අපි මේ වීඩියෝවට ‘ගෝඨාභය අපි සූදානම්’ කියා සිරස්තලය දැම්මේ පසුගිය සතියේ ජීවිතයෙන් සමුගත් සුනිල් මාධව ප්‍රේමතිලක මහතාට උපහාරයක් විදියට. දවසක්දා ඔහුත් ‘ප්‍රේමදාස අපි සූදානම්’ කියලා පත්තර සිරස්තලයක් දැම්මා.
සිරස්තලයේ පසුබිම් කතාවයි, ඒක දාන්නට හේතු වූ කාරණායි ගැන අපි පේට්‍රියන් අඩවියේ වෙනම පොඩ්කකාස්ට් එකක් කරනවා. මේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් පේට්‍රියන් එකට සම්බන්ධ වුණොත් ඔබට ඒක අහන්න පුළුවන්.
කතාව මෙහෙමයි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මෑතකාලීන කතා ගැන විවේචන කරලාම අපට එපා වෙලා තියෙන්නේ. ඒත්, අන්තිමට ඔහු කරපු කතාව ඇත්තටම අපව බියෙන් කම්පනය කළා. බියෙන් සලිත වුණා. සෑහෙන කල්පනා කරන්න හේතු වුණා. ඔහුගේ කතාවලට උත්තර බඳින එක තිත්ත වෙලා තිබුණත්, අපි මේ කියන අපව බයෙන් ත්‍රස්ත කරපු ඔහුගේ ප්‍රකාශය ගැන කතා කරන්නම ඕනෑ.
විශේෂයෙන් ඔහු ප්‍රේමදාසලාගේ කාලවල මර්දනය තිබුණු පසුබිමක හමුදාවේ හිටපු නිලධාරියෙක් බව අමතක කරමිනුයි එදා රාජ්‍ය මර්දනය ගැන මතක් කළේ. අපි පොඩියි තමා. ඒත් අපි ඒ ඉතිහාසයත් කියවා තියෙනවා.
ඒ වගේම ඔහුගේ මේ ප්‍රකාශයෙන් පිට තව කතාවක් තියෙනවා. යුක්‍රේනයට පුටින් එල්ල කරපු ප්‍රහාරය ඔබ, අපි කවුරුත් නොසිතන විදියට ලංකාවට බලපානවා. අපි අනුමාන කරන විදියට ජීඑල් පීරිස් වැනි අය ඔය බලපෑම ගැන දන්නවා. ඒ බලපෑම නිසා අපේ රටේ මහපොළොවේ කතා කරන මිනිස්සුන්ට වෙනම ප්‍රශ්නයක් එන්න පුළුවන්.
පෙබරවාරි 26 වැනිදා තමන්ගේ කතාවෙදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බොහෝ දේ කීවා. ආර්ථික අර්බුදයට තමන් වගකියන්න ඕනෑ නැති බව. හිටපු ආණ්ඩු ගත්ත ණයයි, කොවිඩ් වසංගතයයි විතරක් නිසා අර්බුදය ඇති වූ බව කියමින් ඔහු කරන සුපුරුදු අඬෝවැඩියාවට උත්තර බඳින්න ඕනෑ නැහැ. ආර්ථික අර්බුදයේ තරම ඔහුට තේරෙන්නේත් නැතිව ඇති. කවුරුත් කියාදෙන්නේත් නැතිව ඇති. අපි මීට කලින්ම ඔහු අර්බුදය ගැන කියන කරුණුවල බොරු බව පෙන්වලා තියෙනවා.
‘මේ සියල්ලම, මගේ මූල්‍ය කළමණාකරණය නිසා නෙවෙයි සිද්ධවෙලා තියෙන්නේ. මෙවැනි අවස්ථාවක මම විශ්වාස කරනවා රජයත්, විපක්ෂයත්, ජනතාවත් එකට එක්වෙලා කටයුතු කළ යුතුයි කියලා. විපක්ෂය මුළු ලෝකෙටම බලපාන මෙවැනි අවස්ථාවකදී රට ගොඩනැගීම සඳහා වගකිවයුතුව වැඩ කළ යුතුයි. අප ගෙනියන අමාරු අවස්ථාවක වැඩවර්ජන වැනි අනවශ්‍ය ක්‍රියාවලට යෙදවීම, බොරු ප්‍රචාරය කිරීම, මේවා වගකියන විපක්ෂයක් කරන දේවල් නෙවෙයි. මේ බොරුවට රැවටෙන්නට එපා.’
යනුවෙන් ඔහු කීවා. ඒකට පොලිටිකල් සැටරිස්ට්ලා විදියට අපට මෙහෙම උත්තර දෙන්න පුළුවන්.
‘අනේ ස! අපට සමාවෙන්න. ඔබතුමා නෙවෙයි වැරැද්ද කළේ අපි. අපි තමයි මේ අර්බුදය හැදුවේ. ඔබතුමා අහිංසකයි. ඔබතුමාට කරන්න කිසිම දෙයක් තිබුණේ නෑ. මොකෝ, ඔබතුමාට මේ අර්බුදය කල් තියා දකින්න අවශ්‍ය ආයතන, අභ්‍යන්තර තොරතුරු ආදිය තිබුණායැ. ලක්ෂ ගණන් පඩිගන්න උපදේශක කණ්ඩායම් හිටියායැ. අර්බුදය කලින් දැකලා විසඳීමේ වගකීම, ඒ වගකීම ඉටු කරන්නට අදාල ආයතනවල බලය වගේම ඔබතුමා බලයට පත්වෙද්දී තිබුණාට වඩා අලුතින් නීති වෙනස් කරලා ගත්ත බලයක් තිබුණායැ. පිරිස් බලය තිබුණායැ. කිසිදෙයක් නැති ඔබතුමා මොකට වගකියන්නද? අපි තමයි වගකියන්න ඕනෑ.
සොරි!
අනෙක ලෝකෙටම බලපාපු මේ අර්බුදයක් මිස, අපට ණය දෙන්නත් තරම් ඔය බංග්ලාදේශය, ඉන්දියාව ආදී අල්ලපු රටවලට මේ කාලසීමාවෙ අතිරික්ත සල්ලි තියෙන එකක්යැ. අපි වගේම ලෝකෙ හැම රටක්ම පැය පහක් ලයිට් කපනවනෙ ඉතිං. හැම රටක්ම තෙල් නැතිව වාහන පාරෙ නතර කරගෙන ඉන්නවනෙ ඉතිං. ආයෙ මේක අපේ ප්‍රශ්නයක් විතරක්යැ.
ඒ නිසා සමාවෙන්න. අපි බොරු ප්‍රචාර කරන්නෑ.’
එහෙම කියලා ඉන්න පුළුවන්. මොකද, එතැනින් එහාට සීරියස් උත්තර ඕකට දීලා පලක් නෑ. ඇත්තටම කීවොත් ජනාධිපතිවරයාගේ ඔය කතාවට උත්තරේ දෙන්නේ ආණ්ඩුවේම ඉන්න උදය ගම්මන්පිළ ඇතුළු නායකයන්. ඔවුන් මාර්තු දෙවැනිදා වෙනම සම්මන්ත්‍රණයකුත් තියනවානෙ මේක කොවිඩ් නිසා ලෝකෙටම ආපු අර්බුදයක් නෙවෙයි, ලංකාව මුහුණදෙන අර්බුදයක් විත්තිය.
ඒත්… ජනාධිපතිවරයාගෙ කතාවෙන් අපි බියට පත් වූ කෑල්ල වෙන එකක්. ඇත්තටම ඔහුගේ අනෙක් කතාවල වාගේ වියරු ස්වරයක් නැති වුණාට, කියපු කරුණු ගැන අපි බියපත් වුණා.
‘අපි නිදහස ලබා දීලා තිබෙනවා සෑම කෙනෙකුටම. අවාසනාවකට මේ නිදහස බොහෝ දෙනෙක් වැරදි විදියට පාවිච්චි කරනවා. අපි දන්නවා අපි බොහෝ යුගයන් පහු කරගෙන ආපු ජාතියක්. බොහෝ වෙලාවට අද ජීවත්වෙන තරුණයන්, තරුණියන් මේ යුග ගැන අවබෝධයක් නෑ. ඒගොල්ලන් දැකලා නැහැ. ජයවර්ධන යුගය. ප්‍රේමදාස යුගය. එදා සරච්චන්ද්‍ර වැනි සාහිත්‍යධරයන්ට කාණුවලට දාලා ගහපු යුගයක් තියෙනවා. නඩුකාවරුන්ට ගල් ගහපු යුගයක් තිබෙනවා. මැතිවරණ සිතියම අකුලපු යුගයක් තිබුණා. ඒ ගැන අපේ තරුණයන්ට අවබෝධයක් නෑ. සමහර අයට අමතකයි.
ඒ වගේම මාධ්‍යවේදීන් මුහුදට ගිහින් අතෑරපු යුගයක් තිබුණා. ඒ වගේම විප්ලවවාදීන් කියලා මේ රටේ බස් ගිනිතියපු, කර්මාන්තශාලා ගිනිතියපු එවැනි යුගයක් තිබුණා.
හමුදාවේ, පොලීසියේ, සේවය කරපු අයගේ පවුල් මරා දාපු යුගයක් තිබුණා.
මෙවැනි යුග පහුකරලයි අපි මේ තත්වයට ඇවිල්ලා තියෙන්නේ.’
ඔහු හිතන විදියේ ප්‍රධාන කෑලි තුනක් තියෙනවා.
අංක එක ‘නිදහස දුන්නේ අපි.’ එහෙම නැත්නම් තමන් කියන හැඟීම. ඒක හරිම භයානකයි.
දෙවැනි කෑල්ල තමයි තමන් දුන්න ඒ නිදහස ‘වැරදියට පාවිච්චි කරනවා.’ කියන එක.
තුන්වැනි කෑල්ල ඉස්සර නං මෙහෙම දේවලුත් කළා කියන එක. ඒ කියන්නේ ඔහු පෙන්වන්නේ තමන්ට තියෙන ‘ඔප්ෂන් එක.’ ඒක ඊටත් එහා භයානකයි.
‘මාධ්‍යවේදීන් මරලා මුහුදේ ගිල්වපු කාලයකුත් තිබුණා.’ යනුවෙන් ඔහු කියද්දී, අපට ඉතාම දරුණු බියක් දැනෙන්නේ ඔය නිසා. ඇත්තටම ප්‍රගීත් එක්නැළිගොඩගේ සිරුර අතුරුදන් කරවන්නට, ඒක මුහුදේ ගිල්වූ බව ඉතාම ප්‍රකට විශ්වාසයක්.
ඔහු ඇත්තටම සිහිපත් කරන්නේ තමන් රටේ ආරක්ෂාව භාරව සිටියදී රටේ සිද්ධවෙච්ච අපරාධ ගැන නෙවෙයි. ඒ කියන්නේ ඇමෙරිකාවෙ සහ යුරෝපයේ ලොකු ෆාම්වල ඌරන්ව, හරකුන්ව මරන්න පාවිච්චි කරන දැක්කාමත් භය හිතෙන ජාතියේ ආයුධයකින් නළලට ඇණලා මහපාරක් මැද්දේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරපු එක ඔහු සිහිපත් නොකරන බව ඇත්ත.
එක්නැළිගොඩ අතුරුදන් කළ, ලසන්ත මැරූ, පෝද්දලට, නාමල්ට පහරදුන් කාලයේ ඔහු හමුදාව භාර කෙනා විදියටත්, කලින් කී මාධ්‍යවේදීන්ට දරුණු මර්දනයක් තිබුණු යූඇන්පී කාලයේ ඔහු හමුදාවේ ලොක්කෙක් විදියටත් රාජ්‍ය මර්දන යන්ත්‍රයේ සාඩම්බර කොටස්කාරයෙක්ව හිටියා. ඔහු අපි වගේ කොල්ලන්ට අතීතය අමතක ඇති කියා හිතුවාට ඒක හොඳට අපි කියවලා හෙම තියෙනවා. අපේත් අම්මලා තාත්තලා හිටියේ, අපෙත් මුල් තිබුණේ මේ මහපොළොවේ තමයි.
ඇත්තටම අපි හිතන්නේ ඔහු හිතාමතා ඒවා මතක් කරලා අපේ බිය අවුළුවන්න කතා කරපු බවක් අපි හිතන්නෙත් නෑ. ඔහුට තමන්ගේ කතාවක හැංගිච්ච යටිපෙළක් තුළින් පුරවැසියන් බියපත් කරන්නට තරම් බුද්ධියක් තියෙනවා කියලා අපි හිතන්නෙත් නෑ.
ඇත්තටම ඔහු උත්සාහ කරන්න ඇත්තේ ප්‍රේමදාස යුගය ගැන කතා කරලා සජිත්ලාට හෙම ඇටෑක් කරන්න වෙන්න ඇති. ඒ අතරේ විප්ලවය කියලා මිනීමැරූ බව මතක් කරමින් ජේවීපීයට ඇටෑක් කරන්න වෙන්න ඇති.
හැබැයි ඒ තුළින් අපට බයක් ඇති වුණා. මොකද, ඔහු කිසිවිටෙකත් මේ පුරවැසියන්ට ගරු නොකරන බවත්, පුරවැසියන්ගේ හිමිකාරීත්වය හිමි වහල් හිමියෙක් හෝ වලව්වක හාමු කෙනෙක් වාගේ කල්පනා කරන බවත් පැහැදිලියි. අර සිංහල ටෙලිනාට්‍යවල ඉන්න දුෂ්ඨ වලව් හාම්පුතා මතකද? ගමේ ඉන්න දුප්පත් ගෑණුන්ගේ පැල්පත්වලට කඩාවැදිලා ඒ ගැහැණුන්ව භාණ්ඩ විදියට පාවිච්චි කරන්නට අයිතියක් තියෙනවා කියලා හිතන දුෂ්ඨ හාම්පුතා?
ස්වාධීන අයිතීන් තියෙන, විශේෂයෙන් දැන් විඳින තත්වයේ පීඩාවන්ට මුහුණ දෙනකොට ඒකට විරුද්ධව කතා කරන්න අයිතිය තියෙන පිරිසක් විදියට ඔහු පුරවැසියන්ව දකින්නේ නෑ.
ගෙදර ඇති කරන ටොමියට අපි ඇඳට නගින්න ඉඩ දුන්නාම, ඉස්සරහ සාලෙ නිදහසේ ඇවිදින්නයි, සෝෆා එකට නගින්නයි ඉඩ දුන්නාම ටොමියා ඒ තැන ගඳගැස්සුවොත් අපි කියයි ටොමියො උඹට අපි මේ මේ නිදහස දුන්නා. මතක තියාගන්න, ඉස්සර බල්ලො කූඩුවල දාලා හිටියෙ කියලා.
ඉතින් අපට බය හිතෙනවා. විශේෂයෙන් ඒ බය එන්නේ අපි මේ දැන් කීවා වගේ ඉතා දරුණු කට කැඩිච්ච කතා කියමින්, වලව්වෙ හාමුට කේන්ති යන ජාතියේ කතා නිතර කියන නිසා.
මේකේ යුක්‍රේන් කතාව මොකක්ද? ඔබ දන්නවා ඇති මේ ආණ්ඩුව බලයට පත් වූ ගමන් ජිනීවාහි යෝජනාවෙන් ඉවත් වුණා. ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ගානියා බැරිස්ටර් කකියන කාන්තාවට වධ දෙමින්, චෝදනා එල්ල කරමින් තානාපති කාර්යාලෙ එක්කත් පැටලුණා. ඒත්, ආර්ථික අර්බුදය උග්‍ර වෙද්දී, මෙයාලා ඉවත් වෙච්ච යෝජනාවල තිබ්බ දේවල්ම ‘මෙන්න අපි ඒක කරනවා, මේක කරනවා, අතුරුදන්වූවන්ගෙ කාර්යාලෙ හොඳට කරගෙන යනවා, ත්‍රස්තවාදය වැළැක්විමේ පනත වෙනස් කරනවා, කොටි සැකකරුවන් විදියට හිටපු අයව නිදහස් කරනවා, ව්‍යවස්ථාවත් වෙනස් කරන්න ඉන්නෙ, මානව හිමිකම් රකිනවා’ ආදී වශයෙන් කියන්න ගත්තා. පුළුවන් තරම් ෂේප් ටෝක් න්‍යායෙන් ජිනීවාවල වැඩ කළේ.
මොකද, දැන් හෙටඅනිද්දා මිෂෙල් බැෂලේ මහත්මිය දාන යෝජනාවත්, ඒ ඇසුරෙන් ජිනිවාවල කරන සාකච්ඡාත්, ඊට පස්සේ සැප්තැම්බර්වල අලුතින් ලංකාව ගැන එන්නට ඉඩ තිබෙන යෝජනාවත් ගැන බියෙන්. සැප්තැම්බර්වල යෝජනාවක් ලංකාව ගැන දැම්මොත්, ඒකේ තියෙන්නේ ලංකාව මේවා ගැන හොයන්නේ නෑ. අවුරුදු දහයක් තිස්සේ හොයන්න කීවාට වැඩකුත් නෑ. ලංකාවේ මානව හිමිකම් අවුල්. ඒ නිසා ජාත්‍යන්තර පියවර ගන්නවා ආදී දේවල්.
ඒත් මතක තියාගන්න ඕනෑ වැදගත් කෑල්ලක් තියෙනවා. ජිනීවාවලට ලෝකෙ බටහිර රටවල් ආදියෙන් එන නියෝජිත කණ්ඩායම්වල ඉන්නෙත් යම් සුළු පිරිසක්. ඔවුන්ටත් අවධානය යොමු කරන්න පුළුවන් දේවල්වල සීමාවක් තියෙනවා.
ඉතින්! යුක්‍රේනයට රුසියාව පහර දීමෙන් ඇති වෙච්ච තත්වය හමුවේ මානව හිමිකම් කවුන්සිලයේ සෑහෙන අවධානයක් ඒ රටට යොමු වෙන්න ඉඩ තිබෙනවා. ලොකු සරණාගත ක්‍රයිසීස් එකක් එක්කයි ඒ අර්බුදය පැනනගින්නේ. දැනටමත් මියන්මාර් ප්‍රශ්න, චීනයේ උයිගර්වරුන්ගේ ප්‍රශ්න, ඇෆ්ගනිස්ථානයේ තාලිබාන්වරුන් නිසා ඇති වූ ප්‍රශ්න ආදී මෙකී නොකී මාතෘකා ඕකේ තියෙනවා. ඒ සියල්ල හමුවේ ලංකාවේ ප්‍රශ්නය ජිනීවාවලින් යට යන්න පුළුවන්.
එහෙම වුණොත්! ලංකාවට මේ රට ඇතුළේ පිස්සු කෙළින්න වැඩි අවස්ථාවක් ලැබෙනවා. දැනටමත් කීදෙනෙක්ව සීඅයිඩී ගෙන්නමින් වාත වෙනවාද? අපි වගේ අයව ගෙන්වන්නේ නැත්තේ අපි මාධ්‍ය සංවිධානවල ක්‍රියාකාරී නිසාත්, මාධ්‍යවේදීන් විදියට ආණ්ඩුවේ නායකයන් ඒක පවා අපි කතාබහ කරන, සම්බන්ධතා තියෙන යම් බලයක් තියෙන පිරිසක් නිසාත්.
ඒත්! ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කතාවෙන් පෙනුණේ, චාන්ස් එකක් ලැබුණ ගමන් ‘මාධ්‍යවේදීන්ව මුහුදේ ගිල්ලූ’ සොඳුරු අතීතයට යන්න ඔහු කිසිම බියක් නොදක්වන බව.
අනෙක් පැත්තෙන් බටහිර රටවල් කොච්චර උපයෝගීතාවාදීද? අවස්ථාවාදීද? බෙලහීනද? කියන ප්‍රශ්නවලට උත්තර ඇෆ්ගනිස්ථානයෙන්, මියන්මාරයෙන්, හොංකොංවලින් හා යුක්‍රේනයෙන් ආදී තැන්වලින් අපි හැමෝම දැක්කා. රටවල් ආක්‍රමණය කරද්දී, හමුදා කුමන්ත්‍රණ කරද්දී බටහිර ඔච්චර බෙලහීන නං රටවල් ඇතුළේ කතා කරන මිනිස්සුන්ගෙ කටවහල් වහද්දී කොච්චර බෙලහීන වේවිද?
මෙන්න මේ පණිවිඩය අපේ පාලකයන් කොහොම ගනීවිද කියන එක දරුණු ප්‍රශ්නයක්.
ඉතින්! මිනිස්සුන්ට ‘මමයි නිදහස දුන්නේ.’ දැන් ඒක ආපහු ගන්නවා කියලා ලොක්කන් හිතුවොත් අපට දරුණු අවදානමක් තියෙනවා. ඒ නිසා අපි දැඩි බියකට පත් වුණා උක්ත කතාවෙන්.
ඒ කතාව විතරක් නෙවෙයි, ෂෙහාන් මාලකව පැහැරගෙන යන්න ගත්ත උත්සාහයෙනුත් යම් සංකේතයක් ජනිත වුණා. එතකොට මින් ඉදිරියට සමහරවිට ලංකාවේ මර්දනයක් දරුණු විදියට ක්‍රියාත්මක විමේ අවදානමක් තියෙනවා. එහෙම වුණොත් අපට ඔප්ෂන් දෙකයි තියෙන්නේ. එක්කෝ කට වහගෙන ෂේප් න්‍යායෙන් ඉන්න එක. නැත්නම් නැතිවෙන්න දෙයක් නෑ කියලා හිතාගෙන සද්දය දාන එක.
බයෙන් යට හිත ගැහෙන නමුත්! එකිනෙකට වෙනස් වූ නමුත් එක වගේ ධෛර්යයක් තිබුණ සුනිල් මාධවලාත්, වික්ටර් අයිවන්ලාත් එදා ප්‍රේමදාසලාට එරෙහිව ගොනු කරගත්ත ශක්තිය අද ගොනු කර ගන්නවා.
ගෝඨාභය! අපි සූදානම්.