හෙංචයියෙකුගෙ හිත ඌවා කළා කියා, 43 සේනාංකයේ සභාපති පළිගැනීම් කොමිසමට කැඳවයි!

43 සේනාංකයේ සභාපතිවරයා වගේම ජාතික හෙළ උරුමයේ හිටපු සභාපතිවරයා වන කරු පරණවිතාන මහතාව දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඉදිරියට කැඳවලාලු.

ඒ් 2015 ජනාධිපතිවරණයට කලින් ජාතික රූපවාහිනිය ඉදිරිපිට කරපු උද්ඝෝෂනයකදී ජාතික රූපවාහිනියේ හිටපු සභාපතිවරයාගේ හිත රිද්දුවා කියා, ඒ ගැන ප්‍රශ්න කරන්නට.

ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ‘අපරාධ’ යන වචනයට විහිළුකාර අර්ථයක් දෙමින් ෆේස්බුක් පෝස්ට් දැමූ අයව ගෙන්නන පසුබිමක ‘දේශපාලන පළිගැනීම්’ කියන වචනයටත් විහිළුකාර සහ උත්ප්‍රාසජනක අර්ථයක් සපයන වැඩම ආණ්ඩුව කරමින් ඉන්න බව මේ ක්‍රියාවෙන් පැහැදිලියි. ප්‍රතිවාදී දේශපාලන බලවේගයක නායකයෙක්ව මෙවැනි හේතුවක් දක්වමින් රස්තියාදු කිරීම දේශපාලන පළිගැනීම්වල ඊළඟ ලෙවල් එක.

ඒ වගේම රාජ්‍යයකට, ආණ්ඩුවකට පත් වෙන්න පුළුවන් බොළඳ, මෝඩ, විහිළුකාර සහ ගොංම තැන තමයි මේ.

මේ ගැන ෆේස්බුක් සටහනක් තැබූ 43 සේනාංකයේ ආචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය මහතා මෙසේ කියා තිබුණා.

’43 සේනාංකයේ සභාපති කරු පරණවිතාන මහතාව දේශපාලන පළිගැනීමි පිළිබඳ ජනාධිපති කොමිසම ඉදිරියට කැදවා ඇත.

ඒ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනාව වන්නේ 2015 ජනාධිපතිවරණ සමයේ ජාතික රූපවාහිනිය ඉදිරියේ උද්ඝෝෂණයක් කරමින් රාජ්‍ය නිලධාරියකු වූ එවක⁣ට එහි සභාපතිවරයාව සිටි විමල් රූබසිංහ මහතාට මානසික පීඩාවක් ගෙන දෙන පරිදි හැසිරීමය.

මේ කියන උද්ඝෝෂණය පැවැත්වූයේ, මැතිවරණ නීති කඩ කරමින් ජාතික රූපවාහිනිය කර ගෙන ගිය පක්ෂග්‍රාහී හැසිරීමට එරෙහිවය. ඒ මොහොතේ රාජ්‍ය මාධ්‍ය හැසිරීම ගැන අමුතුවෙන් කිව යුතු නැත. සිවිල් සංවිධාන ගණනාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වූ එයට හිටපු කතානායක කරු ජයසූරිය මහතාද සහභාගී විය. පරණවිතාන මහතාද එයට සහභාගී විය.

රූබසිංහට ඒ උද්ඝෝෂණය නිසා සිදු වූ මානසික පීඩාව කුමක්ද යන්න පුදුමයකි. ඒ මහතා සිටියේ ආයතනය ඇතුලේය. උද්ඝෝෂණය තිබුනේ පාරේය. රාජපක්ෂලාගේ, හඩ්සන්ලාගේ සහ රූබසිංහලාගේ වසුරු මාධ්‍ය භාවිතය නිසා ජනතාවගේ මනසට නම් බොහෝ පීඩා සිදු වූයේය.

දැන් සිටින රාජපක්ෂ නිසා මානසිකව පමණක් නොව කායිකවද ජනතාව සිටින්නේ අපමණ පීඩාවෙනි. මේ කරන්නේ ඒ පීඩාවන් ගැන කතා කරන සහ මේ මෝඩ හා අමනුස්ස පාලනය ගැන විවේචනය කරන අයට එරෙහිව මර්දනය දියත් කිරීමය. එදා රාජපක්ෂලා කළ දේට විපාක ලැබුනා සේම අද මේ නටන නාඩගම්වලටද විපාක ලැබෙනු ඇත.

මහත්වරුනි, හැලිය ඉඩ තිබේ. වතුර නටන තුරු තවත් වියරුවෙන් නටන්න.’