(බලශක්ති විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිළ 2022-02-21 වැනිදා කළ අදහස් දැක්වීමකි.)
‘ඇත්ත තිත්තයි ඒත් ඇත්තයි. අපේ රටේ ජනතාව හුරු පුරුදු වෙලා තියෙන්නෙ දේශපාලකයෝ ලොසින්ජරවල මී පැණි තවරලා දෙන බොරුව ගිලලා සතුටු වෙන්න මිසක් තිත්ත ඇත්ත අමාරුවෙන් ගිල ගන්න නෙවෙයි .නමුත් අපි අපිට කෙතරම් පාඩු වුණත් රටට වෙන වාසිය සලකලා හැමදාමත් අපි ජනතාවට ඇත්ත කියලා තියෙනවා.
මේ රටේ තෙල් අර්බුදයක් එනවා කියලා මම ඇමති මණ්ඩලයට කිව්වේ 2021 පෙබරවාරි මාසේ 15 වෙනිදා . ඒ වගේම මේ රටේ ඩොලර් අර්බුදයක් ඇති වෙනවා කියලා මම මේ රටට කිව්වේ 2021 ජූනි මාසයේ දොළොස් වැනිදා. හැමෝටම මතකයි එක රටම බලාගෙන හිටියා අර සාගර කාරියවසම් මන්ත්‍රීතුමාට පිළිතුරු දෙන ගමන් කළ කතාවෙ තමයි ජුනි මාසයේ 10 මීට මාස 8කට කලින් තමයි අපි කිව්වේ ඩොලර් අර්බුදයක් අනාගතයේ රටේ ඇති වෙනවයි කියලා. ඇත්තෙන්ම ඒක කිව්වම අපේම කට්ටිය බොහෝ දෙනෙක් මට බැන්නා. කෝප්පයේ කිඹුලන් දකිනවා කියලා මට කිව්වේ. ජනතාව බොරුවට බය කරනවා කියලා කිව්වා.
අර්බුදයට විසඳුම්
මට තාම මතකයි 2021 ජූලි මාසේ 18 වෙනිදා මට එරෙහිව ගෙනාපු විශ්වාසභංගය විවාදයට ගන්න කලින් දවසේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් තිබුන ජනාධිපති මන්දිරයේදී. මේ රැස්වීමේදි මමත් බන්දුල ගුණවර්ධන ඇමතිතුමාත් මේ රට මූණ දීලා තියෙන විදේශ විනිමය අර්බුදය ඩොලර් අර්බුදය පැහැදිලි කරලා කිව්වා 2030 වෙනකන්ම අපිට අමාරු කාලයක් උදා වෙනවා කියලා . ඔය අතරේ අපේ ඇමතිතුමෙක් නැගිටල කිව්වා එහෙම වෙන්නේ නෑ. ඔය ඩොලර් අර්බුදය ඇතිවෙලා තියෙන්නේ ප්‍රධාන බැංකු දෙකේ නිලධාරීන් කරන මගඩියකින්. මේ මගඩිය අපි හොයාගෙන තියෙනවා. සති දෙකකින් ඩොලර් අර්බුදය විසදනවා කියලා ඇමැතිතුමා කිව්වා. අපේ මන්ත්‍රීවරුන් බොහෝම හයියෙන් අත්පුඩි ඇහුවා. මගෙන් අහන්න එපා කවුද ඒ ඇමතිතුමා කියලා . අපි ඒක සැඟවුණු අමුත්තා වගේ තියාගමු. නමුත් ජනතාවට මේ තිත්ත ඇත්ත කියන්නෙ නැතුව ජනතාව මේ අභියෝගයට මුහුණ දෙන්න පෙළ ගස්සන්න බෑ . අපිට අර්බුදයක් තියෙනවා කියලා අපි පිලිගන්නෙ නැත්තං අපිට ඒ අර්බුදයට විසඳුම් හොයන්න බෑ .
මට ලෙඩක් හැදුනම දොස්තර ගාවට එක්කං යන්න අනිත් කට්ටිය හදනකොට මට ඇති ලෙඩක් නෑ ඔන්න ඔහේ මට මගේ පාඩුවේ ඉන්න දෙන්න කියල කියනව නම් මැරිල යනතුරුම මට බේතක් දීගන්න ගෙදර කට්ටියට බැරි වෙනවා. ලෙඩක් තියෙනවා කියලා පිළිගත්තොත් පමණමයි ලෙඩට බෙහෙත් බොන්න පුළුවන් වෙන්නේ. දොස්තර ගාවට යන්න හිත හදාගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමයි මේ අර්බුදයේ ඇත්ත තත්ත්වය රටට කියමින් අපි දැන් ඉන්නේ අර්බුදයක කියලා අපි පිළිගමු යි කියන එක අපි හැමෝටම යෝජනා කරන්නේ .
තෙල් සංස්ථාවේ අර්බුදය කුමක් ද?
මිත්‍රවරුනි අපි මේ දිනවල රුපියල් පනස් දෙකක් පාඩුවට තමයි ඩීසල් විකුනන්නෙ. සුපිරි ඩීසල් ලීටරය රුපියල් තිස් පහක් පාඩුවට. පෙට්‍රල් 92 රුපියල් 19ක් පාඩුවට පෙට්‍රල් 95 රුපියල් දාහතක් පාඩුවට. නිතර කියවෙන්නැති දෙයක් තියනවා භූමිතෙල් ලීටරයක් විකුණන්නේ රුපියල් හැට තුනක් පාඩුවට . එක භූමිතෙල් ලීටරයක් අපිට හදන්න යනවා රුපියල් 150 . හැබැයි අපි ඒක විකුණන්නේ රුපියල් 87කට .මේ පාඩුව එකතු කලහම එක දවසකට තෙල් සංස්ථාව පාඩු විදිනවා රුපියල් මිලියන පන්සිය පනස් එකක් .
කාගෙන්ද මේ පාඩුව ගන්නේ. එක්කො ආණ්ඩුවට පුළුවන් වෙන්න ඕනේ මේකට සහනාධාරයක් දෙන්න. ආණ්ඩුව සහනාධාරයක් දෙනවා කියන්නේ මොකක්ද? ජනාධිපතිතුමාවත් අගමැතිතුමා වත් මුදල් ඇමැතිතුමා වත් දිනපතා රුපියල් මිලියන පන්සිය පනස් එක ගානෙ මැදමුලනින් අරන් එන්නේ නෑ. අරන් එන්න බෑ. තමුන්නාන්සේලාගෙන් අයකරන බදු වලින්ම තමයි මේ පාඩුව ආවරණය කරන්නේ.
ලංකාවෙ කෝටිපතියො පාවිච්චි කරන වාහනයක් තියෙනවා ලැම්බෝගිනිය කියලා. කාලයක් රටේ සුපිරි මාතෘකාවක් ලැම්බෝගිනි. මේ ලැම්බෝගිනි කාර් එකේ එක ලීටරයට යන්න පුළුවන් කිලෝමීටර් දෙකයි. ලැම්බෝගිනි කාර් එකක් ඇවිල්ලා ශෙඩ් එකට නතර කළහම රුපියල් පනස් දෙකක් පාඩු විඳගෙන තමයි ලැම්බෝගිනිය ට තෙල් ගහන්නෙ . තෙල් බොන වාහනයක් . දැන් එතකොට මේකේ පාඩුව දරන්නේ කවුද . ලැම්බෝගිනි තියා ජීවිතයට කාරෙක ගිහිල්ලා නැති හද්ද පිටිසර ගමක ඉන්න අහිංසක දුප්පත් කෙනෙක් කිලෝ මීටර් ගානක් පයින් ඇවිදලා ගමේ තියෙන වරිච්චි බිත්ති බැන්ද කඩේට ගිහිල්ලා තමන්ට ඕන කෑම බීම ටික ගන්නකොට ඒකට ගෙවන වැට් බද්දෙන් තමයි අර ලැම්බෝගිනිය ට ගහපු ඩීසල්වලින් ආණ්ඩුවට සිදුවන පාඩුවක් ගෙවන්නේ . මිත්‍රවරුනි ඩීසල් වලින් පාඩු වෙන රුපියල් 52 ලැම්බෝගිනියට ඩීසල් ගහපු මිනිහගෙන් ගන්න එකද සාධාරණ ජීවිතයට ලැම්බෝගිනි දැකල නැති අර හද්ද පිටිසර ගම්වල ඉන්න මිනිස්සුන්ගෙන් ගන්න එක සාධාරණද කියන ප්රශ්නය අපි අද විසඳගන්න ඕනේ . තෙල් පාවිච්චි කරන ප්‍රමාණයට තෙල් පාවිච්චි කරන අයට තෙල්වල වියදම දරලා අනිත් මිනිස්සු ටික ඒකෙන් නිදහස් කිරීම තමයි සාධාරණ ක්‍රමවේදය කියලා කියලා අපි විශ්වාස කරන්නේ . අද අපි මේ දැවැන්ත අර්බුදයක ඉන්නේ .මන් දැක්කා ඊයේ රාත්‍රියේ ප්රවෘත්ති වලට පෙන්නනවා ෂෙඩ් වල තෙල් නෑ . කතන්දරේ ඇත්ත. සමහරු ඇමතිතුමානම් කියනවා තෙල් තියෙනවා කියලා ඒත් තෙල් නෑ කියාගෙන යනවා. අනේ මං එහෙම කිව්වෙ නෑ. ජනවාරි මාසෙ 7 ජනවාරි මාසේ 13 සහ පෙබරවාරි මාසේ 18 මම මාධ්‍ය හමුවේ අනතුරු ඇඟෙව්වා නුදුරු දිනක තෙල් හිඟයක් ඇති වෙනවා කියලා.
දැන් අපිට තෙල් නැවක් ආවම ඔන්න දැන් තෙල් නැව් දෙකක් ඇවිල්ල තියෙනව ඩීසල් නැවයි පෙට්‍රල් නැවයි. අපි ඇනවුම් කරනවා නැව එනවා. හැබැයි නැවට ගෙවන්න ඕනෙ දැවැන්ත ඩොලර් ප්‍රමාණයක් . ඩොලර් මිලියන 35ක් විතර අපි එක නැවකට ගෙවන්න ඕනේ .මේ ඩොලර් මිලියන 35 බැංකු වලට එකතු කරගන්න සෑහෙන දවසක් යනවා . නැව ආවට ගෙවන්න බැංකුවල ඩොලර් නැති උනාම නැව එතන හිර කරගෙන ඉන්න වෙනවා .අපි ගාව තියෙන්නේ බොහොම සීමිත තොගයක්. වෙනදට බවුසර් දෙකක් ඉල්ලන ෂෙඩ් එකට බවුසර් එකක් දෙන්න සිද්ධ වෙනවා. බවුසරේ තෙල් ටික ඉවර උනහම ඒ ෂෙඩ් එකේ තෙල් නෑ. තෙල් මිල වැඩි වෙනවා යයි කියලා හිතාගෙන හංගගෙන හිටපු කට්ටියකුත් ඉන්නවා. හැබැයි අවංකවම තෙල් නැති ෂෙඩ් තියෙනව. හේතුව අපි නිකුත් කරන්නේ සීමා කරලා. ඇයි අපි නිකුත්කරන්න සීමා කරල. අපි කලින් කිව්ව වගේම මේ ඩොලර් අර්බුදය නිසා ප්‍රමාණවත්ව තෙල් ටික ගේන්න අපිට ඩොලර් හම්බෙන්නෙ නෑ .ඩොලර් දෙන්න බැංකු පද්ධතියට හැකියාවක් නැත්නම් අපිට ගෙනාපු තෙල් ටික නැවෙන් බාගන්න විදිහක් නෑ. නැව මුහුද නතර කරන් බලන් ඉන්නවා. බැංකුවෙන් තෙල් ගෙනාපු කෙනාට ඩොලර් ටික ගෙවනකන්.එක නැවත් එහෙම දවස් 11 මුහදෙ නතර කරන් හිටියා. අපි හරෝගෙන ආපහු යනවා කියලා තර්ජනය කළා . ඇයි දෙයියනේ තෙල් අයිති එක මනුස්සයෙකුට නැව අයිති වෙන මනුස්සයෙකුට . නැව් කුලියට අරන් තමයි තෙල් ටික දාගෙන එන්නෙ. ඒ නැවට තියෙනවා මෙතන තෙල්බාලා තව වරායකින් තව තෙල් ටිකක් අරන් තව තැනකට ගෙනියන්න .දවස් 11 මුහුද නතර කරන් ඉන්න කොට නැව් කාරය තර්ජනය කරනවා අපිට බෑ බලන් ඉන්න අපි යනවා කියලා .
ඉතාම අභියෝගාත්මක කාලයක් ඉතාම දුෂ්කර තත්වයක් . මිත්‍රවරුනි අපේ රටේ වැඩිම මුදලක් වියදම් කරන්නේ තෙල් ගේන්න. මේ දවස්වල බැංකුවලට එන්නෙ පිටරටට බඩු වික්කම ඩොලර් මිලියන 750 යි . ඕකෙන් ඩොලර් මිලියන 500 ක් ම යන්නේ තෙල් ගේන්න . ඒ නිසා තමයි ගිය අවුරුද්දේ ජූනි මාසේ ඉඳන් විපක්ෂය කිව්වේ තෙල් හිඟයක් ඇතිවෙනෝ කියලා. ඊට වඩා අඩුවෙන් ඩොලර් වැයවෙන කිරිපිටි ඖෂධ සිමෙන්ති ගෑස් යකඩ හාල් මේ හැමදේම හිඟයක් ඇති උනා අපි තෙල් හිඟයක් ඇති නොවෙන්න වග බලා ගත්තා.
ජනවාරි 7 වෙනිදා මම කිව්වේ තවදුරටත් ඒ සහතිකය මට ලබා දෙන්න බෑ කියලා. අතරින් පතර තැනින් තැන තෙල් පිරවුම්හල් වල තෙල් නැති වීමේ අවදානම තියෙනවා. ඒක අනාගතයේදී තව දුරටත් උග්‍ර වීමේ අවදානමක් තියෙනවා.’