මේ වෙද්දී රටේ ඇති වී තිබෙන (ඇති කර තිබෙන?) සිමෙන්ති අර්බුදයට ගැලවුම් දේවතාවා ලෙස රාජපක්ෂ පවුලේ සමීප ඥාතියෙකු වන නන්දන ලොකුවිතාන සතු ලංවා සංස්ථා සිමෙන්ති සමාගම මාර්තු මාසයේ මුල මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතයි. මෙහිදී අවධානය යොමු කරන්නේ එම ව්‍යාපෘතියේ මූලික කරුණුවලට.
මේ සමාගම හැදුවාම ලංකාවේ පෝට් සිටියේ, අධිවේගී මාර්ගවල සහ අනෙකුත් රජයේ සහ පෞද්ගලික ඉදිකිරීම් ව්‍යාපෘති ගොඩකට සිමෙන්ති නිපදවන්නා බවට පත් වේවි. රට ඇතුළේ සිමෙන්ති හැදීමෙන් රටට අවාසියක් නම් නැහැ. හැබැයි ඉතින්, ආනයන සීමා එක්ක තරගකාරීතත්වයකුත් නැති පසුබිමක දැවැන්ත වෙළඳ ඒකාධිකරයක් හදාගෙන ලාභ උපයන්න ඔවුන්ට හැකි වේවි.
මීට කලින් සිමෙන්ති ආනයනය සීමා වී, ඉදිකිරීම් කර්මාන්තයේ දැවැන්ත නතර වීමක් සිදුව තිබුණා. ඒ නිසා රැකියා අහිමිවීම් මහා පරිමාණ වුණා. බොහෝ ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රයේ උදවිය අපෙන් ඉල්ලුවා ඒ ගැන වාර්තා කරන ලෙසත්.
හියුමන් කැපිටල් ඉන්ඩෙක්ස් එකේ නිල දත්ත අනුව 680,000ක පමණ පිරිසක් ඍජුව හෝ වක්‍රව ක්ෂේත්‍රයේ හිටියා. ඒ වගේම දළ දේශීය නිෂ්පාදිතයෙන් සීයට 6-9 අතර ප්‍රමාණයක් මෑත අවුරුදුවල මේ ක්ෂේත්‍රයට අයත් වුණා.
එහෙත් ක්ෂේත්‍රයේ විශේෂඥයන් කියන්නේ ඒ ක්ෂේත්‍රයේ කී දාහක් ඉන්නවාද කියන එක ගණනය කරලා නැති බව. ලියාපදිංචි නොවූ ඉදිකිරීම් සමාගම්, සංගණනයන්ට හසු නොවෙන අත්උදව්කරුවන් මෙන්ම ඉදිකිරීමක් කරන තැනකට ආහාර පාන විකුණන පුංචි වෙළෙන්දා දක්වා විශාල පිරිසක් මේ ක්ෂේත්‍රයේ ඉන්න බව. ඔවුන්ට අවශ්‍ය මූලිකම අමුද්‍රව්‍ය හිඟ වීමෙන් ගොඩක් මිනිස්සුන්ට රස්සා අහිමි වුණා. විශේෂයෙන් කුඩා පරිමාණ ඉදිකිරීම් කරපු අයට.
ජාතික ඉදිකරන්නන්ගේ සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි කියා තිබුණේ මිලියන 1.6ක පමණ පිරිසක් ඉදිකිරීම් කර්මාන්තයේ සිටින බව.
මේ අර්බුදය මැද, සිමෙන්ති හිඟයට විසඳුම් විදියට ඒවා ආනයනය කරන්න පියවර ගන්න කියා ඉංජිනේරුවන් ආණ්ඩුවේ නායකයන්ගෙන් ඉල්ලීම් පවා කර තිබුණා. ඒත්, දළ ජාතික නිෂ්පාදනයට ඒ කර්මාන්තයේ දායකත්වය මදි බව කියමින්, ආනයනයට ඉඩ දුන්නේ නැහැ. ඒත් ඇත්තටම ඉදිකිරීම් කර්මාන්තයේ ඔය කියන දායකත්වය ගණං හදන්නේ ලියාපදිංචි නොවූ කුඩා පරිමාණ ඉදිකිරීම් කරන අයගේ දායකත්වය නොතකා. කොහෙවත් ගිණුම් පොත්වල සටහන් නොවෙන අත්උදව්කරුවන්ගේ සිට, වැඩපොළට බත් පැකට්, තේ සපයන්නන් හලලයි ඔය ගණං හදන්නේ.
අන්තිමේ සිමෙන්ති මිල ඉහළ නැග්ගා. දුර්ලභ වුණා. ලොකු හිඟයක් එක්ක ඕනෑ මිලක් ගෙවා සිමෙන්ති මිලට ගන්න පසුබිමක් නිර්මාණය වුණා. කුඩා පරිමාණ ඉදි කරන්නන්ගෙන් සැලකිය යුතු පිරිසක් බංකොළොත් වූ බවත් කියනවා.
සිමෙන්ති අර්බුදයත්, මිල අධික වීමත් යන ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව පැත්තෙන් කිසිම ප්‍රයෝජනවත් විසඳුමක් දුන්නේ නෑ.
අන්න ඒ පසුබිමේ ඔන්න එනවා, පවුලේ හිතවතාගේ සිමෙන්ති කම්හල.
අක්කර 63ක් දැවැන්ත මේ සමාගම අපේ කලාපයේම දැවැන්ත සිමෙන්ති නිෂ්පාදන මධ්‍යස්ථානයක් වේවි. මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ දැවැන්තම ව්‍යාපෘතිය මෙය බවට පත් වේවි.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වූ 2006 වර්ෂයේ සිට රාජපක්ෂ පවුල රටේ දේශපාලන බලයෙන් ශක්තිමත් වෙද්දී, ඊට සමගාමීව ලංකා වානේ සංස්ථාව මෙන්ම ඩුබායිවල දැවැන්ත ව්‍යාපෘතිවල රැසක හිමිකරුවෙක් වූ නන්දන ලොකුවිතානත් අති සාර්ථක ව්‍යාපාරිකයෙකු ලෙස වේගයෙන් ධනවත් වුණා. මේ සමීප දෙපාර්ශ්වයේ දේශපාලනික සහ ව්‍යාපාරික නැගී ඒම එකිනෙකට සම්බන්ධයක් නොමැති වෙන්නත් පුළුවන්.
මතක තබාගන්න මිරිජ්ජවිල සහ හම්බන්තොට ආශ්‍රිත කලාපවල මෙවැනි ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ජලය වෙනුවෙන් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය, ගිං නිල්වලා ව්‍යාපෘතිය ඇතුළු මහා පරිමාණ ව්‍යාපෘති පවා ඇරඹූ බව. සිංහරාජය මැද්දෙන් පවා වතුර ඇදීමේ මෙහෙයුම් සඳහා සැලසුම් සකස් කළ බව.
ලංකා ආයෝජන මණ්ඩලය යටතේ වන ව්‍යාපෘතියක් වන මෙහි, සම්පූර්ණ ධාරිතාව ටොන් මිලියන 4ක්. ව්‍යාපෘතියේ පළමු අදියරෙන් වසරකට ටොන් මිලියන 2.8ක් නිෂ්පාදනය කරනවා. ඔවුන්ගේ ප්‍රවර්දන දැන්වීම්වල සඳහන් වෙන විදියට නවීන තාක්ෂණයෙන් සමන්විතව, අවම නාස්තියක් සහිත යුරෝපයේ නවීන උපකරණ මේ සමාගමේ තියෙනවාලු.
මේ ව්‍යාපෘතියේ වාසිය පැහැදිලිවම අයිති වන්නේ ව්‍යාපාරයේ අයිතිකාරයන්ට තමයි. ඒත්, මෙයින් රටට යහපතක් නැති බවත් කියන්නම බැහැ. මෙරට ඕනෑ නිෂ්පාදනයක් කරන එක වැරදි බවක් අපි අදහස් කරන්නේ නැහැ. ඇත්තටම එවැනි නිෂ්පාදන කරන එක හොඳයි.
එහෙත්, මේ හිතවත් ව්‍යාපාරිකයන්ට උපරිම ලාභ හොයා දෙන වුවමනාවට වෙළඳපොළ සිමෙන්ති අර්බුදයක් නිර්මාණය කළාද? ඒ කර්මාන්තශාලාවෙන් ඉහළ මිලට සිමෙන්ති එළියට දානතුරු සිමෙන්ති මිල පා කළාද කියන ප්‍රශ්න මේ වෙද්දී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයේ ඉන්න ඉංජිනේරුවරුන් පවා විමසනවා. අනෙක් පැත්තෙන් ආනයන සීමා කරමින් පාරිභෝගිකයාගේ තෝරාගැනීම් සීමා කරාවිද? එහෙම වුණොත් මේකෙන් රටේ පොදු ආර්ථිකයට වෙන ලාභය සීමා වෙනවා.
මේ ගැන ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් වෙත අදහස් දක්වමින් නන්දන ලොකුවිතානගේ කියා තිබුණේ ලෝක වසංගතයකින් සීමා වෙලා ඉඳලා නැවත හෙමින් සාමාන්‍ය තත්වයට හැරෙමින් තියෙන මොහොතක වැඩ ආරම්භ කරන්න ලැබෙන එක ගැන උද්යෝගයකින් ඉන්න විත්තිය.
මේ ව්‍යාපෘතිය නවීන තාක්ෂණය පැත්තෙනුත්, ආර්ථිකයටත් තල්ලුවක් වනු ඇති බව ඔහු වැඩිදුරටත් කියලා. මේ දිනවල ඉදිකිරීම් කර්මාන්තය දුර්වල කිරීමට හේතු වූ සිමෙන්ති හිඟයට විසඳුමක් වනු ඇති බවත් ඔහු සඳහන් කරලා.
මෙම කර්මාන්තශාලාවයි, වරායයි සම්බන්ධ කරන්නට කිලෝමීටර් 2.4ක කන්වේයර් බෙල්ට් එකක් තියෙනවාලු. ඒ වගේම ස්වයංක්‍රීය ‘ස්ටැකර් රීක්ලේමර්’ අංගනයක් සහ භාණ්ඩ හැසිරවීමට ‘පාලම් හැඩයේ’ නැව් හැල්ලූකර තියෙනවාලු. මේ කියන අංගෝපාංග ගැන අපිත් වැඩිපුර තාක්ෂණික තොරතුරු දැනගෙන හිටියේ නැහැ. කෙසේවෙතත් දැවැන්ත කර්මාන්තයක තිබිය හැකි නවීන කොටස් බව අන්තර්ජාලයේ සොයාබෑලීම්වලින් පසු අප තේරුම් ගත්තා.
මෙම ව්‍යාපෘතිය මගින් දේශීය සිමෙන්ති ඉල්ලුම සපුරාලීමෙන් දේශීය ඉදිකිරීම් ක්ෂේත්‍රය පුනර්ජීවනය කිරීමටත් විශේෂයෙන්ම වත්මන් තත්ත්වය යටතේ ආනයන මත යැපීමේ බරින් දේශීය ආර්ථිකය මුදා ගැනීමටත් අපේක්ෂා කරන බවත් කර්මාන්තය පටන් ගන්න අය නම් තමන්ගේ ‘යහපත් අරමුණු’ ඉදිරිපත් කරමින් කියනවා.