පුටින්ට ඇත්තටම ඕනෑ මොනාද? ඇමෙරිකාව හරිද? – යුක්‍රේන ආක්‍රමණයේ විස්තර සහිත කතාව

‘ඇමෙරිකාව බුලීස්ලාට විරුද්ධව නැගි සිටිනවා! ඇමෙරිකාව නිදහස් වෙනුවෙන් පෙනී සිටිනවා.’

ලෝක බුලිකාරයා වන ඇමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩන් එසේ කියා තිබුණා.

සමහරුන්ට දැන් පුටින් වීරයෙක්! තව සමහරුන්ට ඇමෙරිකාව වීරයෙක්.

ඒත් ඇත්තටම දැන් පුටින් තමයි දුෂ්ඨයා. ඒත් අමෙරිකාව වීරයෙකුත් නෙවෙයි.

ජෝ බයිඩන් බැංකු දෙකකට, රුසියාවේ ධනවත් හා බලවත් පුද්ගලයන් පිරිසකට සම්බාධක ඇතුළු සම්බාධක ගණනාවක් ප්‍රකාශයට පත් කළා. ඒත්, ඔහුට කළ හැකි තවත් බොහෝ දේවල් තියෙනවා. යුද්ධ නොකර සම්බාධක විදියට විතරක් වුණත්. තවම ඒවාට ගිහින් නැහැ.

එහෙත් මේ වෙද්දී ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ලෝකයම ඉන්නේ බියෙන් ත්‍රස්ත වෙලා. කිසිවක් කරකියාගත නොහැකිව. ඔවුන් සම්බාධක පැනවූ බව කීවා. ඒ හැරුණාම ජර්මනිය නෝඩ් ස්ට්‍රීම් පයිප් ලයින් එක කියන රුසියාවත්- ජර්මනියත් අතර ගෑස් යවන යටිබිම්ගත ගෑස් නළයේ ව්‍යාපෘතිය අතෑරලා තියෙනවා. බිස්නස් පැත්තෙන් රුසියාවට යම් පරාජයක්. ඒත් මහා දරුණු පරාජයකුත් නෙවෙයි.

ලුහාන්ස්ක්, ඩොනෙට්ස්ක් කියන රුසියාවට සමීප යුක්‍රේනයේ ප්‍රාන්ත දෙකේ මිනිසුන්ගෙන් සැලකිය යුතු පිරිසක් රුසියාවට සම්බන්ධ වෙන්න කැමැත්තක් එදා ඉඳන් දැක්වූ බව කියන්න ඕනෑ.

ඒ අරමුණ මත සංවිධානය වූ බෙදුම්වාදී ආයුධ සන්නද්ධ කල්ලි පවා හිටියා. ඒත් යුක්‍රේනයේ හමුදාව ඔය ප්‍රාන්තවලට බැහැලා, බෙදුම්වාදීන් එක්ක සටන් කරමින් හිටියේ.

ඒත් යුක්‍රේනයේ බහුතරය නෙවෙයි ඒ. පොඩි ප්‍රදේශයක්.

සමහරුන් හිතුවේ බොහෝ විට පුටින් ආක්‍රමණය කරන එකක් නැහැ. කළත්, අර ප්‍රදේශ දෙක විතරක් අල්ලාගනීවි කියා.

ඇත්තටම මුලින්ම ඒ ප්‍රදේශ විතරක් අල්ලා ගන්නා කතාවක් තමයි පුටින් පෙන්වුවේ. අන්තිමේ ඊට එහා ගිහින් මුළු යුක්‍රේනයේම තැනින් තැන ප්‍රදේශවලට ගැහුවා. අපි කතා කරන වෙලාවේත් ගහමින් ඉන්නවා. රටේ මැද හරියේ තියෙන අගනගරය වන කියිව්, කළු මුහුදේ වරායක් සහිත ඔඩෙසා ප්‍රදේශය සහ මරියුපොල් කියන දකුණේ රුසියා පාලනයට ආසන්න ප්‍රදේශවලටත් ප්‍රහාරය එල්ල වුණා.

ඒ කියන්නේ හිතුවාටත් වඩා දරුණ දෙයක් රුසියාව කළා. ඒත් සම්බාධක හැරුණාම බටහිර රටවල් පවා ඇත්තටම ගැටුමකට යන්න බයයි. ගැටුමට ගියොත් කොහෙන් කෙළවර වේවිද කියන එකත් අවිනිශ්චිතයි.

මේ සිදුවීම අර්ථකතනය කරන බොහෝ දෙනෙක් මේ සම්පූර්ණ කතාව මහා බලවතුන්ගේ අභිමා

නය, දේශපාලන බලය, රටවල්වල ස්වෛරීත්වය වගේ දේවල් එක්ක අර්ථකතනය කළා. වචන, සංකල්ප, දේශපාලන පක්ෂපාතීකම් එක්ක මේ ගැන විග්‍රහ කළා. ඒත්, ඇත්තටම මේ අර්බුදය මානුෂීය අර්බුදයක්. අද යුක්‍රේනයේ මිනිසුන්ගේ අර්බුදයක්. හෙට මේක වර්ධනය වුණොත් අපි වගේ රටවල්වලත් මිනිසුන්ට බලපාන අර්බුදයක්. ලෝකෙ ඕනෑ යුද්ධයක් එහෙම තමයි. ලංකාවේ උතුරේ තිබුණ යුද්ධය පවා. සිංහලයන් ඒ යුද්ධය තැකුවේ දකුණේ සැරෙන් සැරේ පිපිරූ බෝම්බ ඇසුරෙන් වුණත් ඇත්තටම ඒක උතුරේ මිනිසුන්ගේ ප්‍රශ්නයක් වුණා.

ඒ වගේම! අද, මේ වෙද්දී මුළු ජීවිත කාලයක් එකතු කරපු දේවල්, මහා අතීතයක් එකම එක සූට්කේස් එකකට ගොනු කරගන්න යුක්‍රේන ජාතිකයන් දඟලනවා. සමහරුන් බෝම්බ ප්‍රහාරවලින් හිස බේරාගන්න පොළොව යට දුම්රිය ස්ථානවලට සරණාගතයන් වාගේ එකතු වෙනවා.

යුක්‍රේනයේ අගනගරය වූ කියිව් නගරයේ මිලියන තුනක විතර ජනගහනයක් ඉන්නවා. මිනිස්සු එතැනින් බටහිර පැත්තේ තියෙන පෝලන්තයට පලා යන්න උත්සාහ කරද්දී, වාහන එක තැන නතර වූ දැවැන්ත ට්‍රැෆික් එකක් කියිව් සිට බටහිර දක්වා වූ මාවත්වල නිර්මාණය වෙලාලු.

ඒ අතරේ සිවිල් වැසියන් විශාල පිරිසක් ඝාතනය වූ බව වාර්තා වෙනවා. අප මේ වීඩියෝවේ ඒ ගණන් හිලව් නොකියන්නේ, මොහොතක් මොහොතක් පාසා ඒ ගණන් හිලව් කොච්චර ගණනකින් වර්ධනය වේදැයි අවිනිශ්චිත නිසා.

සිවිල් ජාතිකයන් ප්‍රහාරයෙන් තුවාල ලබා සිටින අයුරු දැක්වෙන ඡායාරූප අපව කම්පනයෙන් කම්පනයට පත් කළා.

යුක්‍රේනයේ මිනිස්සු දැකපු හීන සියල්ල අහවරයි. අනාගතයක් නෑ. කලින් සඳහන් කළා වාගේ අතීතය කියන්නේ හුදු සූට්කේස් එකක් විතරයි. කලබලයෙන් දුවන මාපියන්ගේ අතේ එල්ලුණ පුංචි දරුවන්ට කිසිවක් නොතේරුණාට, වැඩිහිටියන් දහ අතේ කල්පනා කරන්නේ මේ දරුවන්ට උරුම කරන ලෝකය මොකක්ද කියා වෙන්න ඇති.

මේ ප්‍රහාරයට හේතු ගොඩක්. ඒවා හරිම සංකීර්ණයි. කෙසේ වෙතත් යුද්ධය ප්‍රකාශයට පත් කරද්දී පුටින් කියා තිබුණා නාසිවාදයෙන් යුක්‍රේනය මුදාගන්න ආක්‍රමණය සිදුකරන බවකුත්. යුදෙව් ජාතික ජනාධිපතිවරණයෙක් සිටින යුක්‍රේනයට එරෙහිව එවැනි තර්ක නැගීම අමුතුයි තමයි.

මේක ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ ලොකුම යුද්ධය බව බොහෝ අය දකින්න ඇති. යුරෝපය තුළ සම්පූර්ණ රටකට පාබල සේනාවක් එක්ක ගිහින් එල්ල කරපු ලොකුම ආක්‍රමණය මේ. මේකත් එක්ක යුරෝපය පුරා පැතිරෙණ ටෙන්ෂන් එක කොහෙන් කෙළවර වේවිද දන්නේ නැහැ. සීතල යුද්ධ කාලයෙන් පස්සේ තවත් ලෝක යුද්ධයක් ඇති වීමේ අවදානම වැඩිම අවස්ථාව මේක.

පසුගිය වසර කිහිපයක් තිස්සේ බටහිර විතරක් නෙවෙයි, ලෝකයම එන්න එන්න ඩිප්‍රෙෂන් එකකට ගමන් කරමින් හිටියා. ප්‍රජාතන්ත්‍රවාදයන් විනාශ වුණා. වටිනාකම් බිඳවැටුණා. පිස්සන් නායකයන් වුණා. වසංගතයක් ආවා. ඒ සියල්ලේම ඊළඟ ලෙවල් එක තමයි පුටින්ගේ මේ ප්‍රහාරය.

ඇත්තටම මේ වගේ යුද්ධ ඇතිවෙන එකත්, ඒවා වර්ධනය වෙන එකත් නවත්වන්න ලෝකයේ රටවල් විසින් හදාගත් ආයතනයක් තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය. ඒ සංවිධානය තුළත් ආරක්ෂක කවුන්සිලය.

ඒත්! දැන් ආරක්ෂක කවුන්සිලයේ සභාපති රුසියාවමයි. ඒක නිකම් පිළිකා විරෝධී කැම්පේන් එකක් සිගරැට් සමාගමක ලොක්කෙක්ට බාර වෙලා වගේ වැඩක්!

මේ ආක්‍රමණයට කලින් බටහිර රටවල් එක්ක තිබුණ සාකච්ඡාවකදී පුටින් තමන්ගේ යෝජනාවලියක් ප්‍රකාශයට පත් කළා. නේටෝවේ වර්ධනය නතර වෙන්න ඕනෑ. අලුත් අය බඳවාගන්න ඕනෑ නැහැ, නේටෝවේ හමුදා නැගෙනහිර යුරෝපයෙන් අයින් කරන්න ඕනෑ. ඉස්සර සෝවියට් දේශයෙන්, ඇමෙරිකාව නැගෙනහිර යුරෝපයේ රටවල් ආරක්ෂා නොකළ යුතුයි ආදී යෝජනා එහි තිබුණා.

ඒ ඇසුරෙනුත්, පුටින් මෙතෙක් කරපු කියපු දේවල් ඇසුරෙනුත් ආක්‍රමණයේ සැබෑ මුල පැහැදිලියි.

ඉස්සර යුක්‍රේනය අයිති වුණේ සෝවියට් දේශය කියන රුසියාව මුල් වූ අති දැවැන්ත කොමියුනිස්ට් රාජ්‍යයට. ඒක ස්ටාලින් යටතේ දැවැන්ත ඒකාධිපති පාලනයක් බවටත් පත් වුණා. ලෝකෙම කොමියුනිස්ට් මතවාදය පතුරුවන එකත් ඔවුන්ගේ අරමුණක් වුණා.

ඒත්! ඊට ප්‍රතිවිරුද්ධව ඇමෙරිකාව සහ යුරෝපය ප්‍රමුඛව නේටෝව කියා එකක් හදාගත්තා. ඔවුන්ගේ අරමුණම වුණේ සෝවියට් දේශයට එරෙහිව පෙනී සිටීම. යම් සාමාජික රටකට සෝවියට් දේශයෙන් ප්‍රහාරයක් එල්ලවුණොත් එක්වෙලා සටන් කිරීම.

ඒත්, අන්තිමේ 1991 දී සෝවියට් දේශය කඩාවැටුණා. නේටෝව විතරක් තනි වුණා. නේටෝවට ලොකු අරමුණත් නොතිබුණත් ඒක විසුරුවලා දැම්මේ නෑ. ඒ වෙනුවට උං තමන්ගේ බලයත් එක්ක මැදපෙරදිගයි, ඇෆ්ගනිස්ථානෙයි, අතනයි මෙතනයි අලුත් සටන් එක්ක ලෝකෙට තග දාගෙන හිටියා.

ඔය අතරේ නේටෝවට අලුත් රවටල් බඳවාගනිද්දී, ඉස්සර හතුරු පිළේ හෙවත් සෝවියට් දේශයේ තිබුණ රටවල් පවා අල්ලගත්තා.

සෝවියට් දේශය කඩාවැටිච්ච 1991 දී තරුණ ඔත්තුකාරයෙක් වෙච්ච පුටින්ට සෝවියට් දේශය කඩාවැටීම දිරෙව්වෙත් නෑ. ඔහුගේ ඔළුවේ නේටෝ විරෝධය නතර වුණෙත් නෑ.

‘සෝවියට් දේශයේ කඩාවරටීම 20 වැනි සියවසේ ලොකුම කඩා වැටීම.’ යනුවෙන් 2006 දී ඔහු කියා තිබුණා. මේ කීවේ ලෝක යුද්ධ දෙකක් තිබුණ සියවස ගැන. ඒත්, තමන්ගේ මහා දේශය කඩාවැටීම ඔහුට ලොකු ආත්මීය අර්බුදයක් වූ බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

ඉස්සර සෝවියට් දේශයේ කොටස් නේටෝවට එකතු වෙන්න ගනිද්දී, ඒ කියන්නේ හතුරු කඳවුරට යද්දී පුටින් ඒක නොඉවසන එක අමුතුවෙන් විස්තර දෙයක් නෑ.

මොකද, තවමත් පුටින්ගෙ ඔළුවෙ පරණ බෙදීම, පරණ යුද්ධය වැඩකරන බව පේනවා. ඒ කියන්නේ සිතල යුද්ධයේ හෙවණැලි අදටත් පණපිටින්.

තව පැත්තක් තියෙනවා. අනෙක් රටවල්වලටත් වඩා පුටින්ට යුක්‍රේනය විශේෂයි.

සෝවියට් දේශයෙන් මොනවා කැඩී වෙන්වුණත්, යුක්‍රේනය වෙන් වීම තරම් හිත් රිදීමක් නැතිව ඇති. යුක්‍රේනය සතුව මහා පරිමාණ සම්පත් ප්‍රමාණයක් තිබුණා. යුක්‍රේනය යුරෝපා සංගමයට සහ නේටෝවට සම්බන්ධ වීමටත් වඩා, යුක්‍රේනය ප්‍රජාතන්ත්‍රවාදී රටක් වීම පුටින්ට තර්ජනයක් වෙන්න ඇති.

අනෙක් පැත්තෙන් යුක්‍රේන සංස්කෘතිය සහ රුසියානු සංස්කෘතිය එකිනෙකට බැදී තිබුණා. අතිශයින් සමාන වුණා. ඒ කියන්නේ ඉන්දියාවේ ප්‍රාන්ත අතර බැදීම වගේ. භාෂා වෙනස්. ඒත් විශ්වාස පද්ධතීන්, හර පද්ධතීන්, පෙනුම ආදී බොහෝ දේ එකයි. රුසියානු මහා සංස්කෘතිය ඇරඹුණේත් යුක්‍රේනයෙන් බව කියැවුණා.

දැන් ආක්‍රමණය කරද්දී පුටින්ගේ එක ප්‍රධාන තර්කයක් තමයි යුක්‍රේනය තනි රටක් වෙන එක කිසි තේරුමක් නැති කතාවක් විත්තිය. ඒ කියන්නෙ ඔහු යුක්‍රේනය රටක් විදියට පිළිගන්නෙ නෑ. ඒක රුසියාවේ කෑල්ලක් වගේ බව ඔහු තර්ක කරනවා.

තවත් අවස්ථථාවක ඔහු යුක්‍රේනය තනි රටක්ව, ස්වාධීනව තිබෙන්න හැරියත් ඒක රුසියාවත් එක්ක සහෝදරත්වයෙන්, විවෘතව ඉන්න ඕනෑ බව ඔහු තර්ක කරනවා.

උදාහරණ ඇසුරෙන් කීවොත් ඒක එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය හා අයර්ලන්තය වගේ. ඇමෙරිකාවයි කැනඩාවයි වගේ. ඔස්ට්‍රියාවයි ජර්මනියයි වගේ. ඕස්ට්‍රේලියාවයි නවසීලන්තයයි වගේ.  ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි වගේ.

එකිනෙකා ආසන්නයේ තියෙන රටවල්. ඔය උදාහරණ අතර අයර්ලන්තය පොඩ්ඩක් දරුණු විදියට එංගලන්තෙ එක්ක ගැටුණ බව ඇත්ත. ඒත්, පොදුවේ ගත්තාම ඔය රටවල් එකට බැඳිලා සහෝදර පදනමෙන් පැවතුණා.

ඉතින් පුටින්ටත් ඕනෑ වුණේ ඒ වගේ ලස්සන සම්බන්ධයක් යුක්‍රේනය එක්ක පවත්වාගන්න. එකිනෙක රටවල් දෙකේ එක වාගේ දේශපාලනයක්, සංස්කෘතියක්, සම්බන්ධයක් පවතිනවා දකින්න. ඒත්, යුක්‍රේනය ප්‍රතිවාදී කඳවුරට ළං වීම පුටින්ගේ මේ ක්‍රියාව සඳහා මුල වුණා.

අපි පුටින් කරපු දේ නිවැරදියි කියලා තර්ක කරන්නේ නෑ. එහෙත් ඕක තමයි ඔහුගේ ඔලුවේ වැඩ කරන චින්තනය.

ඔහුගේ දේශපාලනයේ හැටි ඒ. අපි මතක තියාගන්න ඕනෑ අපි චීනෙට ළංවෙද්දී එහා පැත්තේ ඉන්න ඉන්දියාවටත් දැනෙන්නේ ඔය වගේම තමයි. රටවල් අතර සහෝදරත්වයක්, ගැඹුරු සංස්කෘතික බැඳීමක් තියෙනවා.

ඇත්තටම මේ වගේ බලය මුල් කරගෙන රටවල් ගැන හිතන එකම මහ නින්දිත වැඩක්. පුටින්ගේ භාවිතයත් එච්චර තමයි. අනෙක් පැත්තෙන් නේටෝව මෑත අවුරුදු ගාණක් තිස්සේ හැසිරෙච්ච විදියත් නිවැරදි නෑ. කවුරුහරි මුලින් තමන්ගේ බලහත්කාරී වැඩ නවත්වාගන්න ඕනෑ. සාමයෙන් පිරුණ ලෝකයක් දක්වා පා තබන්න ඕනෑ. හැබැයි ඇමෙරිකාව නම් ඒක කරන්නේ නෑ. නේටෝව ඒක කරන්නේ නෑ. ඇෆ්ගනිස්ථානයේ ඇතුළු බොහෝ තැන්වල ඇමෙරිකන් සහ නේටෝ හැසිරීම් නිසා කවදාවත් පුටින්ගේ අරමුණ පරාජය කරන්නට ඔවුන් තමන්ගේ රාජකාරිය කරලා නැති බව පැහැදිලිව කියන්න පුළුවන්.

විශේෂයෙන් රුසියානුවන්ට මේ ආක්‍රමණය ඕනෑ කියලා හිතන්න අමාරුයි. ඕනෑ අයත් ඇති. ඒත්, ඒකට විරුද්ධව පාරට බැහැලා උද්ඝෝෂණ කරපු අයත් හිටියා. උද්ඝෝෂණ තහනම් වූ රුසියාවේ නිර්භීතව පාරට බහින්නේ, මේ ක්‍රියාවන්ගේ නරක බව ඔවුනුත් දන්න නිසා විය හැකියි.

මේ කැම්පේන් එක 2014 දීයී පුටින් පටන් ගත්තේ. ඒ යුක්‍රේනයේ ‘ක්‍රයිමියාව’ කියන කොටස ආක්‍රමණය කරලා අල්ලාගැනීමෙන්. එතැන් පටන් අවුරුදු අටක් තිස්සේ මේ ආක්‍රමණය ගැන සැකය තිබුණා. එක්තරා මාධ්‍යවේදිනියක් අල්ජසීරා වෙත කියා තිබුණේ, අවුරුදු අටක් තිස්සේ මේ ආක්‍රමණය ගැන බියෙන් ජීවත්වෙලා එපා වෙලා බව. ඊට පස්සේ මෑත මාස කිහිපයක් තිස්සේ ලක්ෂ 2කට ආසන්න සෙබළුන් පිරිසක් දේශසීමාවට යවමින් ආක්‍රමණයට ලැස්ති වෙමින් හිටියා. මීට කලින් අදහස් දැක්වීම්වලදී යුක්‍රේනය ස්වාධීන රටක් විදියට පිළිගැනීම ඔහු ප්‍රතික්ෂේප කළා.

මේක දරුණු යුද්ධයක් දක්වා ඇවිලුණොත්, ඇත්තටම අපට හිත හදාගන්න වෙනවා, මනුෂ්‍ය වර්ගයාට අයිතියක් නෑ මේ ලෝකයේ පවතින්න කියා.

මොන ලබ්බක්ද? ලෝකෙ පුරා අපි වගේ සුළුතරයක් යුද්ධෙට විරුද්ධව කතා කරනවා. මනුෂ්‍යයන්ගේ පැත්තෙන් මේක දකිනවා.

ඒත්, ලෝකෙ පුරා හැම තැනම තම තමන්ගේ ජාතිවාදයන්, ආධිපත්‍යයන්, පිරිමිකම, ප්‍රදේශ පුරා පැතිරිච්ච තමන්ගේ ආධිපත්‍යය පෙන්වීමේ උත්සාහයන් එක්ක ජීවිත සිය ගණන් විනාශ කරනවා.