තවත් සුපිරි ධනවතෙක්ට හෝටලයක් ගහන්න, කැබිනෙට්ටුවෙන් බදු සහන

කොල්ලුපිටියේ අධිසුඛෝපභෝගී හෝටලයක් හදන්න, සුපිරි ධනවත් සමාගමක් වන දම්රෝ සමූහයට බදු සහන ලබා දීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය ලැබිලා.

ඒ ‘අපට අහිමි කොළඹ’ තවත් තේජවන්ත කරන ව්‍යාපෘතියක් විදියට.

ඒ ක්‍රමෝපාය සංවර්ධන පනත අනුව. පනතේ තියෙන විදියට ඉදිරියේදී ඔහු ගැසට් පත්‍රිකාවකින් ප්‍රසිද්ධ කරන්න ඕනෑ, ඇයිද මේ බදු සහන දුන්නේ කියන එක. මේක රටට ක්‍රමෝපායික වශයෙන් වැදගත් ආයෝජනයක් වන්නේ ඇයිද කියන එක.

දම්රෝ සමූහයට අයිති උක්ත හෝටල් ව්‍යාපෘතිය ඩොලර් මිලියන 70.4ක ආයේජනයක්ලු. කාමර 652ක ව්‍යාපෘතියක්ලු. මෙය කොළඹ පෝට් සිටිය ආසන්නයේ ඉඩකඩම්වල මෑත කාලයේ ඉදිවෙමින් පැවති දැවැන්ත හෝටල්, නිවාස සංකීර්ණ, ෂොපිං මෝල් ආදී ව්‍යාපෘති මාලාවේම තවත් දිගුවක් වේවි.

දම්රෝ සමාගමේ ලොක්කා වන්නේ දමිත රාමනායක. ඔහු තිරය පසුපස චරිතයක් විදියට සලකනවා. දේශපාලනික ඩීල් ගැන දරුණු චෝදනා නම් මෑත කාලයේ ඔහුට එල්ල වී නැහැ. එහෙත් මේ පනතත්, ලංකාවේ සාමාන්‍යයෙන් බදු සහන දෙන විදියත් ගැන නම් අපි පැහැදීමක නැහැ.

මේ වගේ ලොකු ලොකු බිස්නස්වලට බදු සහන දෙන්න ක්‍රමවේද ආර්ථික විද්‍යාඥයන් හෙම යෝජනා කරන්නේ වැඩි වැඩියෙන් ආයෝජන ගෙන්වන්න. මිනිස්සු ලොකු ලොකු ප්‍රොජෙක්ට් කරලා රැකියා අවස්ථා ලැබෙන ආයෝජන සිදු කිරීම දිරිමත් කරන්න.

2008 ක්‍රමෝපාය සංවර්ධන පනත අනුව ආයෝජන විෂය භාර ඇමතිට යම්කිසි ආයෝජනයක් මේ කියන විෂයට අයිති ‘වැදගත්’ ආයෝජනයක් විදියට හඳුනාගෙන ඒවාට බදු සහන දෙන්න පුළුවන්. හැබැයි ඒක දෙන්නේ කැබිනට් මණ්ඩලය. ලංකාවට විදේශ විනිමය ගේන, මහජනතාවට වැදගත් භාණ්ඩ හා සේවා සැපයීම, රැකියා අවස්ථා සහ ආදායම් උත්පාදනය, තාක්ෂණය ගැන සුභවාදී පරිවර්තනය (ඒ කියන්නේ දියුණු තාක්ෂණය රටට හඳුන්වාදීමට) වගේ වැදගත් හේතු මත විවිධ ව්‍යාපෘතිවලට බදු සහන දෙන එක මේ පනතෙන් කෙරෙනවා.

හරියටම කීවොත් ඒ පනතේ සඳහන් වෙන දේශීය ආදායම් පනත, රේගු පනත ආදී වැදගතත් බදු පනත් හා මුදල් පනත් ගණනාවකින් යම්කිසි නිශ්චිත කාලයකට (අවුරුදු ගණනාවකට වාගේ) යම්කිසි ව්‍යාපෘතියක් නිදහස් කරන්න පුළුවන්.

මතක ඇති, 2013-14 කාලසීමාවේ බැසිල් රාජපක්ෂලා ‘කැසිනෝ’ ගේනවා කියලා දරුණු චෝදනා එල්ල වුණේත් මේ පනත පසුබිම් කරගෙන.

ඇත්තටම බොහෝ විට මේ පනත පාවිච්චි කරලා තියෙන්නේ ඉතා ධනවත් හිතවතුන්ට, ශ්‍රී ලංකා රජය වෙත ගෙවන්න ඕනෑ බදුවලින් බේරෙන්න ඉඩ ලබා දෙන පනතක් විදියට. ඇත්තටම නවීකාරක ව්‍යාපෘති රැගත් විදේශ ආයෝජකයන් මේ පනත නිසා ලංකාවට ආකර්ශනය වූ අවස්ථා අඩුයි.

මොකද, හුදෙක් ඇමතිලාගේ වුවමනාව මත කැබිනට් පත්‍රිකාව දාලා, කැබිනෙට්ටුවේ දේශපාලනඥයන් අත ඉස්සුවාම බදු සහන ලබාදීමේ හැකියාව තියෙනවා නම් ඒ දේශපාලනඥයන්ට මාර බලයක් හිමි වෙනවා. ඒ අයට කොමිස් නොදුන්නොත් බදුවලින් නිදහස් නොකර ඉන්නත්, බදුවලින් නිදහස් කරලා දෙන්නට කොමිස් ලබා ගන්නත් ඉඩකඩ විවර වෙනවා. මොකද, මේ පනතෙන් විවෘත කරලා තියෙන්නේ මධ්‍යස්ථ හා නිදහස් අවකාශයක් නෙවෙයි.

ඒ නිසා ඇත්තටම නවීන තාක්ෂණය රැගත්, ලංකාවෙන් පිටරටට හොඳ අපනයන කරන සුපිරි ව්‍යාපෘති තොග ගණනින් රටට ගෙන්වන්න මේ පනත සමත් වුණේ නැහැ.

බදුවලිනුත් නිදහස් කරලා කොළඹ නගර සීමාවේ තව තවත් මහා පරිමාණ හෝටල් ගහලා, අධිසුඛෝපභෝගී ‘සිටි ලයිෆ්’ එකක් කොළඹ නගරයේ හැදූ පමණින් අපේ සාමාන්‍ය ජනයාගේ ජිවිත සුඛිත මුදිත වෙන්නේත් නැහැ. කළු සල්ලි, කළු ජාවාරම්, බදුවලින් බේරිච්ච ධනවතුන්, දූෂිත දේශපාලුවන් ඉන්න ශ්‍රී ලංකාවේ ඒ ඒ අය සුපිරියට සල්ලි හම්බකරලා, සාමාන්‍ය මිනිස්සුන්ට හීනෙංවත් හිතන්න බැරි වාහනවල ගමන් බිමන් යමින් ඔය කියන කලාපයේ ජීවිත ගත කළාට, රටේ ආර්ථිකය සංවර්ධනය වෙලාත් නැහැ.

අපේ රටේ බොහෝ සාමාන්‍ය මිනිස්සුන්ගෙ ජීවිත එදිනෙදා කනබොන විදිය ගැන පවා කල්පනා කරන එකක් වෙද්දී, යම්කිසි සීමිත පන්තියක් අදටත් ‘අපට අහිමි කොළඹක’ සුපිරි දිවියක් ගෙවනවා.

කොටුව, කුරුඳුවත්ත, කොල්ලුපිටිය ආශ්‍රිතව ඔවුන්ගේ සුපිරි දිවියට අදාල ඉදිකිරීම් ගොඩක් ඉදිවෙනවා.

ඔය කලාපයේ තිබෙන අපාර්ට්මන්ට්ස්, හෝටල් කාමර, නයිට් ක්ලබ්, විලාසිතා නිවහන්, රෙස්ටුරන්ට්ස්, සිනමාහල් ආදී බොහෝ සම්පත් අපි වැනි අයට පරිභෝජනය කරන්න අමාරුයි. ෆිල්ම් හෝල් එකක් වගේ තැනකට ගිහිල්ලා අපි වියදම් කළත්, ඒ පෙරුම් පුරාගෙන හරිම අමාරුවෙන් වියදම් කරමින් මිසක් සැහැල්ලුවෙන් කරන වියදමක් නෙවෙයි.

සුපිරි දිවියකට අපි විරුද්ධ නෑ. මේ ව්‍යාපෘතියටත් අපි ගල් ගහනවා නෙවෙයි. ඒත්, කොළඹ මේ වගේ සුපිරි දිවියක් හදන්න මැති ඇමතිවරුන් මැදිහත්වෙන ආකාරයටම රටේ අනෙක් මිනිස්සුන්ටත් සාමාන්‍ය දිවියක් ගෙවන්න අවස්ථාව හදන්න මැදිහත් වුණා නම්!

දැන් ‘අපට අහිමි කොළඹ’ හැදෙන ව්‍යාපෘතිවල රැකියා අවස්ථා මහා පරිමාණයෙන් ලැබෙන්නේත් නැහැ. ‘ඔව්’ රැකියා තියෙනවා තමයි. ඒත්, සංඛ්‍යාත්මකව මහා පරිමාණ ලක්ෂ ගණන් රැකියා අවස්ථා නෙවෙයි.

විදේශිකයන් ඇවිත් නතරවෙන අවස්ථා නිසා යම් දුරකට විදේශ විනිමය නම් එනවා. ඒත්, ඔය වගේ ව්‍යාපෘති ගොඩක් බදු සහන ලබන ඒවා වන නිසාත්, ලංකාවේ ධනවතුන්ට ගහන බදු අඩු නිසාත් උක්ත විදේශ විනිමය ලංකාවේ පොදු ජනතාව අතරට බෙදී යනවාද කියන එක දරුණු ප්‍රශ්නයක්.