පොලුවලින් ගහන්න මට අවසර තියෙනවා! – ඇමති වීරසේකර ව්‍යවස්ථාවටත් උඩින් ඉඳන් කයිවාරු ගසයි!

තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් බැටන් පොලුවලින් පහරදීම සඳහා අවසර ඉල්ලුවේ නැති බවත්, ඒ සඳහා තමන්ට දැනටමත් අවසර තියෙන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර දිවයින පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කරලා.

ඇමතිවරයා කොහෙම කීවත් ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාව තුළ මිනිසුන්ට හිතුමතේ පහරදීමේ අයිතියක් කොහෙත්ම පොලීසියටවත්, ඇමතිවරයාටවත් නෑ.

‘මම ඒ ඉල්ලීම කළේ ජනතාව ගැන සිතලා. මම බැටන් පොලු ප්‍රහාර එල්ල කිරීමට අවසර ඉල්ලා සිටියේ නැහැ. ඒ සඳහා දැන් වුවත් අවසර තිබෙනවා.’ යනුවෙන් ඔහු එහිදී පවසා තියෙන්නේ සාකච්ඡාව මෙහෙයවූ මාධ්‍යවේදී එරික් ගාමිණී ජිනප්‍රිය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු විදියට.

මාධ්‍යවේදියා විමසා තිබුණේ වැඩවර්ජනවල නිරත වෙන පුද්ගලයන්ට එරෙහිව දැඩිව ක්‍රියා කළ යුතු බව ඇමතිවරයා ජනාධිපතිවරයාට යෝජනා කළ බවත්, ජනාධිපතිවරයා එය දැඩිව ප්‍රතික්ෂේප කළ බවත්, එහෙම දැඩි ක්‍රියාවන් කරන්න යෝජනා කළේ ඇයිද යන්නත්.

එහිදී ඔහු පිළිතුරු ලෙස කියා තිබුණේ ‘දැඩි පියවර ගන්න ඕනෑ’ බව තමන් ඉල්ලුවේ ‘රටේ මිනිසුන් ගැන හිතා’ බව. ජනාධිපතිවරයා විරුද්ධ වුණේ ‘කඳුළු ගෑස්’ යොදා ගැනීමට බවත් ඔහු කියා තිබුණා. ඒ අනුව ඔහු වක්‍රව පෙන්වා තිබුණේ කඳුළු ගෑස් නොගැහුවාට, ‘පොලුවලින් ගහන්න ඕනෑ වෙලාවක පුළුවන්’ යන්න.

එහිදී ඔහු මෝඩ වාක්‍යයක් කියා තිබුණා. ‘සමහරු වැඩ වර්ජන කිරීමේදී මාර්ග අවහිර වන සේ කටයුතු කරනවා.’ යනුවෙන්. වැඩ වර්ජන කියන්නේ යම් රැකියාවක යෙදෙන කණ්ඩායමක් ඒ රැකියාවට නොයා සිටීමක්. ඒක කරන්නේ පාරවල්වල ඉඳන් නෙවෙයි. පාරවල් හරස් වෙන්නේ ‘උද්ඝෝෂණවලදී’. ප්‍රජාතන්ත්‍රවාදය නොදන්න මේ හිටපු මිලිටරි නිලධාරියා ඒ දෙකේ වෙනසවත් දන්නේ නැහැ.

ඊට අමතරව අධිකරණයට අපහාසයක් වෙන ආකාරයේ ප්‍රකාශයකුත් ඔහු කර තිබුණේ මාර්ග අවහිර වන උද්ඝෝෂණවලදී ‘අධිකරණය කියනවා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා.’ යනුවෙන්.

නීතිය ක්‍රියාත්මක කිරීමත්, පොලුවලින් පහරදී මර්දනය කිරීමත් දෙකක්. මීට කලින් මහේස්ත්‍රාත් අධිකරණ ගණනාවක්ම සාමකාමී උද්ඝෝෂණ මර්දනයට ආණ්ඩුව ගත්ත උත්සාහයන්ට දැඩිව විරෝධය දක්වා තිබුණා. ඇතැම් උද්ඝෝෂණවල සිටි අයව අසාධාරණ විදියට අත්අඩංගුවට ගත්තාම ඒවාට අධිකරණය දෝෂාරෝපණයන් පවා කරලා තිබුණා.