මුස්ලිම් විවාහ පනත සඳහා සංශෝධන සිදු කිරීමට ගලගොඩඅත්තේ ඥාණසාර හිමිගේ සභාපතිත්වයෙන් යුත් ‘එක රටක්, එක නීතියක් පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකාය’ (හෙවත් අබසරණ බලකාය) තම වාර්තාව ඉදිරිපත් කරනතුරු බලා ඉන්නැයි කැබිනට් මණ්ඩලය තීන්දු කරලා.
පෙබරවාරි 21 වැනිදා තිබුණ කැබිනට් මණ්ඩල රැස්වීමේදී අධිකරණ අමාත්‍ය අලි සබ්රි කියා තිබුණේ පනත වෙනස් කිරීමට මුස්ලිම් ප්‍රජාව එකඟ නමුත් කාති උසාවි තහනම් කිරීමට හා පුරුෂයන්ට බහු විවාහ සඳහා ලැබෙන අවසරය ඉවත් කිරීමට මුස්ලිම් සමාජයේ විරෝධයක් ඇති බව.
කෙසේ වෙතත් මුස්ලිම් විවාහ පනතේ බාල වයස්කාර විවාහ සඳහා තිබුණ ඉඩකඩ ඇතුළු වැදගත් සංශෝධන රැසක් සඳහා උක්ත පනත් කෙටුම්පතෙන් ඉඩ ලැබී තිබුණා. මුස්ලිම් සමාජයත් ඊට එකඟ වී තිබුණා.
මෙම විරෝධයට එකඟ විය නොහැකි බව සරත් වීරසේකර, උදය ගම්මන්පිළ හා විමල් වීරවංශ යන අමාත්‍යවරුන් කියා තිබුණා. ඒ කියන්නේ කාති උසාවි ක්‍රමය හා බහු විවාහ ක්‍රමයන් දෙකත් අහෝසි කළ යුතු බව.
කාති උසාවි ක්‍රමයට විරෝධයක් මතු වන්නේ එවැනි උසාවි දැඩි පුරුෂාධිපත්‍යයකින් යුත්, කාන්තාවගේ පැත්තේ නිදහස නොතකන ‘කැලෑ අධිකරණ’ ක්‍රමයක් බවට චෝදනා එල්ලවෙන නිසා.
අනෙක් පැත්තෙන් බහු විවාහ සඳහා ‘පිරිමින්ට’ ඉඩ ලැබීම කාන්තාවන්ට බඩු භාණ්ඩ වාගේ සලකන්නට ඉඩ ලැබීමක්. ‘ගැහැණුන්ට ආහාරපාන ආදිය සපයන්න’ පුළුවන් නම් බහු විවාහ තිබුණාට මොකෝ කියා කෙනෙක් විමසාවි. එහෙත්, කසාද බැඳීම යනු පිරිමින්ගේ වුවමනාවට භාණ්ඩයක් ලබා ගැනීමක් වුණේ ආදි කාලයේ. ඒ කාලේ අපේ සංස්කෘතීන්වලත් කාන්තාවන්ට පිරිමින්ගේ වුවමනාවට නටන යන්ත්‍ර වාගේ සලක්න ඇති. එහෙත්, නූතන ලෞකික නීතියක් එසේ නොවිය යුතුයි.
හරකුන් ඇති කරනවා නම් හරකුන් කිහිපදෙනෙක්ට කන්න පුළුවන් කෙනෙක් ඇති කළාට කමක් නැහැ. එහෙත් නූතන යුගයේ විවාහයක් යනු දෙදෙනෙක් අතර ඇතිවන ආදරය, රාගය සහ එකිනෙකාගේ උන්නතිය ගැන හැඟීම තුළින් ඇති වූ බැඳීමක්. ත්‍රීසම් වාගේ ලිංගික ආශාවක් තියෙන සුළු පිරිසක් ඇරුණාම බහුතරයක් තමන්ගේ ප්‍රේමවන්තයා තමන් සමඟ පමණක් ‘රාගී’ දිවිය බෙදාගැනීමට කැමතියි.
මේක බහු ලිංගික ක්‍රියාවලට අදාල පනතක් නෙවෙයි. එහෙම එකක් නං ගැහැණුන්ටත් බහු විවාහ කරන්න ඉඩ දෙන්න ඕනෑ. වෙනම ‘ඔර්ගි’ පනතක් සියලු ජාතීන්ට සමානව හදන්න ඕනෑ.
කොහොම නමුත්, උක්ත සංශෝධන ගැන මුස්ලිම් සමාජයේ මැසිවිලි නැගීම් තිබුණාට, ඔය පනත වෙනස් කළා කියා ඔවුන්ගේ දරුණු විරෝධයක් මතු නොවේවි. ඒකට ඥාණසාර හිමිගේ පනත එනතුරු ඉන්න ඕනෑ නැහැ.
ඇත්තටම උඩින් කියපු කරුණු දෙක හැරුණාම බොහෝ කරුණුවලට මුස්ලිම් සමාජය දැනටමත් එකඟ වෙලා හමාර බවත්, ඒ කාර්යභාරය කළේ අධිකරණ අමාත්‍ය අලි සබ්රි බවත් අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ.
දැන් සිදු වන්නේ පොඩි මැසිවිලි නැගීම් දෙකක් අල්ලාගෙන, ඒක ඉස්මතු කරලා මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමේ ගෞරවය ඥාණසාර හිමිට ලබා දීමේ වැඩපිළිවෙලක්.
තවත් දෙයක් තියෙනවා. විවිධ ජාතීන්ට වෙනස් වූ නීති නොතිබිය යුතු බව සරත් වීරසේකර ඇමතිවරයා කැබිනට් මණ්ඩලයේදී කියා තියෙනවා. එහෙත් වාසුදේව නානායක්කාර ඇමතිවරයා එයට ප්‍රතිචාර ලෙස කියා තිබෙන්නේ යම් යම් අවස්ථාවල එක් ජාතියක් වෙනුවෙන් නීති තිබුණාට වරදක් නැති බව.
ඒ අදහසට අපිත් එකඟයි. සමහර වෙලාවට එක් ජනවර්ගයක් අතර, එක් ප්‍රදේශයක ජිවත් වන්නන් අතර, සමහරවිට ඒ නිශ්චිත පිරිසගේ ආරක්ෂාව වෙනුවෙන්, එහෙම නැත්නම් ඒ අයගේ විශ්වාසයන් පිළිගනිමින් නීති පැනෙව්වාට වරදක් නෑ. නොයෙකුත් හේතු මත එක් පිරිසකට විතරක් අයිති නීති ඕනෑ තරම් ලංකාවේ තියෙනවා. රාජ්‍ය නිලධාරීන්ට විතරක් අදාල නීති තියෙනවා. දේශපාලනඥයන්ට හෝ වෙනත් අයට අදාල නීති තියෙනවා. වත්කම් බැරකම් නීතිය වගේ එකක් රටටම අදාල නැහැනේ.
ඒ නිසා ‘එක රටක් එක නීතියක්’ කියන සංකල්පය විහිළුවක්. හැම නීතියක්ම හැමෝටම එක සමානව අදාල වෙන්න ඕනෑ බවත් විහිළුවක්.
එහෙම නීති මූලධර්මයක් නෑ.
එහෙත් යම් පිරිසකගේ විශ්වාසවලට ගරු කරනවා කියා රටේ සමස්ත මූලික අයිතිවාසිකම් රාමුව, මිනිස්සුන්ගෙ නිදහස, ළමා හා කාන්තා අයිතිවාසිකම්, නවීන ප්‍රජාතන්ත්‍රවාදය වගේ ඒවාට හානිකර නීති තියෙන්න බෑ. ඒකයි කේස් එක. ඒ නිසයි මුස්ලිම් විවාහ පනත සංශෝධනය විය යුත්තේ.