යුතු සිසුන් යම් වසරක අඩු වී ඇත්නම්, එම අවස්ථා ලංකාව ද ඇතුළු අන් රටවල් වෙත පිරිනැමිය හැක. මෙසේ කළ අවස්ථා ද ඇත.
නමුත් අවාසනාවන්ත කාරණය වන්නේ, නොයෙකුත් හේතු මත වාර්ෂිකව විශ්වවිද්‍යාලයට අතුළුවන්නට ලංකාවෙන් ලැබෙන අයැදුම්පත් අඩු වීමත්, බොහෝ සිසුන් තෝරාගැනීමේ විභාගයෙන් අසමත් වීමත්ය. එමෙන්ම, විශ්විද්‍යාලය පිළිබඳ අවශ්‍ය තරම් තොරතුරු රට පුරා ප්‍රචලිත කිරීමට ලංකාවේ උසස් අධාපන අමාත්‍යාංශය හෝ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව මේ වන තුරු කිසිදු උනන්දුවක් දක්වා නැත.
මේ ලිපියේ ඇති දෙවන චෝදනාව වන්නේ, බඳවාගනු ලබන සිසුන් බඳවා ගන්නේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ අනුදැනුමකින් තොරව බවයි. මේ පිළිබඳව මට කිව හැක්කේ මෙපණකි: මෑතක දී අපගේ ඇතුලත් කිරීමේ විභාග අන්තර්ජාලය ඔස්සේ පැවත්වීමට තීරණය කරන තුරුම මේ විභාග පැවැත්වූයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභා පරිශ්‍රය තුළමය. ඒ ද ඒ සදහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව විසින්ම පත්කළ නිලධාරීන්ගේ අනුදැනුම ඇතිවය. මෙවන් කේන්ද්‍රීය සංවිධානාත්මක තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව සතුව නැත්නම්, එම ආයතනය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න මට සිතාගැන්ම පවා අපහසුය.
එනමුත් අන් සියළු ජාත්‍යන්තර විශ්වවිද්‍යාල මෙන්, මේ සියළුම විශයානුබද්ධ විභාග සම්පාදනය කරන්නේ අප විශ්වවිද්‍යාලයේ අදාළ අධ්‍යයනාංශ විසිනි. මේ විභාග සඳහා සුදුසුකම් ඇති ඕනෑම සිසුවෙක් ට ඍජුවම අයැදුම් කල හැක. ඒ සඳහා පුද්ගලික දැනහැඳුනුකම් හෝ දේශපාලකයින් ගේ ‘චිට්’ අවශ්‍ය නැත.
සභාපතිතුමාගේ තවත් විවේචනයක් වන්නේ, සිසුන් බඳවාගැනීම පිළිබඳ කිසුදු තොරතුරක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවට නොලැබෙන බවත් ඒවා යවන්නේ විදේශ අමාත්‍යාංශයට පමණක් බවත්ය. මෙය ද සාවද්‍ය වේ. විදේශ අමාත්‍යාංශයේ දකුණු අසියා කලාපය භාර නිලධාරියා මෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ සභාපතිවරයා ද නිල බලයෙන් ම දකුණු අසියානු විශ්වවිද්‍යාලයේ ප්‍රධානතම තීරණ ගැනීමේ මඩුල්ල වන ‘පාලන මණ්ඩලයේ’ (Governing Board) සාමාජිකයින් ය. මෙතරම් කේන්ද්‍රීය හා සරල කරුණක් පිළිබඳව සභාපති තුමා දැනුවත්ව නොසිටී නම් සහ එසේ ගත් තීරණවල වාර්තා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව සතු නොවේ නම්, එය අතශයින් ගැටළුකාරී තත්ත්වයක් පෙන්නුම් කරයි.
කෙසේ නමුත්, ලංකාවෙන් වාර්ෂිකව දකුණු ආසියානු විශ්වවිද්‍යාලය සඳහා වැයකරන මුදලට සාපේක්ෂව ඊට ඇතුලත් කරගන්නේ සිසුන් අතලොස්සක් පමණක් බවට සභාපතිතුමා ඉදිරිපත් කර ඇති චෝදනාව සමග මම ද එක හෙලා එකඟ වෙමි. එනමුත් එම ගැටළුව පදනම් ව ඇත්තේ විශ්විද්‍යාලය දැනට ක්‍රියාත්මක වන, ලංකාව ද ඇතුළු අන් රටවල නිලධාරීන් සහ දේශපාලන නායකයින් ද එකඟ වී ඇති නීති රීති මතය. ඒවා වෙනස්කර ගත හැක්කේ, සභාපතිතුමා ද සමාජිකයෙක් වන දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ පාලන මණ්ඩලය විසින් ගනු ලබන තීරණයක් මතය. ඒ පිළිබඳව මීළඟ පාලන මණ්ඩල සැසි වාරයේදී සාකච්ඡා කර, දීර්ඝකාලින තීරණයකට පැමිණෙන ලෙස එතුමාගෙන් ඉල්ලා සිටීමට මා කැමැත්තෙමි. ඒ වෙනුවට, කරුණු නිසි ලෙස සොයා බලන්නේ නැතිව, සාවද්‍ය සහ අසම්පුර්ණ තොරතුරු සිංහල පුවත්පතකට ඉදිරිපත් කිරීමෙන් කිසිදු ප්‍රයෝජයක් නැත. එයින් සිදු වන්නේ, දකුණු ආසියානු විශ්වවිද්‍යාලය ට ඇතුලත් වීමට කැමැත්තෙන් සිටින සිසුන් අතලොස්ස ද දුර්මුඛ කිරීම සහ අසාධාරණ ලෙස විශ්වවිද්‍යාලයේ කීර්තියට හානි කිරීමත් පමණි. තව ද දකුණු ආසියානු විශ්වවිද්‍යාලය රාජ්‍ය තාන්ත්‍රික අයිතිවාසිකම් සහිත ආයතනයක් නිසා, මෙවන් සාවද්‍ය තොරතුරු විසරණය කිරීමෙන් අනවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික ගැටළුවකට ද මුල්විය හැක. මක්නිසාද යත්, එවන් අදහස් ශ්‍රී ලංකා රජයේ අදහස් ලෙස තේරුම්ගැනීමට ඉඩ තිබෙන නිසාය.
නමුත් මෙයින් කියවෙන්නේ දකුණු ආසියානු විශ්වවිද්‍යාලය වෙත එල්ල කල හැකි සාදාරණ චෝදනා නැති බව හෝ එහි අනිවාර්යයෙන් ප්‍රතිසංවිධානය කළ යුතු අංශ නැති බව හෝ නොවේ. එනමුත්, මේ සියල්ල කළ හැකි වන්නේ, පුළුල් ව ක්‍රියාත්මක වන කලාපීය භූදේශපාලනික තත්ත්වය, විශ්වවිද්‍යාලයේ නෛතික හා රාජ්‍ය තාන්ත්‍රික පදනම සහ එහි ඉතිහාසය පිළිබඳ නිසි අවබෝධයක් ඇතිව පමණි. මේ කරුණු මත පිහිටා ප්‍රායෝගික යෝජනා දකුණු ආසියාණු විශ්වවිද්‍යාලය වෙත නිල මාර්ග ඔස්සේ යොමු කිරීමට සහ ඒවා ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාලයට බලකිරීමට සභාපති තුමා කැමති නම්, ලාංකේය රටවැසියෙක් ලෙස සහ දශකයකට වැඩි කාලයක් දකුණු ආසියාණු විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තරිකයෙකු ලෙස ක්‍රියාකරන මට නෛතිකව සහ ආචාරධර්මීයව දිය හැකි සැම උපකාරයක් ම දීමට මා කැමති බව පැවසීමට ද කැමැත්තෙමි. ඒ සදහා විද්‍යුත් තැපෑල ඔස්සේ ඕනෑම මොහොතක මා හා සම්බන්ධ විය හැක.

