ඉන්ධන අර්බුදය එක්කම ලංකාව බංකොළොත්වීමට ඇති ඉඩකඩ ගැන කතා කරන්නට විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් පෙබරවාරි 22 වැනිදා හැන්දෑවේ පහට පැවැත්වීමට නියමිතයි.
එහිදී අයිඑම්එෆ් හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම ගැනත් සාකච්ඡා කරනු ඇති. අප සමඟ අදහස් දැක්වූ කැබිනට් ඇමතිවරයෙක් කීවේ වාසුදේව නානායක්කාර හැර අනෙක් සියලු කැබිනට් ඇමතිවරුන් අයිඑම්එෆ් යනවාට විරුද්ධ බවයි. එහෙත් අජිත් නිවාඩ් කබ්රාල් මහබැංකු අධිපතිවරයාත් අයිඑම්එෆ් යනවාට විරුද්ධ මතයක ඉන්නවා.
මේ විශේෂ කැබිනට් රැස්වීමේදී අයිඑම්එෆ් ගැන තියුණු ලෙස කතා කරනු ඇති.
මේ කැබිනට් රැස්වීමට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු මහ බැංකුවේ ඉහළ පෙළ නිලධාරීන් මෙන්ම මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල ඇතුළු ඉහළ නිලධාරීන් පැමිණීමට නියමිතයිලු. ඊට අමතරව විදුලිබල අමාත්‍යාංශයේ සහ බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් කැඳවීමට නියමිතයිලු.
පෙබරවාරි 21 වැනිදා කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ ගැන කතා කරලා ප්‍රමාණවත් නොවුණ නිසා තමයි උක්ත රැස්වීම කැඳවලා තිබුණේ. පෙබරවාරි 21 වැනිදා බන්දුල ගුණවර්ධන ඇතුළු ඇමතිවරුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමේ අවශ්‍යතාව ගැනත් ඉස්මතු කර තිබුණාලු.
මේ කියන සාකච්ඡාව කතා කරන්නට විශේෂ රැස්වීමක් කැඳවන්න ඕනෑ බව ගිය අවුරුද්දේ අග ඉඳලාම තිබුණු යෝජනාවක්. එහෙත් කට්ටිය නත්තල් නිවාඩු ගත්තා. අනෙක් රැස්වීම්වල හරිහැටි කතා කළේත් නෑ. ඒ වෙනුවට මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ යෝජනාවලියක් සම්මත කරගැනීම පමණක් සිදු වුණා. පුළුල් සහ විවෘත සාකච්ඡාවක් වුණේ නෑ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිස්වලට කොවිඩ්-19 වැළඳීමෙන් පස්සේ සූම් තාක්ෂණයෙන් කැබිනට් මණ්ඩල රැස්වීම් පැවැත්වුවා.
එහිදී අදහස් දක්වා ඇති බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පෙන්වා දී ඇත්තේ කොළඹ වරායට පැමිණ ඇති ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 කින් යුත් ඉන්ධන නැව අද දිනයේ දී ඩොලර් ගෙවා නිදහස් කර නොගත්තොත්, රට තුළ ඩීසල් නොමැති වන බව. ඒ අතරේ විදුලිය කැපීම නිසා විභාගයට යන සිසුන්ට පාඩම් කරන්න අමාරු බවත්, සංචාරක කර්මාන්තයට විදුලිය කැපීම බලපෑ බවත් ඒ ඒ විෂයභාර ඇමතිවරුන් කැබිනට් මණ්ඩලයේදී කියලා.