හරින් සහ මනූෂට එරෙහිව පොලිස්පතිවරයාට පැමිණිලි – කතානායක.. ඕනෑම පරීක්ෂණයකට සුදානම්- හරීන්

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් පොලිස් නිලධාරීන්ට තර්ජනය කරමින් සහ බාධා කරමින් සැකකටයුතු පාර්සලයක් පාර්ලිමේන්තු සංකීර්ණයට  ගෙන ඒම සම්බන්ධයෙන් තමා පොලිස්පතිවරයාට පැමිණිල්ලක් සිදු කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේදී පෙබරවාරි 25 වන දින පවසා තිබුණි.

අදාල පොලිස් පරීක්ෂණයෙන් අනතුරුව තමා අදාල මන්ත්‍රිවරුන්ට එරෙහිව සුදුසු ක්‍රියා මාර්ගයක් ගන්නා බවත් එම තීරණය මැති සබයට දැනුම් දෙන බවත් කතානායකවරයා පවසා තිබුණි.

කතානායකවරයා මෙසේ  පවසා තිබුණේ සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරුන් පිරිසක් පෙබරවාරි 24 දින පාර්ලිමේන්තු සභා ගර්භය තුළට විදුලිපන්දම් (ටෝච්) රැගෙන විත් ඒවා දල්වමින් සිදු කර තිබුණු විරෝධතාවක් පදනම් කර ගනිමින් පාර්ලිමේන්තුවේදී පෙබරවාරි 25 වන දින ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර සංවාදයක් ඇතිවූ අවස්ථාවේදීය.

පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන්  ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට තමා සූදානම් යැයි  සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී පෙබරවාරි 25 වන දින පවසා තිබුණි.

සැකකටයුතු පාර්සලයක් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් පාර්ලිමේන්තු සංකීර්ණයට  රැගෙන එන ලදැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේදී කළ චෝදනාවට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා පවසා සිටියේ තමන් පාර්ලිමෙන්තුවට රැගෙන ආවේ තමාගේ බෑගය සහ  කුඩා විදුලි පන්දමක් පමණක් බවය.

තමාගේ බෑගය භාණ්ඩ පරීක්ෂා කිරීමේ යන්ත්‍රය මගින් පරීක්ෂාවට ලක් කෙරුණු  බවත්  භයානක කිසිවක් තමා පාර්ලිමේන්තුවට රැගෙන  නොපැමිණි බවත් තමන් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා නොකළ බවද ඔහු පවසා තිබුණි.