විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කරලා, ජනමතත විචාරණයකටත් යන්න ඕනෑ බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට පෙබරවාරි 22 වැනිදා දැනුම් දුන්නා.
ඒ අනුව බැසිල් රාජපක්ෂගේ ව්‍යාපෘතියක් වෙච්ච මේ ‘බදු පනතට’ දරුණු පරාජයක් අත් වී තිබෙනවා. ඒත් ලොකුම පරාජය වන්නේ වගන්තියක් දෙකක් එහේ මෙහේ කරලා ජනමත විචාරණයෙන් බේරෙන්න අවස්ථාවක් ඔවුන්ට ලැබෙන්නේ නැහැ.
බදු ක්‍රමය සරල කරන්නට කියා ඉදිරිපත් කරපු මේ පනත ඇත්තටම බදු අය කිරීමේ ක්‍රමවේද සංකීර්ණ කරන බවත්, බදු ක්‍රමය විකෘති කරන බවත් වෘත්තිය සමිති ඇතුළු පාර්ශ්ව පෙන්වා තිබුණා.
විශේෂයෙන් මුදල් ඇමතිවරයාට (දැන් බැසිල් රාජපක්ෂට) විශේෂ බලතල ලැබෙන, පාර්ලිමේන්තුවටම අයිති බලතල තනි පුද්ගලයෙක්ට (මුදල් ඇමතිට) ලැබෙන අන්දමේ පනතක් බවට මේ ගැන විග්‍රහ කළ විද්වතුන් පෙන්වා දුන්නා. දැන් අය කරන බදු ඒකාබද්ධ අරමුදලටත් යන්න නොදී, ඊට පිටින් විවිධ ව්‍යාපෘතිවලට (ඕනෑ නම් ඡන්ද වෙනුවෙන් බඩු භාණ්ඩ බෙදන්න) යොදවන්නට මේ පනත් කෙටුම්පතෙන් යෝජනා කළා. පාර්ලිමෙන්තුවේ හරි අනුමැතිය නැතිව සල්ලි හසුරුවන්නත් පනතෙන් යෝජනා කළා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු බදු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව නියෝජනය කරන වෘත්තිය සමිති මෙම පනතට විරුද්ධව හඬ නැගුවා. ඔවුන් මෙන්ම විපක්ෂයේ දේශපාලන පක්ෂත් මේ කියන පනතට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා.
සාමාන්‍යයෙන් යම් පනත් වෙනුවෙන් ජනමත විචාරණයක් පවත්වන්න ඕනෑ හෝ තුනෙන් දෙකෙන් සම්මත කරන්න ඕනෑ කියා තීන්දුවක් ආවොත්, බොහෝ විට තීන්දුවට හේතු වෙච්ච වගන්ති ආදිය වෙනස් කරලා පනත සම්මත කර ගන්නවා.
එහෙත් මේ තීන්දුව අනුව උක්ත පනතේ වගන්ති එහේ මෙහේ කරලා සම්මත කරන්නත් බැරි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන් බව කථානායකවරයා ප්‍රකාශ කළා.
‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග අනුකූල නොවන වගන්තිවලට සංශෝධන යෝජනා කිරීම පනත් කෙටුම්පතෙහි ප්‍රකාශිත අරමුණුවලට අනුකූල නොවන බැවින්, ඒ වගන්තිවලට නිශ්චිත සංශෝධන යෝජනා කිරීම ප්‍රායෝගික නොවන බවත් ඒ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග අනුකූල වන පරිදි වෙනස් කිරීම සඳහා වගන්ති සංශෝධනය කළ හැකි ආකාරය තීරණය කිරීමෙන්ද මේ අනුව වැළකිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නාලු.