විමුක්ති ආවොත් කරන්න ඕනෑ දේ ජීවන් කියයි! වෙල්ගම-චන්ද්‍රිකා පක්ෂයට ඔහුත් සෙට් වෙයි!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉල්ලා අස් වී මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වයට දැඩි විවේචනයක් එල්ල කළ හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග දිවයින පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් විමුක්ති කුමාරතුංග දේශපාලනයට පැමිණීම ගැන ඉඟි පළ කරලා.

ඔහු ඉදිරියේදී තමන් කුමාර වෙල්ගම මහතා නායකත්වය දරන, චන්ද්‍රිකා කුමාරතුංගගේ ආශිර්වාදය ලබන නව ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය කරන බව උක්ත සාකච්ඡාවේදී ප්‍රකාශ කරලා.

එහීදී මෙම පක්ෂය ‘විමුක්ති කරළියට ගෙන ඒමටද’ කියා විමසද්දී ඔහු කියා තිබෙන්නේ ‘විමුක්ති කියන්නේ එක නමක් විතරයි. විමුක්තිත් මේ වැඩපිළිවෙල පිළිඅරන් එන්න ඕන. මේ ජාතික වැඩපිළිවෙලට නායකත්වයට ඔහු සූදානම් නම් විමුක්තිටත් ඒ අවස්ථාව තියෙනව.’

මෙම ප්‍රකාශයෙන් කියන්නේ විමුක්ති එන බවද? නැත්නම් විමුක්ති එනවානම් මෙහෙම එන්න ඕනෑ බවද? මාධ්‍යවේදියාගේ ප්‍රශ්න කිරීම් හමුවේ උත්තරයක් නොදී බැරි නිසා එවැන්නක් කීවාද? යන කරුණු අපැහැදිලියි.

කෙසේ වෙතත් නව ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස ජීවන් කුමාරතුංග මහතා ඉදිරියේදී කටයුතු කිරීමට නියමිතයිලු. ‘අපි ඉදිරියේදී බොහොම පුළුල් දේශපාලන ගමනක් යන්න අවශ්‍ය පදනම සකස් කරගෙන අවසන්. අපේ බලාපොරොත්තුව පුද්ගලයෙක් කරලියට ගෙන ඒම නෙවෙයි. නිවැරදි වැඩපිළිවෙලක්.’ යනුවෙන් ඔහු එහිදී ප්‍රකාශ කරලා.

පුද්ගලයන් දිනවීම මිනිසුන්ට එපා වෙලා බවත්, වැඩපිළිවෙලක් දිනවන්න ඕනෑ බවත් ආදී වශයෙන් ඔහු අදහස් දක්වලා තියෙනවා. එහෙත් අන්තිමේ වැඩපිළිවෙලවල් දානවා කියලා ඒ වැඩපිළිවෙලට නායකත්වය දීම වෙනුවෙන් කියා විමුක්ති හෝ වෙනයම් චරිතයක් ඉදිරියට තල්ලු කරන්න උත්සාහ කරනවා නම්, ඒකත් අන්තිමේ පුද්ගලවාදයක් වේවි.

ඒවා කෙසේ වුණත්, මේ වෙද්දී නව ලංකා නිදහස් පක්ෂය වැනි එකකට යා හැකි උපරිමය වන්නේ ප්‍රධාන පක්ෂයක් එක්ක හෙට්ටු කරලා නාමයෝජනාවලට නම් කිහිපයක් දාගැනීම පමණයි. එසේ නොවන මහපොළොවේ දේශපාලනයක් කරනවා නම් එයට චන්ද්‍රිකා කුමාරතුංගගේ, කුමාර වෙල්ගමගේ හෝ ජීවන් කුමාරතුංගගේ දැක්මට එහා ගිය පුළුල් දැක්මක් ඕනෑ. ඒ වියපත් නායකයන්ගේ ශක්තියට එහා ගිය පුළුල් ශක්තියකුත් ඕනෑ.

නාමයෝජනාවලට ප්‍රධාන පක්ෂවලින් යම් කෙනෙක්ව එකතු කරන්නේ ඒ නම ලොකු එකක් නම්. ඉතින්, ජීවන් වාගේ තව ලොකු ලොකු නම් තියෙන පිරිසක් ප්‍රධාන පක්ෂවල (බොහෝ විට සමගි ජන බලවේගයේ) ලැයිස්තුවට දොරටු හැරගැනීමේ උපක්‍රමයක් විදියට මේ පක්ෂය පාවිච්චි කරනු ඇති බව තමයි දැන් තත්වයේ හැටියට අපට හැඟෙන දේ.