පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාලව නිසි ක්‍රියාමාර්ග ගන්නේ නැතිව වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර පෙබරවාරි 18 වැනිදා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරපු බව හැමෝම දන්නවා.
බොහෝ අයගේ අවධානය යොමු වුණේ නිදොස් කොට නිදහස් වීමටත් වඩා නඩු තීන්දුවේදී ඉස්මතු වූ කරුණු ගැන. නාමල් බලල්ලේ, ආදිත්‍ය බාලපටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් කියන විනිසුරුවරුන් දුන් තීන්දුව ඇත්තටම ආණ්ඩුවේ පාස්කු ප්‍රහාර ප්‍රචාරයන් අවසන් කරන තීන්දුවක් වුණා.
විශේෂයෙන්ම ආණ්ඩුවේ අනුග්‍රහය මත ආරක්ෂාව ලැබූ, රජයේ සාක්ෂිකාරයා වෙලා හිටපු නිලන්ත ජයවර්ධන තමන්ගේ වගකීම් පැහැරහැරලා අනුන් මත වරද පටවන්න උත්සාහ කරන බව නඩුවේදී ප්‍රකාශ කෙරුණා.
ඒ විතරක් නෙවෙයි, තීන්දුව ලැබුණේ රජයෙන් එල්ල කරපු චෝදනා බලලා, ‘අම්මෝ, ඔයාලා කරලා තියෙන වරද බරපතලයි. මොනවද මේ ගැන කියන්න තියෙන්නේ?’ කියා නිදහසට කරුණු විමසීමෙන් පස්සෙ නෙවෙයි. රජය කියපු දේවල් බලලා, ‘ඕවත් චෝදනාද අප්පා? ඔයාලා කියන කතාව දැක්කමත් තේරෙනවා මීට වඩා වැරදිකාරයන් ඉන්න බව.’ කියා තීන්දුව දුන්න එක.
ඒ කියන්නේ පැමිණිල්ලටම අහලා, ඒ පැමිණිල්ලම ප්‍රමාණවත් නෑ කියලා තීන්දු කරපු එක.
‘ටීච ටීච! සඳරු තමයි ගම් බෝතලෙ හැලුවෙ’ කියල සුදුපාට ලොකු ගම් ඇඟ පුරා ගෑවිච්ච, කොණ්ඩෙත් අවුල් කරං ඔලුවෙත් ගම් උලාගත්ත පොඩි එකෙක් ඇවිත් කිව්වොත්, මොන්ටිසෝරි ගුරුවරී වුණත් දැනගන්නව සඳරුවා නෙවෙයි, මේ යස්ස පැටියා තමයි වැඩේ කරලා තියෙන්නේ විත්තිය.
උදේ අම්ම අන්දපු කලිසං කොටේ ඒ විදියටම නීට් එකට ඇඳගෙන, අම්ම තියපු බම්ප් එකත් එක්ක පැත්තක කන්ෆියුස් වෙලා ඉන්න සඳරුවාගෙන් ‘ඇත්තද පුතේ? ගම් හැලුවද?’ කියල අහන්නැතුං ටීච කියයි, ඇත්ත කියපං කොල්ලො උඹ නේද ගම් එක හැලුවෙ කියලා.
මතක තියාගන්න ලංකාවෙ මොන්ටිසෝරිවලට බොහෝ විට සෙට් වෙන්නෙ කිසි ජොබ් එකක් කරගන්න බැරි ජාතියෙ මොට්ටම චරිත.
අපි කියන්නෑ පූජිත් ජයසුන්දරයි, හේමසිරි ප්‍රනාන්දුයි සඳරුවා වගේ අහිංසක මොන්ටිසෝරි බබ්බු කියලා. විශේෂයෙන් පොලිස්පතිවරයා ගත්තොත්, ලංකාවේ ඔය අන්තවාදය පැතිරෙද්දී බුද්ධි අංශවල කිසි සපෝට් එකක් නැතිව වුණත් පොලීසියට කරන්න රාජකාරී තිබුණා. ඒත් මේ කියන තීන්දුවේදී විනිසුරුවරුන් කීවේ අපරාධකාරී විදියට යම් රාජකාරියක් පැහැරහැරලා, අනියම් විදියට මිනීමැරුම් කළා කියන්නේ හුදෙක් තමන්ගේ ජොබ් එක කළේ නෑ කියන තැනින් එහා ගිය වැඩක් වෙන්න ඕනෑ බව. ඒ කියන්නේ සාපරාධී අරමුණක්, ප්ලෑන් එකක්, කුමන්ත්‍රණයක් තියෙන්න ඕනෑ බව. අන්න ඒ කුමන්ත්‍රණය කළේ මේ දෙන්නාගෙන් කෙනෙක් බව තමයි අධිකරණයේදී ඔප්පු නොවුණේ. මේ බෝම්බෙ පුපුරන තැනට පත් කරන්න නිශ්චිත සැලසුමක් සහ ඒ වෙනුවෙන් කූඨ අරමුණක් මේ දෙන්නාට නොතිබුණ බව තමයි නඩු තීන්දුවෙන් පෙනී ගියේ.
පහත දැක්වෙන්නේ තීන්දුවේ සඳහන් වු කරුණු අතරින් උපුටා දැක්වීම් මාලාවක්.
‘පැමිණිල්ලේ පළමු සාක්ෂිකාර රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධනගේ මූලික සාක්ෂි විමසීමේ ඉදිරිපත් කරන ලද සාක්ෂි ලේඛන බැලීමේදී බුද්ධි තොරතුරු සම්බන්ධ ලිපි තුනක් 2019 අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව චූදිතයන් විසින් කැඳවා විමසීම් නොකර ඇති බව හෙළි විය. නමුත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේදී එම ලිපි නැවත සාක්ෂිකරු වෙත ලැබෙන විට එම ලිපිවලින් හෙළිදරව් වූ කරුණු සම්න්ධධව කිසිවකු තමන්ගෙන් සාකච්ඡාවකට පැමිණීමට හෝ දැනුම් දී නැති බව පවසා ඇත.
එහෙත් සිද්ධියට පෙර ලැබුණු ලිපිවල අඩංගු කරුණු බුද්ධි තොරතුරු නොවන බවට සාක්ෂිකරු අධිකරණය හමුවේ සාක්ෂි ලබා දෙමින් පිළිගෙන ඇත. නඩුවට විෂයගත සිදුවීම හා තොරතුර පිළිබඳව සාක්ෂිකරු පැහැදිලි කර ඇත.’
‘නිලන්ත ජයවර්ධන යන අය විසින් යවන ලද එම පණිවුඩය සාක්ෂි ලේඛනයක් ලෙස ලකුණු කර ඇත. එකී පණිවුඩය සාක්ෂි ලේඛනයක් ලෙස ලකුණු කර ඇත. එකී පණිවුඩය අනුව එම ප්‍රහාරයක් කෙදිනක කොතැනද සිදු වන්නේ යන්න නිශ්චිතව දක්වා නැත. එම සාකක්ෂි ලේඛනයේ පැවති පහරදීමේ දිනයක් ප්‍රහාරයේ දිනට පසු දින දක්වා තිබුණද, නිශ්චිත ස්ථානයක් සඳහන්ව නැත. ඒ අනුව පළමු සාක්ෂිකරු විසින් සාක්ෂි ලබා දෙමින් ඉදිරිපත් කරන ලද පැ. 43 ලේඛනයේ ඇති තොරතුර සීයට සීයක් බුද්ධි තොරතුරක් ලෙස සැලකිය නොහැකි බවට පෙනී යයි. අනෙක් කාරණය නම් එම තොරතුර එපමණින්ම බුද්ධි තොරතුරක් ලෙස තහවුරු කර ගැනීම සඳහා රාජ්‍ය බුද්ධි සේවාව අනුගමනය කරන ක්‍රමවේදයන් අනුගමනය කර නැත.’
‘සාක්ෂිකාර නිලන්ත ජයවර්ධන විසින් ලබා දෙන ලද මූලික සාක්ෂි විමසීමේදී තමාට බුද්ධි තොරතුරක් 2019 අප්‍රේල් මස 21 දින පෙරවරු 8.27ට ලැබුණු බවට පැහැදිලි කර ඇත. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යවන බවට දන්වා ඇත. නමුත් එලෙස බුද්ධි තෙතාරතුරක් ලෙස විශ්වාස කරන ලද තොරතුර පොලිස්පතිවරයා වෙත යොමු කර නැත. එසේ නොකිරීම පිළිබඳ ප්‍රශ්න කිරීමේදී සාක්ෂිකරු ප්‍රකාශ කර ඇත්තේ තමාට ලද වට්ස්ඇප් පණිවිඩය ඥයබච පණිවුඩ හුවමාරු ක්‍රමය වෙත මාරු කර යැවීමට කාලය ප්‍රමාණවත් නොවූ බැවින් පොලිස්පතිවරයාට දූරකථනයෙන් දැනුම් දුන් බවයි. එය සාක්ෂිකරු විසින් සනාථ කර ඇත.
ඒ අනුව පොලිස්පතතිවරයාට ඵථඵ මාර්ගයෙන් හෝ වට්ස්ඇප් මාර්ගයෙන් නොයැවීම පිළිබඳ පැහැදිලි තොරතුරක් නොමැති අතර කෙසේ හෝ එම අවස්ථාවේදීම ප්‍රහාරයක් සිදු වූ බවට තමාට දැනගැනීමට ලැබුණ බවට සාක්ෂිකරු පැහැදිලි කරයි. 2019 අප්‍රේල් 21 වැනි දින පෙරවරු 8.30 සිට පස්වරුව අතර කාලය තුළ පළමු සාක්ෂිකරු විසින් චූදිත අමතැා ඇති බව පැහැදිලිය. පළමු සාක්ෂිකරුගේ ප්‍රකාශය අනුව ඔහුට බුද්ධි තොරතුරක් ලෙස ලැබුණ තොරතුර චූදිත වෙත යොමු කළ බවට පැවසුවද එය එසේ යැවුවේද නැද්ද යන්න සැක සහිතය.’
‘බුද්ධි තොරතුර ලැබුණ බව උපකල්පනනය කළද චූදිතට මෙම චෝදනාවන් සම්බන්ධයෙන් ආධාර අනුබල දීමේ චෝදනා ඉදිරිපතත් කිරීමට හැකියාවක් තිබේද යන්න සලකා බැලිය යුතුය. පළමු සාක්ෂිකරු පවසන ආකාරයට දෙවැනි බුද්ධි තොරතුර චූදිතත වෙත ලබා දුන් බව කියා සිටින්නේ පිපිරීමට ඉතා ආසන්නයේය. ඊට පෙර පළමු සාක්ෂිකරු බුද්දි තොරතුරක් ලෙසද 2019 අප්‍රේල් 20 වැනි දින පස්වරු 4ට පසු ලැබුණු බුද්ධි තොරතුරේ සිට පළමු පිපිරීම සහ දෙවැනි පිපිරීම දක්වා කාලයේ 2019 අප්‍රේල් 20 වැනි දින සවස සිට 21 වැනි දින අතර සිදු කරන ලද පහරදීම පිළිබඳව දක්වා ඇත්තේ ස්ථාන අටකට පහරදීමට හා ඊට හෝටල් හා පල්ලි ඇතුළත් වන බවයි. එලෙස දක්වා තිබූ පමණින් නිශ්චිත බුද්ධි තොරතුරක් ලෙස සලකා ගත යුතුව තිබූ පියවර ගැනීමට තරම් නිශ්චිත තොරතුරක් ලෙස පැහැදිලි කිරීමක් නැත.
තොරතුරක් ලද විට ආරක්ෂා කිරීම කළ යුතු යැයි උපකල්පනය කළද, එය නොකළ පමණින් නොකර හැරීම අපරාධ නඩු විධාන සංග්‍රහ පනතෙත් 100 වැනි වගන්තියේ 3 යටතෙත් යම් දෙයක් කිරීමට හෝ යම් නොකර හැරීමට ඕනෑකමින්ම උපකාර කළේද යන කරුණ තහවුරු කිරීමට ප්‍රමාණවත් නැත. 1 අංක සිට 855 දක්වා වූ චෝදාවන්හි දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කිරීමට පැමිණිල්ල විසින් විත්තිකරුවන් කළ බවට කකියන නොසැලකිල්ල ප්‍රමාණවත්ද යන්න සලකා බැලිය යුතුය.’
‘එසේ නැතහොත් එය හුදු නොසැලකිල්ලක් පමණි.’
‘පැමිණිල්ල ප්‍රබල හා සාක්ෂි මගින් සනාථ කළ යුතු වන්නේ එකී වරද (බෝම්බ ප්‍රහාරය) සදහා චූදිත දණ්ඩ නීති සංග්‍රහයේ 100 (3) කොටස අනුව නීතිවිරෝධී නොකර හැරීම චේතනාන්විතව සිදු කර එයට ආධාර අනුබල දුන්නේද යන්නයි. එම කකරුණු සනාථ කිරීමේදී ප්‍රශ්නගත නොකරහැර සිටීම නොකර හැරීමක් පමනක් වීම ප්‍රමාණවත් නැත. නීතතිවිරෝධී නොකර හැරීම සනාථ කිරීම සඳහා වැදගත් අංගය වන්නේ චූදිත විසින් සිදු කළ නොකර හැරීම ඕනෑකමින්ම එනම් ප්‍රහාරය සිදු කිරීමේ ඕනෑකමින් චේතනාවෙන් කටයුතු කිරීමයි.’
‘නිලන්ත ජයවර්ධන විසින් විත්තිකාර හිටපු පොලිස්පතිවරය වෙත ලබාදෙන ලද තොරතුරු, ත්‍රස්ත විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දකුණු පළාත භාර, ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා වෙතත විමර්ශනය කිරීම සඳහා මෙු කර ඇති බවට අනාවරණය වේ. සාක්ෂිවලට අනුව ප්‍රමාණවත් බුද්ධි තොරතුරක් ලැබී නොමැත. ඒ අනුව විත්තිකරුවන් විසින් ලද තොරතුරට අනුව ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවට පැමිණිල්ලේ සාක්ෂිවලින් අනාවරණය වේ. එසේම සාක්ෂි විමසා බැලීමේදී අපට පෙනී යන්නේ ලද තොරතුර පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවයට ප්‍රමාණවත් බුද්ධි තොරතුරක් වෙන් කර හඳුනා ගැනීමට අපොහොසත් වී ඇති බවයි.’
‘පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු වන රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් තමාට ලැබුණු බුද්ධි තොරතුර සමාලෝචන රැස්වීමේදී ප්‍රකාශ කිරීමට පියවර ගෙන නැත. ඔහුගේ ස්ථාවරය ලෙස දක්වා ඇත්තෙත් තතමන්ට වඩා ඉහළ නිලයක ඉන්න ජාතික බුද්ධි ප්‍රධානී මේ පිළිබඳව දැනුම් දිය යුතු බවය. බුද්ධි සමාලෝචන රැස්වීමේදි ඒ පිළිබඳව අවධානය යොමු කිරීමේ වගකීම ජාතික බුද්ධි ප්‍රධානී සතුව තිබූ බව සාක්ෂිකාර නිලන්ත ජයවර්ධනගේ වචනවලින් පවසන්නේ නම් මෙය ලෙඩක් විය හැකි බවය.
තීන්දුවේ මෙසේ සඳහන් වන්නේ නඩුවේ සාක්ෂි විමසීම්වලදී නිලන්ත ජයවර්ධන මහතාම කරපු ප්‍රකාශයක් ඇසුරෙන්. ඒ ප්‍රකාශය නඩුවේ සාක්ෂිවල තිබුණේ මෙහෙමයි. (පහත උපුටාගැනීම දිවයින පුවත්පතේ වාර්තාවකින්)
//ශ‍්‍රී ලංකාවේ පිහිටි ඉන්දියානු තානාපති කාර්යාලයට හා සුවිශේෂී ආගමික ස්ථාන කිහිපයකට නුදුරේදීම ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල විය හැකි බවට විදේශ රටක සිටින බුද්ධි තොරතුරු ලබාදෙන විදේශ ජාතිකයකුගෙන් 2019.04.04 වැනිදා පෙරවරු 10.30 ට පමණ වට්ස්ඇප් මගින් තොරතුරක් ලැබුණා. මම ඒ පිළිබඳව ජාතික බුද්ධි අංශ ප‍්‍රධානි සිසිර මෙන්ඩිස් මහතාට උපදෙස් පතා යොමු කළා. ඊට පසු මම වහාම මගේ නිලධාරීන් පිරිසක්
නැගෙනහිර ප‍්‍රදේශයට යැව්වා. ඒ පිළිබඳ සොයා බැලීමට. මට තොරතුරු ලබාදුන් පුද්ගලයා හා වෙනත් අයකු ද මට එම තොරතුර ලිඛිතව ලබාදුන්නා. පසුව ආරක්‍ෂක ලේකම්වරයාව හා පොලිස්පතිවරයාවත් ඒ පිළිබඳ දැනුවත් කළා. මේ අතරතුර තමයි අපේ‍්‍රල් 7 වැනිදා ඉන්දියාවේ ආරක්‍ෂක ලේකම්වරයා ලංකාවට ආවේ. ජාතික බුද්ධි ප‍්‍රධානි සිසිර මෙන්ඩිස් මහතාගෙන් මට වාර්තාවක් ලැබුණා. සහරාන් හෂීම් එක්තරා ප‍්‍රබල දේශපාලනඥයකුගේ මල්ලි කෙනෙකු මාර්ගයෙන් ඉන්දියාවට පළාගොස් ඇති බවට හා කොළඹ හා තවත් ස්ථානයක ඔහු සැඟවී සිටින බවට. මම ජාතික බුද්ධි ප‍්‍රධානියාට දුරකථන ඇමතුමක් ලබාදී කීවා වැඩි විස්තර තියෙනවාද කියලා. ඒ පිළිබඳව ආරක්‍ෂක ලේකම්තුමා දැනුවත් කරන බව එතුමා කීවා.
ආරක්‍ෂක කමිටු රැස්වීමේදී බුද්ධි තොරතුරු සාකච්ඡා කළේ නෑ.
ඉන් දින කිහිපයකට පසුව එනම් අපේ‍්‍රල් 9 වැනිදා ආරක්‍ෂක ලේකම්තුමාගේ ප‍්‍රධානත්වයෙන් ආරක්‍ෂක සම්බන්ධිකරණ කමිටු රැුස්වීම තිබුණා. එතනදී එකී බුද්ධි තොරතුර සාකච්ඡුාවට බදුන් කළේ නෑ.
මම ජාතික බුද්ධි ප‍්‍රධානි සිසිර මෙන්ඩිස් මහතාට එතනදී කීවා සර් ඒ තොරතුර අතේ තියාගෙන ඉන්න එපා ලෙඩක් වැටෙයි කියලා. එවිට එතුමා මගෙන් ඇහැව්වා ඒ ගැන මම ගත්තු ඇක්ෂන් මොකක්ද කියලා.
විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා
රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියා ලෙස ඔබේ වගකීමක් නේද එකී තොරතුරේ බරපතළකම ගැන සලකා හෝ එතනදී ඒ ගැන සාකච්ඡුාවට බදුන් කිරීමට?
සාක්‍ෂිකරු
ඔව්. ඒ කරුණු එතනදී සාකච්ඡුාවට බදුන් කළ යුතුව තිබුණා. මම දැනගෙන හිටියේ නෑ ආරක්‍ෂක ලේකම්වරයා හා ජාතික බුද්ධි ප‍්‍රධානියා ඒ ගැන සාකච්ඡුා කළාද නැත්ද කියලා.
විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා
ඒ ගැන න්‍යායපත‍්‍රයට ඇතුළත් වෙලා තිබුණත් නැතත් ඔබට වගකීමක් තිබුණා නේද ඒ ගැන නිල වශයෙන් සාකච්ඡුාවට බදුන් කිරීමට.
සාක්‍ෂිකරු
මම ජාතික බුද්ධි අංශ ප‍්‍රධානියාට ඒ ගැන මතක් කළා. මට මැදින් පැනලා ඒ ගැන කියන්න බෑ. ඒක නිශ්චිත බුද්ධි තොරතුරක් බවට පරිවර්ථනය වී නොතිබූ නිසා එවැනි ස්ථානයකදී ඒක සාකච්ඡුාවට ගන්න කියලා කියන්න මට හැකියාව නෑ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා
ආරක්‍ෂක ලේකම්වරයාට හෝ ජාතික බුද්ධි ප‍්‍රධානියාට පුළුවන්ද බුද්ධි තොරතුරු නොවන එවැනි කරුණක් එවැනි ආරක්‍ෂක සම්බන්ධිකරණ කමිටුවකදී සාකච්ඡුා කරන්න.
සාක්‍ෂිකරු
ඊට පෙර එවැනි තොරතුරක් ලැබී තිබෙනවා නම් ඒ ගැන සාකච්ඡුා කරන්න පුළුවන්.//
නැවතත් නඩු තීන්දුවේ කොටස්වලට යොමු වෙමු.
‘බුද්ධි අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ප්‍රධාන වගකීම බුද්ධි තොරතුරු එකතු කිරීම, විශ්ලේෂණය කිරීම, බෙදා හැරීම වේ. බුද්ධි අධ්‍යක්ෂවරයා හා රාජ්‍ය නායකයා අතතර වුවද සමීප සබඳතාවක් පවතින බවට අධිකරණය හමුවේ සාක්ෂි මගින් අනාවරණය වී ඇත. අවශ්‍ය නම් ත්‍රිවිධ හමුදාවේ බුද්ධි අංශයේ ප්‍රධානීන් සමගගද සාකච්ඡා කර බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමේ හැකියාව බුද්ධි ප්‍රධානියාට පවතින බවට අනාවරණය විය. එසේම නඩු විභාගයේදී පැමිණිල්ලේ සාක්ෂිකාර නිලන්ත ජයවර්ධනගේ සාක්ෂියට අනුව සිදුවිය හැකි ප්‍රහාරයක් සම්බන්ධයෙන් තොරතුරක් ලැබී තිබියදී එකකී තොරතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා රාජ්‍ය බුදද්ධි සේවයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් නැගෙනහිර පළාතට යොමු කර ඒ පිළිබඳව විමර්ශන වාර්තාවක් ජාතික බුද්ධි ප්‍රධානියාට හා පොලිස්පතිවරයාට ලබා දී තිබියදී 2019 අප්‍රේල් 09 දින පැවති බුද්ධි සමාලෝචන මණ්ඩල රැස්වීමේදී එම තොරතුර පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා විසින් අවධානය යොමු නොකිරීම ලිහිල්ව සැලකිය යුතු කරුණක් නොවේ. ඒවා සලකා බලන විට මෙම නඩුවේ චූදිතයන් පළමු සාක්ෂි නිලන්තත ජයවර්ධන විසින් යොමු කරන ලද ලිපිය පදනම් කරගෙන අවශ්‍ය පියවර ගැනීම සඳහා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පතිවරයාට, අපරාධධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට, විශේෂ කාර්ය බලකාය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට, විශේෂ ආරක්ෂක දිසාව භාර අධ්‍යක්ෂවරයාට යොමු කර තිබූ බව පැමිණිල්ල විසින්ම ඉදිරිපත් කරන ලද සාක්ෂිකාර වර්තතමාන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සාක්ෂියෙන් අනාවරණය වේ.’
තීන්දුවේ මේ විදියට සඳහන් වෙන අප්‍රේල් 04 වැනිදා තිබුණ බුද්ධි සමාලෝචන රැස්වීමේ කතාව යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළ බ්‍රිගේඩියර් (විශ්‍රාමික) චූල රත්නසිරි කොඩිතුවක්කුගේ සාක්ෂියේදීත් මතු වී තිබුණේ 2021 දෙසැම්බර් මාසයේ. ජාතික රූපවාහිනී ප්‍රවෘත්ති අංශයේ වාර්තාව අනුව ඒ සාක්ෂිවලදී මෙහෙම කියවුණාලු.
//ආදිත්‍ය පටබැඳිගේ මහතා සාක්ෂිකරු වෙත ප්‍රශ්නයක් යොමු කරමින් “ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට 2019 වසරේ අප්‍රේල් 4 වන දා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා වෙත ලැබී තිබුණු තොරතුරට අදාළ ලිපිය ඔබ වෙත ලැබී තිබුණේ දැයි” විමසා සිටියා.
“නැහැ.. ස්වාමීනි.. එවැනි ලිපියක් මට ලැබී තිබුණේ නැහැ. 2019 වසරේ අප්‍රේල් මස 09 වන දා බුද්ධි සමාලෝචන රැස්වීමට මා සහභාගි වුණා. එම රැස්වීමට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන සහභාගී වී සිටියා. එහෙත් අප්‍රේල් 4 වනදා ලැබුණු තොරතුර පිළිබඳව ඔහු එම බුද්ධි සමාලෝචන රැස්වීමේ දී කරුණු ඉදිරිපත් කළේ නැහැ.”යනුවෙන් සාක්ෂිකරු පැවසුවා.
එම අවස්ථාවේදී විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා යළි ප්‍රශ්නයක් යොමු කරමින් “රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට ලැබුණු මෙම ප්‍රහාරය පිළිබඳ තොරතුරු බුද්ධි සමාලෝචන රැස්වීමට ඉදිරිපත් කිරීමට ඔහූට කිසියම් බාධාවක් තිබුණේ දැයි” පෙරළා සාක්ෂිකරු ගෙන් ප්‍රශ්න කළා.
“ස්වාමීනි… එවැනි කිසිම බාධාවක් නැහැ. බුද්ධි සමාලෝචන රැස්වීමේදී ආරම්භක කරුණු ඉදිරිපත් කිරීම සිදු කරන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා විසින්. ඉතිං ප්‍රහාරය පිළිබඳව තොරතුරු ලැබිලා තිබුණා නම් එය ඔහුට එම බුද්ධි සමාලෝචන රැස්වීමට ඉදිරිපත් කිරීමට කිසිම බාධාවක් තිබුණේ නැහැ”යනුවෙන් සාක්ෂිකරු ප්‍රකාශ කළා.
විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා යළි ප්‍රශ්නයක් යොමු කරමින් “බුද්ධි සමාලෝචන රැස්වීමට එවැනි බුද්ධි තොරතුරු ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබෙනවාද? යනුවෙන් විමසා සිටියා.
ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු” ස්වාමීනි… බුද්ධි තොරතුරක් තිබෙනවා නම් එය ඉදිරිපත් කිරීමට සුදුසුම සහ හොඳම ස්ථානය තමයි බුද්ධි සමාලෝචන රැස්වීම. ඊට සහභාගී වන පුද්ගලයින් සියලු දෙනාම විශ්වාසවන්ත පුද්ගලයින්. ඒ වගේම ආරක්ෂාව සම්බන්ධයෙන් ඉහළ විශේෂඥ දැනුමක් සහිත පුද්ගලයින්.”
යනුවෙන් සාක්ෂිකරු සඳහන් කළා.//
පැමිණිල්ලේ පළමු සාක්ෂිකාර නිලන්ත ජයවර්ධන රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ විසින් කටයුතු කර තිබියදී ඔහුට වට්ස්ඇප්වලින් ලද බුද්ධි තොරතුර බුද්ධි සමාලෝචන රැස්වීම් සදහා යොමු නොකිරීම බරපතල තත්වයකි. එම කරුණ සලකා බලන විට මෙම නඩුවේ චූදිතයන් එම තොරතුරේ ප්‍රහාරයන් වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග සඳහා ඒ පිළිබඳ අත්‍යවශ්‍ය පාර්ශ්වයන් වෙතත දැනුම්දීම කර ඇති බව පෙනී යයි. මේ අනුව වෙන් වෙන්ව චූදිතයන්ට එරෙහිව ගොනු කරන ලද චෝදනා 855 ප්‍රහාරය සිදු විය හැකි කාලය තුළ ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා පියවර ගෙන ඇති බව පැහැදිලිව පෙනී යයි.
එහිදී එම තොරතුර බුද්ධි තොරතුරක් දක්වා වර්ධනය කර ගැනීමට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ත්‍රිවිධ හමුදාවේ බුද්ධි අංශයේ කිසිදු සහයක් ලබා ගැනීමට කටයුතු කර නැත. පැමිණිල්ල විසින් කැඳවන ලද වර්තමාන පොලලිස්පතිවරයාගේ සාක්ෂියට අනුව ත්‍රිවිධ හමුදා බුද්ධි අංශ සමග සාකච්ඡා කර බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමට විශ්ලේෂණය කිරීමට බුද්ධි අධ්‍යක්ෂවරයාට බාධාවක් නැත. ඔහු ශ්‍රී ලංකා බුද්ධි සේවයේ ප්‍රධානියා වේ. එබැවින් ලැබෙන තොරතුර බුදද්ධි තොරතුරක් බවට පත් කර ගැනීමට විශේෂ වගකීමක් ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියාට වේ.’
තීන්දුවේ සඳහන් උක්ත කරුණ තවත් පැහැදිලි වන්නේ නඩුවේ සාක්ෂියක් උපුටා දැක්වුවොත්. පාස්කු ප්‍රහාරයට කලින් මේ කණ්ඩායම් ගැන තොරතුරු බොහොමයක් රාජ්‍ය බුද්ධි සේවය සතුව තිබුණ බව පෙනී යනවා. ඒවා පදනම් කරගෙන, ප්‍රහාරය ගැන නිශ්චිත බුද්ධි තොරතුරක් සැපයීම රාජ්‍ය බුද්ධි සේවයේම වගකීමක් වුණා.
දිනමිණ පුවත්පතේ ලිපියක පළ වූ, නඩුවේදී නිලන්ත ජයවර්ධන මහතා කරපු ප්‍රකාශයක් මෙසේයි.
//“රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත තොරතුරු නිලධාරින් ගණනාවක් ඉන්නවා. මූලස්ථානයට අමතරව ප්‍රාදේශීය මධ්‍යස්ථාන 103ක් ක්‍රියාත්මකයි. අපේ නිලධාරීන් එක්රැස් කළ තොරතුරු අනුව අයි එස් මතවාදය වෙනුවෙන් පවුල් කීපයක පිරිස් සිරියාවට ගොස් තිබුණා. 2017 මාර්තු වෙනකොට 94ක පිරිසක් ඊට එක්ව තිබුණා. 2015න් පසුව සිරියාවට නොගොස් මෙරට සිට ජිහාද් පුරුදු කරන්න එම මතවාදීන් කටයුතු කළ බවට තොරතුරු තිබෙනවා. 2015 සිට 2019 වන විට අයි එස් තස්ත්‍රවාදය ගැන වාර්තා 340ක් මා ලබාදී තිබෙනවා. සහරාන් ගැන රිල්වාන් ගැන තොරතුරු දැනුම් දී තිබෙනවා. සිරියාවට ගිය සියලු දෙනා මධ්‍යම පළාතේ අය බව සටහන් වෙනවා. සහරාන්ගේ බේස් එක වුනේ කාතන්කුඩි ප්‍රදේශයයි. මේ තොරතුරු ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා. ක්ෂණික ප්‍රතිචාර දැක්විය යුතු බුද්ධි තොරතුරු පොලිස්පතිවරයාට දැනුම් දෙනවා. මා ආරක්ෂක ලේකම්වරුන් හයක් සමඟ කටයුතු කර තිබෙනවා.”//
නැවතත් තීන්දුවේ උපුටාගැනීම්වලට යොමු වෙමු.
‘නඩුවේ පළමු සාක්ෂිකාර නිලන්ත ජයවර්ධන විසින් අධිකරණය හමුවේ දෙන ලද සාක්ෂි අනුව ඔහු සිය වගකීම් පැහැරහැර ජාතික බුද්ධි ප්‍රධානියා මතට එම වගකීම් පැටවීමට ක්‍රියා කර ඇති බවට අපගේ නිගමනය වේ. සිද්ධිය වූ වකවානුවේ රටේ පැවති දේශපාලන වාතාවරණය හා රජය තුල පැවති අර්බුද පිළිබදව තවත් සාක්ෂිකරුවකු වන හිටපු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන යන අයගේ සාක්ෂි මගගින් අනාවරණය වේ.
ඒ අනුව තීරණ ගැනීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට යම් අසරණ තත්වයක් ඇතිව තිබූ බව පැහැදිලි විය. පාස්කු ඉරු දින එල්ල වූ එම ත්‍රස්ත ප්‍රහාරය ඉතාම සංවේදී දෙයකි. එම ප්‍රහාරයෙන් කිතුනු බැතිමතුන් විශාල පිරිසක් මිය ගියා. තවත් පිරිසක් ආබාධිත තත්වයට පත් වුණා. පිරිසකට මවුපියන්, තවත් අයට දරුවන්, ඥාතීන් අහිමි වුණා. මෙවැනි සංවේදී කරුණක් සම්බන්ධයෙන් නිසි විමර්ශනයකින් තොරව කවර හෝ පුද්ගලයෙකුට නඩු පැවරීම අප අනුමත කරන්නේ නැත.’
‘රාජ්‍ය නිලධාරීන්ට අපරාධ චෝදනා එල්ල කිරීමේදී මීට වඩා බොහෝ ප්‍රවේශම්කාරී විය යුතුයි. දේශපාලන අධිකාරියක් පවතිද්දී රාජ්‍ය නිලධාරීන්ට පමණක් මෙලෙස නඩු පැවරීම යුක්ති සහගත නොවන බවට අපි නිගමනය කරන්නෙමු. එම නිසා මෙම නඩුවේ පළමු සාක්ෂිකාර රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධනගේ සාක්ෂිය මෙහෙයවීමෙන් පසුව අනාවරණය වූ කරුණු මතත මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යනවාද, නැද්ද යන්න තීරණය කිරීමට පවා පැමිණිල්ලට සිතා බැලිය යුතුව තිබුණා. නඩුවේ විත්තිකරුවන් අත්අඩංගුවට ගැනීම පවා ගැටලු සහගතයි.’