රටින් පිටවෙන යෝජනාවට යුක්‍රේන් ජනපති බෑ කියලා

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි යුක්රේනයෙන් බේරාගැනීමට එසේත් නැතිනම් ඉවත් කර ගැනීමට සුදානම් බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි.

තම රජය පාලනය කිරීම කියෙව් හැර වෙනත් ස්ථානයක සිට කළ හැකි බව ඇමෙරිකානු රජය පවසයි.

නමුත් ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ තමන් තම ජනතාව අත්නොහරින බවත් අන්තිම මොහොත තෙක් තම රටේ ජනතාවගේ නිදහස වෙනුවෙන් සටන් වදින බවයි.

කියෙව් අගනුවර මාධ්‍යයට ගමන් කරන මාර්ගයේ වෙඩිහුවමාරු සිදුවෙන බවත් තැනින් තැන පිපිරීම් සිදුවන බවත් යුක්රේන මාධ්‍ය වාර්තා කරයි.

යුක්රේන මාධ්‍ය වාර්තා කර සිටියේ යුක්රේන අගනගරයේ ජනාකීර්ණ ප්‍රදේශයට ළඟා වීමට රුසියානු හමුදාවලට ඇත්තේ තවත් කිලෝ මීටර 40 ක් පමණක් බවයි.එම ප්‍රදේශයේ යුක්රේන පාර්ලිමේන්තුව “වර්කොව්නා රාධා”ද පිහිටා තිබේ.

යුක්රේන මාධ්‍ය වාර්තා කළේ වැසිල්කිව් නගරයට රුසියානු පැරෂුට් භටයන් සාර්ථකව ගොඩබැස ඇති අතර එහි සිට යුක්රේන පාර්ලිමේන්තුව වන “වර්කොව්නා රාධා” වෙත ඇත්තේ කිලෝ මීටර් 38 ක් බවයි.

මේ අතර රුසියාවේ සන්නද්ධ හමුදාවන්ට එකතු වීමට චෙච්නියානු සටන්කාමීන් 12000 කැමැත්තෙන් සිටින බව චෙච්නියා ජනරජයේ නායක රම්සාන් කැඩිරොව් ප්‍රතිඥා දී ඇත.චෙච්නියානු සටන්කාමීන් මොස්කව් මැදිහත්වීමට සහාය දෙන බව චෙච්නියා ප්‍රධානියා ප්‍රකාශ කරයි.

සිකුරාදා,චෙච්නියා අගනුවර වන ග්‍රොස්නි හි මධ්‍යම චතුරශ්‍රයේ චෙච්නියා සටන්කාමීහු 12,000 ක් රැස් වූහ. ක්‍රෙම්ලිනයට සහය දැක්වීමට සහ එහි අරමුණුවලට ආධාර කිරීමට ඔවුන්ගේ සූදානම පෙන්වීමට සංවිධානය කරන ලද රැලිය ගැන කැඩිරොව් ‘චෙච්නියා සෙගොඩ්නියා’ පුවත් සේවය වෙත ප්‍රකාශයක් ලබා දී තිබුණි.“මේ අය අපේ රාජ්‍යයන් සහ අපේ ජනතාව ආරක්‍ෂා කර ගැනීම සඳහා ඕනෑම වේලාවක ඕනෑම විශේෂ මෙහෙයුමක් සඳහා පිටත්ව යාමට සූදානම්ව සිටින ස්වේච්ඡා සටන්කාමීන් ”යැයි නායක කදිරොව් සෙගොඩ්නියා පුවත් සේවයට පැවසීය,නමුත් “ප්‍රධාන අණ දෙන නිලධාරියා” පුටින් ගේ අණ ලැබෙන තුරු සටන්කාමීන් බලාසිටින බව කැඩිරොව් වැඩි දුරටත් පැවසීය.

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි රුසියාව සමඟ සටන් විරාමයක් සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව ඔහුගේ ප්‍රකාශකයා පැවසූ අතර කියෙව් ක්‍රෙම්ලිනය සමඟ සාකච්ඡා කළ හැකි ස්ථානයක් සහ දිනයක් ක්‍රෙම්ලිනය ලබාදෙන තුරු බලාපොරොත්තුවෙන් සිටින බව වැඩි දුරටත් පැවසීය. මුලදී සාකච්ඡාවලට එකඟ වීමෙන් පසු යුක්රේන නායකයා “අතුරුදහන් වූ” බව මොස්කව් මීට පෙර ප්‍රකාශ කළේය.

මීට පෙර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැවසුවේ යුක්රේන නායකයන් සමග සාකච්චා කරනවාට වඩා යුක්රේන හමුදා සමග සාකච්ඡා වඩාත් පහසු වෙනු ඇති බවත් යුක්රේන හමුදා රටේ පාලනය ලබා ගැනීම වඩාත් සුදුසු බවත්ය.

(ලංකාදීප කණ්ඩායම පරිවර්තනය කළ විදෙස් පුවතකි.)