රමේෂ්ගේ ප්‍රකාශයක් අපේ මීඩියා වැරදියට තේරුම් අරන්! ඒ කීවේ අපි IMF යනවා කියා නෙවෙයි!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් බහුපාර්ශවීය ණය දෙන්නන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව වැවිලි කර්මාන්ත වගේම රජයේ නිල ප්‍රකාශ සිදුකරන සම-කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා රොයිටර්ස් ආයතනයට කරපු ප්‍රකාශයක් අපේ ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍යවලින් වැරදියට තේරුම් අරන්.

රොයිටර්ස් වාර්තාවේ සඳහන් වෙන්නේ ශ්‍රී ලංකාව මෑත ඉතිහාසයේ දරුණුම ආර්ථිකයට මුහුණ දී ඇති බවත් එම තත්ත්වය මධ්‍යයේ, සහාය ලබාගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් බහුපාර්ශවීය ණය දෙන්නන් සමඟ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බවත්.

එහෙත් ඔහු එයින් අදහස් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ‘බේල්අවුට් පැකේජ් එක’ ලබා ගන්නා බවක් නොවිය හැකියි.

මේ දිනවල ‘අයිඑම්එෆ් යන්න’ කියා විපක්ෂයේ හර්ෂ ද සිල්වාගේ සිට ආණ්ඩුවේ බන්දුල ගුණවර්ධන දක්වා ආර්ථිකය ගැන දන්න උදවිය කියනවා. ඒ හුදෙක් අයිඑම්එෆ් එක්ක සාකච්ඡා කරලා යම්කිසි සහනයක් ලබා ගැනීමක් නෙවෙයි. එයින් අදහස් කරන්නේ මෙවැනි අවස්ථාවක රටකට ලබාගත හැකි බේල්අවුට් පැකේජ් එක ලබා ගැනීම.

කෙසේ වෙතත් කැබිනට් මණ්ඩල රැස්වීම්වලදී අභ්‍යන්තර මට්ටමෙන් බේල්අවුට් පැකේජ එක ලබාගැනීමට පක්ෂව අදහස් දැක්වු කෙනෙක් විදියට අමාත්‍ය රමේෂ් ප්‍රකටයි.

“ශ්‍රී ලංකාවේ අතීතයේ දී අවස්ථා කිහිපයකදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගෙන තිබෙනවා. අපි තවමත් එම විකල්පයට විවෘත යි. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේම ආසියානු සංවර්ධන බැංකුව වැනි බහුපාර්ශවීය ණය දෙන්නන් සමඟත් සාකච්ඡා කිරීමට විවෘත යි. අපි ඔවුන් සමඟ සාකච්ඡා කරනවා” යනුවෙන් කැබිනට් ප්‍රකාශකවරයා කියා තිබුණා.

මේ අදහස මීට කලින් බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කරපු විශේෂ කැබිනට් සංදේශයේත් සඳහන් වුණා. එහෙත් ඒ කැබිනට් සංදේශයේම අයිඑම්එෆ් බේල්අවුට් පැකේජ් එක නොගත යුතු බවත්, එයින් ඩොලරය පා කරන්නට සිදු වීම සහ රජයේ විවිධාකාර සුභසාධන ව්‍යාපෘති සීමා කරන්නට සිදු වීම වගේ හේතු ගොඩක් පෙන්වා ඒ පැකේජ් එක නොගැනීමේ ඔවුන්ගේ පැත්තේ හේතු තොගයකුත් දීර්ඝ ලෙස මුදල් අමාත්‍යවරයා කතා කර තිබුණා.

ඒ ඇතැම් අදහස් ඇත්තටම තර්කානුකූල අදහස් නෙවෙයි. අයිඑම්එෆ් ගියොත් ආණ්ඩුව ඡන්දවලට බඩු බෙදන නාස්තිකාර වැඩ වගේම, දූෂණයටත් සීමා දාන්නට සිදු වනු ඇතැයි බියෙන් ඇති. ඒකයි හැබෑ හේතුව විය හැක්කේ.

එහෙත්, දැනට කැබිනට් මණ්ඩලයේ ස්ථාවරය අයිඑම්එෆ් නොයෑම බව පැහැදිලියි. ඒ වෙනුවට අයිඑම්එෆ් ඇතුලු ජාත්‍යන්තර ආයතනවලිනුත්, ලෝකයේ රටවල්වලිනුත් පොඩි පොඩි ණය පහසුකම් ආදිය අරන් පැලැස්තර දමමින් ඉදිරියට යෑම බව පැහැදිලියි.

කරුණු කොහොම වුණත් කැබිනට් ප්‍රකාශකවරයා කියපු ප්‍රකාශය වැරදියට තේරුම් ගන්න ඕනෑ නැති බව තමයි අපි සිහිපත් කරන්නේ.