මුලතිව් පුරාවිද්‍යා සංහාරයක්! සංහාරකයා, පොහොට්ටු නිසා අවුලක් නෑ?

මුලතිව් ඔඩ්ඩුසුඩාන් පොලිස් වසමේ තන්නිමුරිප්පු වැව් රක්ෂිතයේ පුරාවිද්‍යා ස්ථානයක තිබූ ඉපැරණි ගල්කණු ගලවා රැගෙනයමින් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෙවත් පොහොට්ටුවේ සංවිධායකවරයෙක් වන හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයකු ඇතුළු පුද්ගලයන් නවදෙනකු  22 දින අත්අඩංගුවට ගත් බව වන්නියේ මාධ්‍යවේදී රොමේෂ් මධුශංක වාර්තා කරලා.

තන්නිමුරිප්පු වැව් රක්ෂිතයේ පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට පිරිසක් උත්සහ ගන්නා බවට පොලිසිය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකල වැටලීමකදී පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගල්කණු දෙකක් රැගෙන යමින් සිටියදී අදාල පිරිස අත්අඩංගුවට අරන්.

මෑත කාලයේ උතුරු නැගෙනහිර දෙමළ, මුස්ලිම් ජාතිකයන් පුරාවිද්‍යා ස්ථාන විනාශ කරන බව ජනප්‍රිය මතවාදයක් තිබුණා. ගල්කණුවක්, පොඩි ඉදිකිරීමක් අල්ලාගෙන ලොකු හඬනැගීම් ගියා.

එහෙත් ඇත්තටම සිද්ධ වුණේ ජාතිභේදයකින් තොරව පරණ පුරාවිද්‍යා තැන්වල වටිනාකම නොදැන හැම ජනවර්ගයකටම අයිති මිනිස්සු කරන දේවල්වල දිගුවක් උතුරු-නැගෙනහිර පළාත්වලත් සිදු වීම. විශේෂයෙන් දෙමළ හා මුස්ලිම් මිනිසුන්ව ලංකාවේ ඉතිහාසයෙන් බැහැර කිරීම නිසා ඔවුන්ට අපටත් වඩා පුරාවිද්‍යා ස්මාරකවල වටිනාකම මඟහැරීමයි සිද්ධ වුණේ.

කෙසේ වෙතත් ජාතිභේදයකින් තොරව ලංකාවේ බොහෝ අය පුරාවිද්‍යා ස්මාරකවල වටිනාකම දන්නේ නැහැ. පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ඉඩම් අල්ලලා, පොදු පුරාවිද්‍යා ස්ථානවල කුරුටු ගාලා, ගල් ගලෝලා, චූ කරලා, ප්ලාස්ටික් ආදිය දාලා, සමහර තැන්වල පුරාවිද්‍යාත්මක වටිනාකම විනාශ වෙන විදියට නවීන, වෛවර්ණ පන්සල් එහෙම හදලා පුරාවිද්‍යාත්මක වටිනාකම අහිමි කරගෙන තියෙනවා.

මේ කියන සිදුවීමේදී අත්අඩංගුවට ගත් පිරිස අතර ප‍්‍රධාන සැකකරුවකු වූ හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයා පොදුජන පෙරමුණේ වවුනියාව දිස්ත‍්‍රික් සංවිධායකවරයා. ඔහු උතුරු පළාත් සභාව නියෝජනය කළ මන්ත‍්‍රීවරයකු වන බවත් ඔහුගේ නම හා සිදුකළ සේවාවන් යොදා වවුනියාව ප‍්‍රදේශයේ ඵලකයක් නිර්මාණය කිරීම සඳහා රැගෙන යන බවද පොලිසිය කීවාලු.

දෙමළ ජාතික සන්ධානය මෙන්ම උතුරු නැගෙනහිර සුළුතර ජනවර්ගවලට අයත් කණ්ඩායම් පුරාවස්තු විනාශ කරන බවට ජනප්‍රිය මතයක් නිර්මාණය කරන උදවියට, තමන්ගේම පක්ෂයේ කෙනෙක්ව මේ වැඩේට හසු වීම ගැන කියන්න තියෙන්නේ කුමක්දැයි වෙනම විමසන්න වටිනවා.

සැකකරුවන් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයක්,ලොරි රථයක් හා කුඩා දොඹකර ලොරි රථයක් අත්අඩංගුවට ගත් බවත් මෝටර් රථයේ රාජ්‍ය ලාංජනය සහිතව උතුරු පළාත් සභා මන්ත‍්‍රී ලෙස පුවරුවක්ද ප‍්‍රදර්ශනය කරමින් තිබූ බවත් පොලීසිය සඳහන් කරලා.

සැකකරුවන් විසින් රැගෙනයමින් තිබූ පෞරාණික ගල්කණුවල හස්ථී පා  සලකුණූ නිරූපනය වන බවත් ඒම ගල්කණු අඩි පහත් , හයත් අතර ප‍්‍රමාණයේ ඒවා බවත් පුවත් වාර්තාවේ සඳහන් වෙනවා. සැකකරුවන් වවුනියාව , නොච්චියාගම , අනුරාධපුර, මහරම්භකුලම ප‍්‍රදේශයේ පදිංචිකරුවන්.