මුදල් ඇමති අප්‍රේල්වල අයිඑම්එෆ් යනවාලු! ආණ්ඩුවේ දැඩි ස්ථාවරයේ වෙනසක්

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අප්‍රේල් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හා ලෝක බැංකුවට යෑමට සූදානම්ලු. ඒ එම ආයතන වසන්ත කාලයේ පවත්වන සැසිවාරයට සහභාගී වීම සඳහා ඔහු වොෂිංටන් ඩීසී බලා යනවාලු.  

මේ වෙද්දී පවතින ආර්ථික අර්බුදයට ඉහත ආයතන දෙකෙන් සහයෝගය ලබා ගැනීම පිළිබඳ එහිදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවාලු.

සාකච්ඡා සාර්ථක වුවහොත් අයිඑම්එෆ් ආයතනය සමඟ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා සහයෝගය ලබාගැනීමේ වැඩසටහනක් (බේල්අවුට් පැකේජ් එකක්) සඳහා එකඟතා ඇති කරගැනීමට ඉඩ ලැබේවිලු. ඒ අනුව අයිඑම්එෆ් ආයතනයත් එක්ක මෙරට ඇතුළත මූල්‍ය වෙනස්කම් කරන්නත් එකඟතා ඇති කර ගන්න හැකි වේවි.

මෙම සංචාරය සිදු වන්නේ මාස ගණනක් තිස්සේ කැබිනට් මණ්ඩලය තුළ වගේම ඉන් පිටත පවා අයිඑම්එෆ් යෑම ගැන ඇති වූ දීර්ඝ වාද විවාදවලින් පස්සේ. ඩොලර් අර්බුදය අයිඑම්එෆ් නොගිහින් විසඳාගැනීමට රජය උපරිම උත්සාහ ගෙන තිබුණා.

කැබිනට් මණ්ඩලයේ සියලුදෙනාම පාහේ මේ වෙද්දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීමට පක්ෂයි. වාසුදේව නානායක්කාර ප්‍රමුඛ කිහිපදෙනෙකු පමණක් එයට විරුද්ධ මතයක සිටිනවා. ඊට අමතරව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ද එයට විරුද්ධ ස්ථාවරයක් දරනවා. ඔහු නිතර කියා තිබුණේ ආර්ථික අර්බුදය විසඳාගැනීමට අපට තනියෙන් පුළුවන් බව. ඔහු එහෙම කියන්නේ ජනතාවට දෙන්න පුළුවන් ඔක්කොම දුක් දුන්නත් ජනතාව කට පියාගෙන ඒවා ඉවසාගෙන ඉඳීවි, ඒ තුළින් වියදම් සීමා කරගෙන ඉස්සරහට යන්න පුලුවන් වේවි කියන විශ්වාසයෙන් වෙන්න ඇති.

පසුගිය සතියේ අයිඑම්එෆ් අධ්‍යක්ෂ මණ්ඩලය එම ආයතනයට පදනම් වූ ‘හතරවැනි වගන්තිය’ මත පදනම්ව ශ්‍රී ලංකාව පිළිබද වාර්තාව සාකච්ඡාවට ගන්න ඇති. ඔවුන්ගේ වාර්තාවේ අනිවාර්යයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ එයට විසඳුම් පිළිබඳ සඳහන් වෙන්නට ඇති.

මේ වෙද්දී අයිඑම්එෆ් ආයතනයේ විකල්ප අධ්‍යක්ෂවරයෙකු ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරන, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික විද්‍යා සමීක්ෂණ අධ්‍යක්ෂ චන්ද්‍රනාත් අමරසේකර මේ කියන වාර්තාවට අදාලව සාකච්ඡා පවත්වනු ඇති.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වගේම ලෝක බැංකුවේ ශ්‍රී ලංකා තානාපතිවරයා.