කෙහෙළියගේ ගෙදර ලයිට් බිල එක්කෝටි විසිලක්ෂයක්! විදුලිය කපනවා වෙනුවට, ආයාචනා කර ලිපියක්!

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල නිවසේ විදුලි පරිභෝජනය වෙනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට අයවිය යුතු මුලු මුදල රුපියල් 12,056,803.38 ක් බව වාර්තා වේ.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා පදිංචි නො 400/53, සරණ පාර (ඕෆ් බුලර්ස් රෝඩ්) දරණ නිල නිවසේ විදුලි ගිණුම් අංක 0794072623 යටතේ පරිභෝජනය කරන ලද විදුලි පරිභෝජනයට අදාල විදුලි බිල්පත යොමු කර ඇත. ඒ 2015 පෙබරවාරි මස සිට 2021 දෙසැම්බර් දක්වා කාලයටය.

කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවසේ විදුලි පරිභෝජනය සම්බන්ධයෙන් 2021 දෙසැම්බර් 21 දින ක්ෂේත්‍ර සමීක්ෂණයක් සිදු කර ඇති අතර එදින කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිඳට අදාල නිලධාරීන් මේ පිළිබඳව දැනුම් දී ඇත.

ඉන්පසුව 2022 ජනවාරි 11 වැනි දින ලංකා විදුලිබල මණ්ඩලයේ කොළඹ නගරය භාර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී හේමන්ත රණසිංහ මහතාගේ අත්සන සහිතව කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත ලිපියක් යවමින් පවසා ඇත්තේ කඩිනමින් අදාල හිග මුදල් ගෙවා ගිණුම් නිරවුල් කරගන්නා ලෙසය.

එමෙන්ම , අදාළ විදුලි ගිණුම අමාත්‍යවරයාගේ නමට වෙනස් කර ගැනීම සඳහා විදුලි බල මණ්ඩලය විසින් ලිපිය සමග ලබා දී ඇති ගිවිසුම්පත හා ආපහු ගෙනව ලද ආරක්ෂිත ඇප තැන්පත් මුදල ලෙස රුපියල් 10,000.00 ක් ගෙවන මෙන්ද දන්වා ඇත.

අප මේ පිළිබඳ වාර්තා කරන දිනට පෙර දින කිහිපයකට පෙර කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධානියෙකුට දූරකථනයෙන් කතා කර, තමන් අදාල හිඟ විදුලි බිල්පත් ඉක්මනින් ගෙවා දමන්නට කටයුතු කරන බවට පොරොන්දු වී ඇත.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා තමන්ගේ හිඟ විදුලි බිල්පත් පියවා ඇතිද හෝ එසේ පියවා නැතිනම් ඒ මහතාගේ නිවසේ විදුලිය විසන්ධි කර ඇති දැයි satahan radio විමසීමක් කළ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ කොළඹ නගරය භාර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී හේමන්ත රණසිංහ පැවසූවේ පාරිභෝගිකයන්ගේ බිල්පත් තොරතුරු ගැන බාහිර පාර්ශවයන්ට පැවසීමට තමන්ට නොහැකි බවය.

2021 වසරේ දෙසැම්බර් 15 වන දින satahan radio කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බුලර්ස් පාරේ නිල නිවසේ ජල බිල්පත පිළිබඳව හෙළිදරව් කළ අතර කෙහෙළිය රඹුක්වැල්ල පදිංචිව සිටින  නිල නිවසේ පාවිච්චි කර ඇති ජල බිල්පත්වල හිඟ එකතුව රුපියල් ලක්ෂ 18ක් හෙවත් රුපියල් 1,845,670.93 කි.

400/52 එම්, බුලර්ස් පාර, කොළඹ 07 දරණ නිල නිවසේ  2018 වසරේ ජනවාරි මාසයේ සිට 2021 වසෙර් ඔක්තෝබර් මාසය තෙක් ගෙවා නොමැති හිඟ මුදල්ය. රඹුක්වැල්ල මහතා පදිංචි  නිල නිවසේ 2021 සැප්තැම්බර්  මස 19 වන දිනට නිකුත් කර ඇති ජල බිල්පත අනුව එම මසට අදාලව ගෙවිය යුතු මුළු මුදල 84,186.43ක් වේ. ඒ අනුව 2021 ඔක්තෝබර්  18 දිනට නිකුත් කර ඇති ජල බිල්පතේ එම මසට අදාලව ගෙවිය යුතු මුළු මුදල ලෙස 66,948.87 ක් සදහන් වී තිබුණි.

කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවසේ හිග විදුලි බිල්පත් පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් පාර්ලිමේන්තුවේදී පෙබරවාරි 24 දින කතාවක් කර තිබුණි.

සාමාන්‍ය ජනතාවට රුපියල් දෙදහසක හෝ තුන් දහසක මුදලක් ගෙවීමට නොහැකි වූ විට එම නිවසේ විදුලි කප්පාදු කළත් කැබිනට් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසේ එක් කෝටි විසි ලක්ෂයක විදුලි බිලක් තිබුනත් එලෙස සිදු වී නොමැති බව මන්ත්‍රීවරයා මෙහෙදී පෙන්වා දුන්නා. ජනාධිපතිවරයා එක් රටක් එක් නීතියක් ගැන කතා කළත් සාමාන්‍ය ජනතාවට එක් නීතියක් සහ කැබිනට් අමාත්‍යවරුන්ට එක නීතියක් බව මෙහිදී මන්ත්‍රීවරයා පවසා තිබුණි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් සටහන් රේඩියෝ සමඟ පැවසූවේ විදුලි බල මණ්ඩලයේ නීතියට අනුව යම් පුද්ගලයෙකු මෙසේ විදුලි බිල්පත් නොගෙවා මඟහැරි අවස්ථාවලදී අදාල බිල්පත්වල වටිනා කම මෙන් දෙගුණක් බිල්පතට එකතු කර, සේවා ගාස්තු මෙන් රුපියල් 3000ක් නැවත බිල්පතට එකතු කරන බවය. එහෙත් රඹුක්වැල්ල මහතාගේ හිඟ විදුලි බිල්පතට කිසිදු දඩ ගාස්තුවක් එකතු කර නොමැති බව ඒ මහතා පැවසීය.

රටේ සාමාන්‍ය පුරවැසියෙකු මෙසේ විදුලි බිල්පත් නොගෙවා සිටියේ නම්, අදාල දවසේම එම නිවසට ගොස් හෝ නිවැසියන් නොමැති නම් තාප්පයෙන් පැන විදුලිය විසන්දි කිරීමට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් කටයුතු කරන බව ඒ මහතා පැවසීය. විදුලි සහ ජල බිල්පත් නොගෙවා සිටින වරප්‍රසාද රටේ අනෙක් ජනතාවත් ලබා දිය යුතු බව ඒ මහතා පැවසීය.