ඩීසල් නැතිව නැව් 4ක් වරායේ? ලංකාදීප කියයි

තෙල් නැවි 4ක් පෙබරවාරි 25 වැනිදා පස්වරුව වන විට වරායේ තිබුණු බවත්, ඒවාට තෙල් සොයාගත යුතු බවත් ඉරිදා ලංකාදීප පුවත්පතේ දයාසීලි ලියනගේ වාර්තා කරලා තියෙනවා.

මේ නැව් 4 පසුගිය දිනෙක ඩොලර් මිලියන 35ක් ගෙවා නිදහස් කර ගත් නැවට අමතරව තවත් නැව් 4ක් බව එහි සඳහන්. ඒවා නිදහස් කර ගැනීමට ඩොලර් මිලියන සියයකට වඩා අවශ්‍යයිලු.

තවත් ලංකාදීප වාර්තාවක දැක්වුණ ආකාරයට ඩීසල් රැගත් නෞකා දෙකක් සහ දැවිතෙල් නෞකාවක්ලු ඔය විදියට එන්නට තිබුණේ. මේ සඳහා මුදල් සොයාගත යුතු බව ලංකා ඛනිජතෙල් සංස්ථාවේ ඉහළ නිලධාරියෙක් කීවාලු.

මේ වන විට ඉන්ධන හිඟය රට පුරා පැතිරී තිබෙන බවත් මාධ්‍ය වාර්තා කරලා.

ලංකාදීපයට යොහාන් භාසුර ලියූ සටහන පහතින්.

ඩීසල් රැගත් තවත් නෞකා දෙකක් සහ දැවිතෙල් නෞකාවක් අද (25) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් ඒ සඳහා ඩොලර් සොයාගත යුතුව ඇති බවත් ලංකා ඛන්ජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් අද (25) පස්වරුවේ පැවසීය.

පෙට්‍රල් මෙට්‍රික්ටොන් 38,400 ක් අඩංගුව තිබෙන පෙට්‍රල් නෞකාව නිදහස් කිරීමට ඩොලර් මිලියන 33 ක ණයවර ලිපියක් නිකුත් කළ යුතු බව බලශක්ති අමාත්‍යංශයේ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා මහත්මිය පැවසුවාය.

ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සාමාන්‍යාධිකාරී සමීන්ද්‍ර අබේසේකර මහතාගෙන් ඊයේ පස්වරුවේ කළ විමසුමකදී පැවසුවේ මීට දින තුනක් තිස්සේ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ඇති පෙට්‍රල් නෞකාව ඩොලර් ගෙවා නිදහස් කරගත්ත ද ඉන්ධන ගොඩ බෑමට නොහැකි බවයි.

ගොඩබෑමේ පර්යන්ත දෙක තුළ මේ වන විට නෞකා දෙකකින් ඩීසල් සහ පෙට්‍රල් බාමින් සිටින බව කී සමීන්ද්‍ර අබේසේකර මහතා අනෙක් පෙට්‍රල් නැව නිදහස් කරගත්ත ද එහි ඇති ඉන්ධන බෑම ආරම්භ කිරීමට දින කීපයක් ගතවනු ඇති බව ද සඳහන් කළේය.  

රට පුරාම අද (25) දිනයේ ද පිට පිටම සිවුවැනි දිනයටත් ඩීසල් හිඟය නිසා ජනතාව දැඩි අපහසුතාවට පත්වූහ.

බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ‘ඩීසල් නැත’ ලෙස පුවරු ප්‍රදර්ශනය කර තිබූ අතර බොහෝ ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් දැකිය හැකි විය.’